Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අපේ ප්‍රශ්න නිවැරැදිව විසඳා ගැනීමට බෞද්ධ දර්ශනය තරම් මඟ පෙන්වීමක් සිදු කරන වෙනත් කිසිදු දර්ශනයක් නෑ

Author(s): 
මහින්ද අලුත්ගෙදර

 

බිංගිරිය දේවගිරි පුරාණ රාජමහා විහාරස්ථානයේ රාජ්‍ය වෙසක් පුණ්‍ය මහෝත්සවයේ දී ජනපති කියයි

අපගේ වගකීම් සම්බන්ධයෙන් නිසි අවබෝධයෙන් කටයුතු කරන්නේ නම් සහ තිබෙන ප්‍රශ්න දෙස සැබෑ උවමනාවෙන් බලන්නේ නම් එම ප්‍රශ්න නිවැරැදිව විසඳා ගැනීම සඳහා බෞද්ධ දර්ශනය තරම් මඟ පෙන්වීමක් සිදු කරන වෙනත් කිසිදු දර්ශනයක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

පොහෝ දිනයේ කළ යුතු කාර්යයන් සම්බන්ධයෙන් රජයක් විසින් කළත් නොකළත් ඒ කටයුතු බෞද්ධ ජනතාව විසින් ඉටු කරන බව පෙන්වා දෙන ඒ මහතා නමුත් මේ සම්බන්ධයෙන් රජයට ප්‍රධාන වගකීමක් තිබෙන බවද සමාජයේ යහපැවැත්ම, සදාචාර බව සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් කුමන විවේචන එල්ල වුවද මහජනතාව වෙනුවෙන් සහ රට වෙනුවෙන් ගත හැකි සෑම සුබවාදී පියවරක්ම ගන්නා බවද සඳහන් කරයි.

ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ බිංගිරිය, දේවගිරි පුරාණ රාජමහා විහාරස්ථානයේ දී පෙරේදා (28) පැවැති රාජ්‍ය වෙසක් පුණ්‍ය මහෝත්සවය අමතමිනි. චිත්තං දන්තං සුඛාවහං (දැමුණු සිත සුව ගෙනදේ) මෙවර වෙසක්‌ තේමාව වන අතර සංවර්ධනයේ තිරසර අරමුණු සාක්‍ෂාත් කරනු වස්‌ ගමේ පන්සල අධ්‍යාත්මික සංවර්ධනයේ කේන්ද්‍රස්‌ථානය බවට පත්කරමින් ප්‍රඥවන්ත බොදුනුවන්ගෙන් යුතු බෝසත් සමාජයක්‌ එහි අරමුණ වේ.

තිරසර පරිසරයක්‌ සඳහා බුදු දහම, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්‌ සඳහා බුදු දහම, බුදු දහමින් පෝෂිත වූ සිංහල සාහිත්‍ය, බුදු දහමින් පෝෂිත වූ හෙළ කලාව, යහපත් වෘත්තීය ජීවිතයක්‌ සඳහා බුදු දහම, සමාජ සංවර්ධනය, ආර්ථිකය හා බුදු දහම යන කරුණු ඉස්‌මතු කිරීමට වෙසක්‌ සතියේ එක්‌ එක්‌ දිනයන් යොදා ගැනේ.

එහිදී වැඩිදුරටත් කතා කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,

වෙසක් පුන් පොහොය අබියස තිබිය දී ඵෙතිහාසික බිංගිරිය රාජමහා විහාරස්ථානයේ දී පැවැත්වෙන 2018 වසරේ රාජ්‍ය වෙසක් උත්සවයට සහභාගි වන්නට ලැබීම සම්බන්ධයෙන් සතුටට පත්වෙනවා. පසුගිය වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නම්කළ රට වශයෙන් ශ්‍රී ලංකාව වෙසක් උළෙල තෝරා ගැනීමේ වැඩසටහන යටතේ ලෝකයේ රාජ්‍ය නායකයන් රාශියක් ගෙන්වා උසස් ලෙස ජාතික වශයෙන් වගේම අන්තර්ජාතික වශයෙන් මේ වෙසක් උළෙල උත්කර්ෂවත් ලෙස පවත්වන්නට හැකියාව ලැබුණා. මේ පූජණීය ස්ථානයේ තිබෙන ඵෙතිහාසික වැදගත්කම සම්බන්ධයෙන් කතා කරන විට මෙහි තුළ පිහිටි ටැම්පිට විහාරය සම්බන්ධයෙන් නායක හිමිවරුන් සඳහන් කළා. එම ටැම්පිට විහාරය සම්බන්ධයෙන් කතා කරමින් තුඹුල්ලේ සීලක්ඛන්ධ නාහිමියෝ මඟේ අවධානයට යොමු කළා.

