ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර මැයි දින රැලිය පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 7දා මඩකළපුව චෙන්කලඩි ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
දිවයිනේ සියලු පළාත්වලින් පැමිණෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් අතිඋත්කර්ෂවත් ලෙස මෙවර මැයි දින රැලිය සහ පෙළපාළිය පැවැත්වීමට මැයි දින සංවිධාන කමිටුව කටයුතු සුදානම් කර තිබේ.
මැයි දින රැළියට සමගාමීව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කම්කරු නායකයින් සමරා විශේෂ ගුණසැමරුම් උත්සවයක් ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී මැයි 1 දා පස්වරු 3 ට පැවැත්වෙන බව මැයි දින කමිටුවේ සභාපති, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින සැමරුම් උත්සවය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පක්ෂ මූලස්ථානයේ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.
මැයි දිනය නිවාඩු දිනයක් බවට පත් කිරීමේ කාර්යය සිදු කළ එවකට රජයේ අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්, එවකට කම්කරු ඇමැති ටී.බී. ඉලංගරත්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිති ව්‍යාපාරයේ නියමුවන් වු ආනන්ද දසනායක, හර්බට් වික්‍රමසිංහ, අලෙවි මව්ලානා, ඩී.සී. වීරසේකර, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු කම්කරු නායකයින්ගේ ගුණ සැමරීම මෙම පළමුවැනිදා දිනයේ ඉතා චාම් අයුරින් සිදු කරන බව ද ඒ මහතා පැවැසීය.
මෙවර වෙසක් පෝය දිනට පසු දින කම්කරු දිනය යෙදී ඇති බැවින් මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම පරිදි මැයි දින සැමරුම හා නිවාඩු දිනය මැයි හත් වෙනිදා ලබා දීමට රජය තීරණය කළ බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
කෙසේ වුව ද මැයි 1 දිනයේ දී මැයි දින සැමරුම් සිදු කිරීමට වෘත්තීය සමිතිවලට කිසිදු බාධාවක් නොමැති බව ද හෙතෙම කීවේය.
එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා මෙසේ ද කීවේය.
මෙවර මැයි දින රැලිය හා පෙළපාළිය වෙනත් වසරවලටත් වඩා අති උත්කර්ෂවත් ලෙස පැවැත්වෙනවා. මින් පෙර කොළඹ, ගාල්ල, නුවර, බදුල්ල වැනි ප්‍රදේශවල පවත්වා තිබෙනවා. මෙවර මැයි දිනය මඩකලපුවේ පැවැත්වෙන්නේ ජාතික සංහිඳියාව තව දුරටත් තහවුරු කරමින් ඒ සඳහා ප්‍රමුඛතාවය ලබා දීමටයි. එමෙන්ම නැඟෙනහිර ජනතාවට සිදු කරන උපහාරයක් හා ජාතික සංහිඳියාවට පාලමක් ලෙසත් මෙවර මැයි දිනය යොදා ගැනීම අපේක්ෂාවයි. ශ්‍රීලනීප මැයි රැලියට සහභාගී වන ජනතාව වෙනුවෙන් මෙවර බස් රථ 1200 ක් සඳහා ඉල්ලීම් කර තිබෙනවා. මේ සියල්ල ලබා දෙන්නේ මුදල්වලටයි. මෙවර අනෙකුත් මැයි දින පෙළපාළි හා රැළිවලට වඩා ශ්‍රීලනීප මැයි රැලිය වඩා අර්ථවත් මැයි රැළියක් බවට පත් කර ගැනීම අපේ අරමුණයි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිති නායකයෝ පිරිසක් ද එක් ව සිටියහ.


0 Comments