Ticker

6/recent/ticker-posts

Header Ads Widget

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය

Author(s): 
වර්නන් ගුණසේකර

ශ්‍රී ලංකාවේ පළමු තරගය නවසීලන්තයට එරෙහිව කාඩිෆ්හිදී

ශ්‍රී ලංකාව 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරන්නේ ජූනි මස 1 වැනි දින කාඩිෆ්හිදී නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරගයෙනි.

එංගලන්තයේ පැවැත්වීමට නියමිත මේ තරගාවලියේ ශ්‍රී ලංකාව ඊළඟට මුහුණ දෙන්නේ ඇෆ්ගනිස්තානයටය. එම තරගය ජූනි මස 4 වැනි දින කාඩිෆ් තරග බිමේදීම පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්තානය, දකුණු අප්‍රිකාව යන රටවල් 2017 සැප්තැම්බර් 30 වැනි දිනට ඔවුන් හිමිකර ගෙන සිටි ජගත් ක්‍රිකට් කවුන්සල එක්දින ශ්‍රේණිගත කිරීම්වලට අනුව මේ තරගාවලියට කෙළින්ම සුදුසුකම් ලබා ගත් අතර බටහිර ඉන්දීය කොදෙව් හා ඇෆ්ගනිස්තානය තරගාවලියට ඇතුළු වූයේ මේ වසරේ මාර්තුවේදී පැවැති සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයකිනි.

‘රවුන්ඩ්-රොබින්’ ක්‍රමයට පැවැත්වෙන තරගාවලියේ මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම අනෙක් සියළුම කණ්ඩායම් නවය සමග තරග කරනු ඇත. මේ ලීගය අවසානයේ ඉහළටම පිවිසෙන කණ්ඩායම් හතර ඕල්ඩ් ට්‍රැෆර්ඩ් හා එජ්බැස්ටන්හිදී පැවැත්වෙන අවසන් පූර්ව තරග දෙකට ක්‍රීඩා කරනු ඇති අතර අවසාන මහා තරගය ලෝඩ්ස්හිදී පැවැත්වීමට නියමිතය.

මේ ක්‍රමයට මීට පෙර අවසන් වතාවට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩා කෙරුණේ 1992 වසරේදී ඔස්ට්‍රේලියාව හා නවසීලන්තයේදීය. දින 33ක් තිස්සේ ක්‍රීඩා කෙරුණු එම තරගාවලියට තරග 39ක් ඇතුළත් වූ අතර එය මෙතෙක් වැඩිම ආකර්ෂණයක් දිනා ගත් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලෙස වාර්තා වී තිබේ.

2019 තරගාවලියට සහභාගි වන කණ්ඩායම් ගණන 1992 තරගාවලියට වඩා එකකින් වැඩිවී තිබේ. දින 46ක් පුරා ක්‍රීඩා කෙරෙන 2019 තරගාවලියට තරග 48ක් ඇතුළත්ව තිබේ.

තරගාවලියේ විශේෂ අවධානය යොමුව තිබෙන ඉන්දියාව හා පාකිස්තානය අතර තරගය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ ජූනි 16 වැනි දින ඕල්ඩ් ට්‍රැෆර්ඩ්හිදීය.

ඕල්ඩ් ට්‍රැෆර්ඩ්, එජ්බැස්ටන්, ලෝඩ්ස්, ඕවල්, හෙඩිංලි, ට්‍රෙන්ට් බ්‍රිජ්, සදම්ප්ටන්, කාඩිෆ්, චෙස්ටර්-ලී-ස්ට්‍රීට්, ටෝන්ටන් හා බ්‍රිස්ටල් යන ඉසව් 11කදී තරගාවලිය පැවැත්වෙනු ඇත.

තරගාවලියට සහභාගි වන කණ්ඩායම් දහයෙන් ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය හා එංගලන්තය යන කණ්ඩායම් හතර ‘රවුන්ඩ්-රොබින්’ වටයේදී කිසිම දිවා/රාත්‍රී තරගයක් ක්‍රීඩා නොකරනු ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();