ටැම්පිට විහාර ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් මම මේ වැඩපිළිවෙළ ආරම්භ කළේ මීට වසර දෙකකට පෙර සිට බව සතුටින් කියන්න කැමැතියි. ලංකාවේ සියලුම ටැම්පිට විහාර සම්බන්ධයෙන් 2016 වසරේ දී මම වාර්තාවක් ලබාගත්තා. බුද්ධ ශාසන අමාත්‍යාංශය හා සංස්කෘතික අමාත්‍යාංශය ඒකාබද්ධව එම වැඩසටහන් කොට පසුගිය වසරේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළා. ටැම්පිට විහාර ප්‍රතිසංස්කරණය සහ ඊට අදාළ රක්ෂිත කටයුතු සිදුකිරීමට අවශ්‍ය මුදල් කොපමණ ඕනද, ඉදිරි වැඩ සඳහා අවශ්‍ය සහයෝගය කෙසේ ද යන්න සම්බන්ධයෙන් විමසීමක් කළා. ඒ අවස්ථාවේ සංස්කෘතික අමාත්‍යාංශය සහ බුද්ධ ශාසන අමාත්‍යාංශය මෙන්ම පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මට දන්වා සිටියේ ඊට අවශ්‍ය සියලු මුදල් තිබෙනවා ඒ නිසා ටැම්පිට විහාර ප්‍රතිසංස්කරණය කරගෙන යන්න පුළුවන් කීවා.

ඒ අනුව ඔවුන්ට බාර දී තිබෙනවා. මේ වන විට රට පුරා ටැම්පිට විහාර පිහිටි ස්ථානවල පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කොතෙක් දුරට එම කටයුතු සිදු කර තිබෙනවා ද යන්න සම්බන්ධයෙන් මම දන්නේ නැහැ. ඒ අය එම කාර්යය ඉටු කරන බවට බාර ගත්තා. ඒ කටයුතු කෙරෙන බවට එස්.බී නාවින්න ඇමැතිවරයා සඳහන් කළා. ඇතැම් විට සියලුම ටැම්පිට විහාර වල ප්‍රතිසංස්කරණ කටයුතු එකවර කිරීමේ අපහසුවක් තිබෙන්න පුළුවන්. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ කටයුතු සිදුවන්නේ බොහොම අඩු වේගයකින්. ඒ කෙසේ වෙතත් අපි රජය විදියට අවශ්‍ය සියලු මුදල් හා සම්පත් ලබාදෙනවා. ඒ වගේම පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ සිටින උපදේශකයන්ගේ සහ පුරා විද්‍යා විශේෂඥයන්ගේ උපදෙස් අනුව මේ කටයුතු කිරීමේ දී මේ ව්‍යාපෘතිය පමණක් නොව අනෙකුත් ව්‍යාපෘතිවලත් තිබෙන්නාවූ ප්‍රමාදයන් සම්බන්ධයෙන් අපිට අත්දැකීම් තිබෙනවා.

