Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රිච්මන්ඩ් විදුහල් පිල එක්දින ශූරතාව රැක ගනී

රිච්මන්ඩ් විදුහල් පිලේ නායක ධනංජය ලක්ෂාන් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ වෙළෙඳ අධ්‍යක්ෂ කුමාර් සමරසිංහ මහතා අතින් කුසලානය ලබාගනිමින්. ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති ඔෂාර පණ්ඩිතරත්න මහතා ද මෙහි සිටී.

සඳුන් මෙන්ඩිස්ගේ විශිෂ්ට තුන්ඉරියව් දස්කම් හේතුවෙන් සාන්ත පීතර විදුහල් පිල සමග පැවැති අවසන් මහා තරගයෙන් ලකුණු 29ක ජයක් ලැබූ රිච්මන්ඩ් විදුහල් පිල අන්තර් පාසල් එක්දින තරගාවලියේ ශූරතාව රැක ගැනීමට සමත්විය. ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පසුගියදා පැවැති මේ තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් රිච්මන්ඩ් විදුහල් පිල ඕවර 50 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කළ ලකුණු 201ට පිළිතුරු වශයෙන් සාන්ත පීතර විදුහල් පිලට ඕවර 46.4කදී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 172ක් පමණි.

රිච්මන්ඩ් විදුහල් පිල වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරතවූ සඳුන් මෙන්ඩිස් පන්දු 57කදී හතරේ පහර 3ක් සමග ලකුණු 42ක් රැස් කළ අතර සාන්ත පීතර විදුහල් පිලේ ඉනිමේදී සුපිරි පන්දු යැවීමක නිරතවෙමින් ලකුණු 20කට ලකුණු 5ක් දවාලීමට සමත්විය. තරගයේ වීරයා සම්මානය සඳුන් මෙන්ඩිස්ට හිමිවිය.

රිච්මන්ඩ් විදුහල් පිලේ ඉනිමේදී සඳුන් මෙන්ඩිස්ට අනගි සහයක් ලබාදුන් දිලුම් සුධීර පන්දු 85කදී ලකුණු 39ක් රැස් කළේය. මීට අමතරව ආරම්භක පිතිකරු ආදිත්‍ය සිරිවර්ධන ලකුණු 27ක් ද, ධනංජය ලක්ෂාන් ලකුණු 21ක් ද ලබාගත්හ. පන්දු යැවීමේදී මොහොමඩ් අමීන් සහ කනිෂ්ක මධුවන්ත කඩුලු 2 බැගින් බිඳ දැමූහ.

සාන්ත පීතර විදුහල් පිල ඉහළට ඔසවා තැබූ ෂැනොන් ප්‍රනාන්දු පන්දු 91කදී ලකුණු 52ක් රැස් කළ අතර කනිෂ්ක මධුවන්ත රැස් කළ ලකුණු සංඛ්‍යාව 39කි.

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රාහකත්වය යටතේ පැවැති මේ තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය එම සමාගමේ වෙළෙඳ අධ්‍යක්ෂ කුමාර් සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති ඔෂාර පණ්ඩිතරත්න මහතා ද මේ අවස්ථාවට එක්විය.

රිච්මන්ඩ් විදුහල් පිල - 201/9 (ඕවර 50) සඳුන් මෙන්ඩිස් 42, දිලුම් සුධීර 39, ආදිත්‍ය සිරිවර්ධන 27, ධනංජය ලක්ෂාන් 21 (මොහොමඩ් අමීන් 25/2, කනිෂ්ක මධුවන්ත 34/2)

සා.පීතර විදුහල් පිල - 172 (ඕවර 46.4) ෂැනොන් ප්‍රනාන්දු 52, කනිෂ්ක මධුවන්ත 39, සුලක්ෂණ ප්‍රනාන්දු 25 (සඳුන් මෙන්ඩිස් 20/5, ධනංජය ලක්ෂාන් 22/2, අවිඳු තීක්ෂණ 41/2)

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();