කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ඊයේ නිමාවූ 56 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් හා නව තරග වාර්තා 27ක් බිහි වෙයි. මේ නව තරග වාර්තා පිරිමි ඉසව්වලින් 14ක් හා කාන්තා ඉසව්වලින්13ක් වේ.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2600ක සහභාගීත්වයෙන් සිවු දිනක් පුරා පැවැති මේ ශූරතාවලියේ අතිශූර ක්‍රීඩකයා ලෙස ගම්පහ දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගමය නියෝජනය කළ උෂාන් තිවංක පෙරේරා සම්මාන දිනාගත් අතර 23න් පහළ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ද නම් කෙරුණි. 23න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කළුතර දිස්ත්‍රික් මලල ක්‍රීඩා සගමයේ පූර්ණිමා ජයමාලී සම්මාන දිනා ගත්තාය. ඇය මීටර් 1.80ක උසක් පැනීමෙන් නව තරග වාර්තාවක් බිහි කිරීමට සමත් වූවාය.
අති ශූර ක්‍රීඩක උෂාන් තිවංක පෙරේරා වයස අවුරුදු 23න් පහළ උස පැනීමේ ඉසව්ව මීටර් 2.20කින් නිමකරමින් නව තරග වාර්තාව බිහි කිරීමට සමත් විය. ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනය ඒ ඒ ඉසව් අනුව ප්‍රකාශයට පත්කොට ඇති ලකුණු සටහනේ වැඩිම ලකුණු ලැබූ ක්‍රීඩකයා වීම හේතුවෙන් උෂාන් තිවක අතු ශූර ක්‍රීඩකයා සම්මානයට හිමිකම් කීවේය.
16න් පහළ කවපෙත්ත විසි කිරීමෙන් හා හෙල්ල විසි කිරීමෙන් කොළඹ සාන්ත පීතර් විදුහලේ රුමේෂ් තරංග නව තරග වාර්තා දෙකක් බිහිකළ අතර 16න් පහළ මීටර් 200 හා මීටර් 400 ඉසව්වලින් ජයවර්ධනපුර ජනාධිපති බාලිකාවේ කවිදි සන්ජනා එදිරිසිංහ නව තරග වාර්තා දෙකක් බිහි කළහ.
එමෙන්ම 20න් පහළ මීටර් 200 හා මීටර් 400 ඉසව්වලදී අකුරම්බොඩ වීරකැප්පෙට්ටිපොල ජාතික පාසලේ අරුණ දර්ශන නව තරග වාර්තා දෙකක්, 20න් පහළ මීටර් 400 හා මීටර් 800 ඉසව්වලදී වලල රත්නායක විදුහලේ දිල්ෂි ශ්‍යාමලී කුමාරසිංහ නව තරග වාර්තා දෙකක් බිඳ හෙලීම කැපී පෙණුනි.
මේ ශූරතාවලියේ පළමු දිනයේදී යාපනය දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගමය නියෝජනය කරමින් 23න් පහළ කාන්තා රිටි පැනීමේ ඉසව්වෙන් තරග කළ ජෙගදීස්වරන් අනීතා ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කළාය. අනීතා මීටර් 3.55කින් නව ශ්‍රී ලංකා වාර්තාව බිහිකළ අතර පැරණි රිටි පැනීමේ ශ්‍රී ලංකා වාර්තාව ඇය විසින්ම පසුගිය වසරේදී මීටර් 3.48කින් පිහිටුවා තිබුණි.



0 Comments