අද මේ වෙසක් රාජ්‍ය උත්සවය බුදුන්ගේ තෙමඟුල සිහි කරමින් අපේ බෞද්ධ ජනතාව වගේම ලෝකවාසී බෞද්ධ ජනතාව ඒ වගේම බෞද්ධ නොවන ප්‍රජාවන් මේ පිංකමට සෑම වසරකම එක්වෙනවා. බොහෝ වෙලාවට මිනිසුන් අතර සමාජය තුළ හදන නීති රීති, මඟපෙන්වීම්, කරන ව්‍යවස්ථාපිත තත්ත්වයන්ට වඩා හරියටම ඒ දිනයට කළයුතු, වේලාවට කළ යුතු සිය වගකීම් සහ කාර්යයන් විදියට බෞද්ධ ජනතාව සැම විටම වෙසක් පොහෝ දිනයේ කළ යුතු කාර්යයන් වඟේම අනෙකුත් බෞද්ධාගමික කටයුතුවල දී මහ සඟරුවනේ ආශිර්වාදය, මඟ පෙන්වීම තුළ ඒ කටයුතු කරන බව අපි දන්නවා.

රජයක් විසින් කළත් නොකළත් ඒ කටයුතු බෞද්ධ ජනතාව විසින් ඉටුකරනවා. නමුත් මේ සම්බන්ධයෙන් රජයට ප්‍රධාන වගකීමක් තිබෙනවා. මේ රාජ්‍ය වෙසක් උත්සවය බෞද්ධාගමික රටක් වශයෙන් වගේම ථෙරවාදී බෞද්ධ දර්ශනය තුළ මුළු ලෝකයටම එදා දවස වඟේම අද දවසේ ද හෙට දවසේත් මෙම ක්ෂේත්‍රයේ ඇති වන විවිධ ප්‍රශ්නවල දී බෞද්ධ දර්ශනය තුළ ලබාදෙන විසඳුම්, පැහැදිලි සහ ස්ථිරසාර විසඳුම් බව අපි දන්නවා.

ඒ නිසා මේ වෙනුවෙන් සියලු දෙනාම කැපවීම අපගේ වගකීම සහ යුතුකම වෙනවා. අපි සියලු දෙනාම වගකීම් සම්බන්ධයෙන් නිසි අවබෝධයෙන් කටයුතු කරන්නේ නම් තිබෙන ප්‍රශ්න දෙස සැබෑ උවමනාවෙන් බලන්නේ නම් ඒ ප්‍රශ්න දෙස නිවැරැදිව බලනවා නම් ඒ සඳහා බෞද්ධ දර්ශනය තරම් මඟ පෙන්වීමක් වෙනත් කිසිඳු දර්ශනයක නොමැති බව අපි සෑම කෙනෙක්ම දන්නවා. සමාජයේ යහපත්කම, සදාචාර බව සම්බන්ධයෙන් මල්වතු අනුනාහිමියන් ප්‍රකාශ කළා. බෞද්ධාගමික කටයුතු සම්බන්ධයෙන්, අනෙකුත් ප්‍රශ්න සම්බන්ධයෙන් බොහෝ කරුණු කාරණා පදනම් කර ගනිමින් පසුගිය රජය කිහිපයක් විසින් පත්කරන ලද කොමිසන් සභා වාර්තා සම්බන්ධයෙන් ද මෙහිදී සිහිපත් කළා. ඒ වඟේම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් තිබෙන තත්ත්වය පැහැදිලි කළා.

කොමිසන් සභා වාර්තා සම්බන්ධයෙන් උන් වහන්සේ සඳහන් කලකරුණු පිළිබඳව සොයා බලා, සැලකිල්ල යොමු කොට රජයක් ලෙස ගත හැකි ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නවා. අපිට තිබෙන දේශපාලන, සමාජ, ආර්ථික ප්‍රශ්න බොහෝ විට අපේ රටේ මාධ්‍ය, සමාජ වෙබ් අඩවි රටේ ජනතාවට පෙන්නුම් කරන්නේ මේ රටේ තිබෙන ප්‍රශ්න විදියට විතරයි. නමුත් මේ තිබෙන ප්‍රශ්න වත්මන් කාලය තුළ ලෝකයේ බොහෝ රටවල තිබෙනවා.

අපේ රටේ වසර කිහිපයක් නියඟය තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව්වල වතුර නැහැ. සමහර ප්‍රදේශවල බොන්න වතුරත් නැහැ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක් ප්‍රදේශයක බොන්න වතුර නැහැ. මේ තත්ත්වය අපේ රටේ විතරක් නොවේ. පාකිස්ථානය, ඉන්දියාව වැනි රටවල ද අසීරු තත්ත්වයට පත්ව තිබෙනවා. ඒ නිසා මේ සියලු අභියෝග මිනිසුන් ලෙස ජයගන්න අපි සියලු දෙනාට ආත්ම ශක්තියක් හා කැපවීමක් තිබිය යුතු වෙනවා.

ස්භාවයෙන් හෝ ආර්ථික හෝ වාණිජමය කරුණු වේවා අපි රජයක් ලෙස කුමන විවේචන එල්ල වුවද ඒ සම්බන්ධයෙන් මහජනතාව වෙනුවෙන් සහ රට වෙනුවෙන් ගතහැකි සෑම සුබවාදී පියවරක්ම ගන්නවා. අපි රජයක් වශයෙන් කටයුතු කිරීමේ දී පසුගිය වසර තුනහමාරේම මහා සඟරුවන හමුවුණු සෑම අවස්ථාවකම ප්‍රකාශ කළේ මහා සංඝරත්නයේ අනුශාසනා, මඟ පෙන්වීම් විනා දෙන උපදෙස්වලින් පිටස්තරව කිසිදු වෙලාවක මම වැඩ නොකරන දේශපාලනඥයෙක්. මම ඒ ප්‍රතිපත්තියේ පිහිටා සිටිනවා. අපි අපේ රට වශයෙන් යහපත්, සදාචාරසම්පන්න රටක් හදන්න, විනය ගරුක සමාජයක් හදන්න පමණක් නොව ලෝක ප්‍රජාව තුළ බෞද්ධ දර්ශනය ප්‍රචලිත කරන්නට කැපවීමෙන් කටයුතු කළ යුතු වෙනවා.

මල්වතු පාර්ශව‍යේ අනුනායක ආචාර්ය නියං‍ගොඩ විජිතසිරි අනුනාහිමි,

‍මේ වස‍රේ රාජ්‍ය ‍වෙසක් උත්සවය බිංගිරිය ‍දේවගිරි පුරාණ රාජමහා විහාරස්ථාන‍යේ දී පවත්වනවා. රජය විසින් ප්‍රකාශයට පත් කළ ආකාරයට 2562 වැනි ‍වෛශාක්‍ය පුණ්‍ය ‍ම‍හෝත්සවය පවත්වනවා. ‍මේ පුණ්‍ය ම‍හෝත්සවය ලක්වාසීන්ට පමණක් ‍නොව ජාත්‍යන්තර වශ‍යෙන් ද අතිශය වැදගත් ‍වෙනවා. විජය කුමරුන් ප්‍රමුඛ 700ක් මුතුන්මිත්තන් ද ‍මේ රටට පැමිණ ති‍බෙන්නේ ද ‍වෙසක් පුන් ‍පො‍හෝ දවසකයි. ‍මේ විහාරස්ථානය වටිනා ස්ථානයක්. ‍මේ විහාරය ව‍ඟේම ප්‍රදේශය ද ආගමික වශ‍යෙන් වටිනා ඉතිහාසයකට උරුමකම් කියනවා. ත්‍රිපිටකය ආරක්ෂා කළ ස්ථානයක් ‍වෙනවා. රාජ්‍ය ‍වෙසක් උත්සවය ‍මේ විහාරස්ථාන‍යේ පැවැත්වීම සම්බන්ධ‍යෙන් මල්වතු පාර්ශ්ව‍යේ ආශිර්වාදය හිමි‍වෙනවා. ‍වෛශාක්‍ය පුණ්‍ය ම‍හෝත්සවය අ‍පේ රටට ඉතාම වැදගත්. එය අනාගතයටත් වටිනා පහන් එළියක් ‍වෙනවා.

සම්බුදු සසුන, විහාරස්ථාන ‍මෙන්ම ‍බෞද්ධ අධ්‍යාපනය ආදී වැදගත් කරුණු සම්බන්ධ‍යෙන් දිඟුකලක් සාකච්ඡා ‍කොට ති‍බෙනවා. ඇතැම් ඒවා ක්‍රියාවට නංවා ති‍බෙනවා. බ්‍රිතාන්‍ය පාලන‍යෙන් නිඳහස්ව අ‍පේ රට ඉදිරියට ගමන් කරන විට ‍බෞද්ධ විහාර, ‍බෞද්ධ ජනතාව පිළිබඳව සාකච්ඡා කළ ලිඛිත වාර්තා ති‍බෙනවා. 1954 වස‍රේ දී මහාචාර්ය ගුණපාල මලල‍සේකර මහතා ‍බෞද්ධ ‍කොමිසන් සභා වාර්තාවක් ඉදිරිපත් කර ති‍බෙනවා. මහානායක හිමිවරුන් ප්‍රමුඛ සංඝ සභාවන් විසින් ඉදිරිපත් කරන ලද වාර්තා ද ති‍බෙනවා. ජනාධිපති ‍‍කොමිසන් සභා වාර්තා ද දකින්න පුළුවන්. ‍මේ සෑම වටිනා ලියවිල්ලක් තුළම බුදු සසුන මුහුණ‍දෙන ගැටලු, අනාගත‍යේ ගමන් කළයුතු දිශාව ආදිය සම්බන්ධ‍යෙන් කරුණු දක්වා ති‍බෙනවා. ජාත්‍යන්තර ‍වෙසක් උ‍ළෙල එක්සත් ජාතීන්‍‍ගේ සංවිධාන‍යේ ද සහාය ඇතිව පසුගිය වස‍රේ දී පැවැත්වූවා. ‍බෞද්ධ රටවල් 79ක එකඟතාව ඇතිව ශ්‍රී ලංකාව ‍ලෝක‍යේ ‍‍ථෙරවාදී ‍බෞද්ධ ‍කේන්ද්‍රස්ථානය වශ‍යෙන් එහිදී ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා‍වේ භික්ෂූන් සමාජගතව සිදු කරන කාර්යයන් අතර ගම්වල ‍වෙ‍හෙර විහාරස්ථාන ආරක්ෂා කර‍ගෙන කටයුතු කිරීම වැදගත්. ඒ ව‍ගේම මහජනතාව ජන විඥාන‍යෙන් ‍පෝෂණය කරනවා. ‍මේ වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය විය යුතු බවත් එහි රාමුව ‍මෙ‍සේ විය යුතු බවත් එය කඩිනමින් ‍ගෙන ආ යුතු බවත් සම්බන්ධ‍යෙන් මතවාද ති‍බෙනවා. ව්‍යවස්ථා සම්පාදන කමිටුව විසින් සම්පාදනය කළ ‍කොමිසන් සභා වාර්තාවක් පාර්ලි‍මේන්තුවට ඉදිරිපත් ‍‍කොට විවිධ අඳහස් සමාජ ගත වුණා. විවිධ ආයතන ද අදහස් ඉදිරිපත් කර ති‍බෙනවා. මහා සංඝරත්නය ද අදහස් ඉදිරිපත් කර ති‍බෙනවා. ඒවා සැලකිල්ලට ගත් විට නව ව්‍යවස්ථාවක් අවශ්‍යය ද පවතින ව්‍යවස්ථාව සං‍ශෝධනය විය යුතු ද යන්න සම්බන්ධ‍යෙන් අදහස් ‍ගොනු ‍වෙනවා.

ශ්‍රී ලංකා‍වේ ‍ඵෙතිහාසික වර්ධනය සම්බන්ධ‍යෙන් අවධානය ‍යොමු කරන විට පණ්ඩුකාභය රජු විසින් රාජ්‍යයක් බිහි කිරී‍මෙන් පාලන තන්ත්‍රය ආරම්භ වුණා. ‍ඵෙතිහාසික මූලවලින් පැහැදිලි වන්නේ සිංහල ජාතියට විශාල උරුමයක් ති‍බෙන බවත් එය අදටත් ‍හෙටටත් තහවුරු විය යුතු බවත්ය.

ව්‍යවස්ථා සම්පාදන‍‍යේ දී එදා ආචාර්ය ‍කොල්වින් ආර්.ද සිල්වා මහතා 9 හා 10 වගන්ති ඇතුළත් කර ති‍බෙනවා. ආගම්වලට ආරක්ෂාව සලසා දීම ඉතාම වැදගත්. පසුගිය දා මහනුවර, දිගන නගර‍යේ ඇතිවූ ගැටුම් සම්බන්ධ‍යෙන් ස්වාධීනව නිරීක්ෂණය කරන ‍ලෙස ජනාධිපති ‍මෛත්‍රීපාල සිරි‍සේන මහතා‍ගෙන් ඉල්ලීමක් කරනවා. ඒ ව‍ගේම දැනට ‍කොටු වී සිටින ‍බෞද්ධ දරුවන් ‍කෙ‍රෙහි අවධානය ‍යොමු කරමින් ඔවුන්ට සහාය ලබා දිය යුතු ‍වෙනවා.

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩල‍යේ නි‍යෝජ්‍ය සභාපති හා වාරිය‍පොළ ශ්‍රී සුමංගල පිරි‍වෙන් රාජමහා විහාරාධිපති මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නාහිමි,

රාජ්‍ය ‍වෙසක් උත්සවය බිංගිරිය ‍දේවගිරි පුරාණ රාජමහා විහාරස්ථාන‍යේ දී පැවැත්වීම සම්බන්ධ‍යෙන් ප්‍රසාදය පළ කරනවා. විජයදාස රාජපක්ෂ මහතා බුද්ධශාසන ඇමැතිවරයා වශ‍යෙන් සිටින සම‍යේ දී කුරුණෑගල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලය සිදු කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් වශ‍යෙන් ‍මේ උත්සහය කුරුණෑගල දිස්ත්‍රික්කයට ලැබී ති‍බෙනවා. චිත්ත ධමනය ‍වෙනු‍වෙන් අවශ්‍ය වන වැඩසටහන් රැසක් පවත්වා ති‍බෙනවා. වසර පුරාම විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නට පියවර ගත යුතු ‍වෙනවා. ටැම්පිට විහාරස්ථානය සංවර්ධනය කිරීම අවශ්‍ය ‍වෙනවා. අද වන විට වාරිය‍පොළ එක්තරා රජමහා විහාරස්ථානයක් විනාශ මුඛයට යමින් ති‍බෙනවා. එය සංවර්ධනය කිරීමට කටයුතු කළ යුතු ‍වෙනවා. ‍මේ ‍වෙනු‍වෙන් රජ‍යේ අවධානය ‍යොමු විය යුතු ‍වෙනවා.

‍කොළඹ හලාවත ‍දෙදිසා‍වේ ප්‍රධාන සංඝනායක සහ කැලණිය විශ්ව විද්‍යාල‍යේ කුලපති ආචාර්ය වැලමිටියා‍වේ කුසලධම්ම නාහිමි,

මට සම්බන්ධකම් කියන ‍කෝරලයේ ‍වෙසක් රාජ්‍ය උත්සවය පැවැත්වීම සම්බන්ධ‍යෙන් සතුටට පත්වෙනවා. ‍වෙසක් උත්සව ‍අ‍පේ ගම්වල පැල්වපත්වල පවා පවත්වනවා. ‍පොඩි දරුවා‍ගේ සිට සියලු ‍දෙනා‍ගේ හදවතට බුදුදහම කා වැදී ති‍බෙනවා. ‍වෙසක් දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට පත් කිරීම සඳහා හිටපු වි‍දේශ කටයුතු ඇමැති ලක්ෂ්මන් කදිරගාමර් මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ‍යෝජනාවක් ඉදිරිපත් කළා. අ‍පේ විහාර අලුත් ‍වෙන්නේ නැහැ. නමුත් ‍මේවා රැකිය යුතු ‍වෙනවා.

අ‍පේ රජවරු රට, ජාතිය, ආගම ‍වෙනු‍වෙන් කැපවී කටයුතු කර ති‍බෙනවා. අ‍පේ දහම් පාසල් සංවර්ධනය කළ යුතු ‍වෙනවා. සියලු ‍දෙනා තුළම ‍බෞද්ධ ප්‍රබෝධය ඇති විය යුතු ‍වෙනවා. ‍මේ උත්සවය පැවැත්වීම තුළ පළාතටම ආ‍ලෝකය ලැ‍බෙනවා. ‍මේ රට සංවර්ධනය වුණා පමණක් ‍‍නොව රටට ආදරය කරන පිරිසක් බිහි වු‍ණේ පන්සල ඇසුරින්. හාමුදුරුවන් නායකත්වය දුන්නා. තුනුරුවන් නමඳින ‍කෙනා කිසිදා පිරි‍හෙන්නේ නැහැ. පන්සිල් ආරක්ෂා කර‍ගෙන ජීවත් විය යුතු ‍වෙනවා.

බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා,

දේවානම්පියතිස්ස රජතුමාගේ කාලයේ සිට අපේ රටට හොඳ ඉතිහාසයක් තිබෙනවා. රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව කුරුණෑගල දිස්ත්‍රික්කයේ විශාල සංවර්ධනයක් සිදුව තිබෙනවා. නමුත් මේ කටයුතු කරගෙන යන්න විවිධ හේතූන් මත පසුගිය කාලයේ අපිට නොහැකි වී තිබුණා. ත්‍රිවිධ හමුදාව එම කටයුතු බාර නොගත්තා නම් ඒවා සාර්ථක කරගන්න නොහැකි වෙනවා. රාජ්‍ය ආයතන දින කිහිපයක් තුළ මේ උත්සවය සාර්ථක කරගන්නට වෙහෙස මහන්සි වී කටයුතු කළා.

අක්කර දහසක පමණ පරිසර හිතකාමී පරිසරයක් මේ විහාරස්ථානයට අයත් වෙනවා. පැරැණි නටඹුන් විශාල ප්‍රමාණයක් තිබෙනවා. මේ භූමිය තවදුරටත් සංවර්ධනය කළයුතු වෙනවා. සෑම ක්ෂේත්‍රයකම සංවර්ධනයක් ඇති කළ යුතුයි. මම තීන්දු තීරණ ගන්නේ නැහැ. අපේ නයක හිමිවරුන් මට කතා කොට න්‍යාය පත්‍රය සම්බන්ධයෙන් පවසනවා.

බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රපේම ගමගේ මහතා,

ශ්‍රී ලංකාවේ රාජ්‍ය වෙසක් උත්සවය ආධ්‍යාත්මික සංවර්ධනයට වැඩි අවධානයක් යොමු කරමින් පවත්වනවා. මේ වෙනුවෙන් රජය ලබා දෙන සහයෝගයට ස්තුතිය පිරිනමනවා. රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව කුරුණෑගල දිස්ත්‍රික්කයේ වෙහෙර විහාරස්ථාන 250ක් සහ දහම් පාසල් 350ක් සංවර්ධනය වෙනුවෙන් පියවර ගෙන තිබෙනවා.

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවෙලගෙදර මහතා,

දහම් පසල් ළමයින්, ගුරුවරුන් වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා. බුදුදහමේ මූලික ඉගැන්වීම් මත හැඩ ගැසුණු වෘත්තිකයන් බිහි කිරීම වෙනුවෙන් 1000 ට පමණ දැනුම ලබාදෙන්නට හැකියාව ලැබුණා. රාජ්‍ය සේවකයන් තවදුරටත් ශක්තිමත් කරන වැඩසටහන් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. ඒ වඟේම ස්වයං රැකියාලාභීන් දැනුවත් කරන්නට ද වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. බුදු දහම පදනම් කරගත් ආධ්‍යාත්මික සංවර්ධනය වෙනුවෙන් 30 දා වැඩසටහන් පවත්වනවා.

රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් බිංගිරිය, දේවගිරි රාජමහා විහාරස්ථානයේ සිතුවමක් ඇතුළත් මුද්දරයක් නිකුත් කිරීම, කුරුණෑගල දිස්ත්‍රික්කයේ තෝරාගත් වෙහෙර විහාරස්ථාන සංවර්ධනය වෙනුවෙන් මුදල් ආධාර පිරිනැමීම, දහම් පාසල් දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමීම ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සිදුකෙරිණි. මේ අවස්ථාවට සහභාගි වෙමින් සහාය දැක්වීම සම්බන්ධව දේවගිරි රාජමහා විහාරාධිපති මලගනේ අත්ථදස්සී නාහිමියෝ ජනාධිපතිවරයාට සහ බුද්ධශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාට සමරු තිළිණ ප්‍රදානය කළහ.

මෙවර රාජ්‍ය වෙසක්‌ මහෝත්සවය නිමිත්තෙන් කුරුණෑගල දිස්‌ත්‍රික්‌කය පුරා ප්‍රත්‍යවේක්‍ෂා අධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් 150 ක්‌ද, ජංගම සේවා වැඩසටහන් 6 ක්‌ද, දහම් පාසල් ගුරු පුහුණු වැඩසටහන් 16 ක්‌ද, සෞඛ්‍ය හා බුදු දහම වැඩසටහන් 61 ක්‌ද, ළමා භාවනා වැඩසටහන් 30 ක්‌ද, වෘත්තිකයන් හා බුදු දහම වැඩසටහන් 18 ක්‌ද, සාමණේර ස්‌වාමීන් වහන්සේ පුහුණු කිරීමේ වැඩසටහන් 20 ක්‌ද, මාපිය දූ දරු සෙනෙහස මුල් කරගත් වැඩසටහන් 37 ක්‌ද සංවිධානය කර ක්‍රියාත්මක කෙරිණි.

මීට අමතරව බෞද්ධ කෙටි නාට්‍ය තරගාවලියක්‌, භක්‌ති ගීත වැඩසටහන්, බුදු දහමින් පෝෂිත සිංහල සාහිත්‍ය හා හෙළ කලාව ගැන වැඩසටහන්, සාරධර්ම පෙරහැර, තිරසර පරිසරයක්‌ සඳහා බුදු දහම වැඩසටහන්, සත් කෝරළයේ විහාර වංශය ලිවීම, පැරැණි පුස්‌කොල පොත් සංරක්‍ෂණය, විශේෂ ධර්ම දේශනා හා පිණ්‌ඩපාත පිංකම්, සිල්මාතා පුහුණු වැඩසටහන්, සමාජ සංවර්ධනය හා බුදු දහම වැඩසටහන් ද පැවැත්වේ.

රාජ්‍ය වෙසක්‌ මහෝත්සවයට සමගාමීව භෞතික සංවර්ධන වැඩසටහන්ද ක්‍රියත්මක වේ. කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ දහම් පාසල් 300 ක්‌ සංවර්ධනය කරන අතර විහාරස්‌ථාන 250 ක්‌ සංවර්ධනය කෙරේ. මෙවර රාජ්‍ය වෙසක්‌ උත්සවය පැවැත්වෙන බිංගිරිය දේවගිරි රාජමහා විහාරස්‌ථානය ද සංවර්ධනය කරන විහාරස්‌ථාන අතරට අයත්ය. බුදුපුත් මාපිය උපහාර නිවාස ව්‍යාපෘතියක්‌ ද ක්‍රියාත්මක කෙරේ.

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සී, අනුරාධපුර අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිවරුන්, ඇමැතිවරුන් වන එස්.බී නාවින්න, දයා ගමගේ, ඒ.එච්.එම් ෆවුසි, එම්.එච්.එම් හලීම්, නියෝජ්‍ය ඇමැති ජේ.සී අලවතුවල, පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර, වයඹ පළාත් ආණ්ඩුකාර කේ.සී ලෝගේෂ්වරන්, වයඹ පළාත් ප්‍රධාන ඇමැති ධර්මසිරි දසනායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති, නාවික හමුදාපති වයිෂ් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහත්වරුන් ඇතුළ විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප - සුදත් මලවීර සහ
නිශංක ද සිල්වා
ජනාධිපති මාධ්‍ය අංශය

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();