මේ රජය හොරු හිරේට යවන්නේ නැතැයි පසුගිය සමයේ එල්ල වු චෝදනාවකි. අල්ලා ගත් "හොරු" ඇප ලබා ගෙදර ගිය අවස්ථාද විය.ඒ රජය අධිකරණයට අත නොගැසූ නිසාය.අහවලා ඇතුළට යවන්නැයි ජනාධිපති මැදුරෙන් හෝ අරලිය ගහ මැදුරෙන් නියෝග නොලැබුණු නිසාය. සියල්ල සිදු වුයේ නීතියට අනුවය. නීතියේ දුර්වල තැන් තිබුණි. නඩු කල් ගියේය. නීතීඥවරු දින ලබා ගත්හ. මේ සියල්ලෙන්ම සිදු වුයේ ආණ්ඩුව හොරු හිරේ දාන්නේ නැහැ යන චෝදනාවයි. වංචා සහ අල්ලස් නඩු බාධාවකින් තොරව ඇසීමට නීතිය සංශෝධනය කළ යුතු විය. ආණ්ඩුව ඒ සඳහා පියවර ගනිමින් දූෂණ සහ මිනීමැරුම් වැනි අපරාධ නඩු දිනපතා විභාග කර කඩිනමින් තීන්දු ලබාදීමට හැකිවන පරිදි ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයක් පිහිටුවීමේ අධිකරණ සංවිධාන ( සංශෝධන) පනත පසුගිය 06දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
සොරකම, දේපළ වංක පරිහරණය , සොරකම් කළ දේපළ සඟවා තැබිමට සහාය වීම, කූඨ ලේඛන සෑදීම,ගිණුම් වරදවා දැක්වීම, මුදල් විශුද්ධිකරණය, අධිකරණ හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධ අල්ලස් ගනුදෙනු , පොදු දේපළ සොරකම් කිරීම ඇතුළු වැරදි ගණනාවක් වෙනුවෙන් වන නඩු මේ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී විභාග කිරීමට බලය ලැබෙන බව අදාළ පනත් කෙටුම්පතේ සඳහන් වේ.
මේ ත්‍රිපුද්ගල මහාධිකරණය සඳහා අධිකරණ සේවා කොමිෂම විසින් විනිසුරුවන් තිදෙනෙකු පත් කෙරේ.
මේ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ ඇති නඩු විභාග නීතිපතිවරයා හෝ අල්ලස් හෝ දූෂණ වැළැක්වීමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඉදිරිපත් කරන අධිචෝදනා පත්‍රයක් මත පවත්වනු ලබන අතර එම නඩු ඉක්මනින් පවත්වා අවසන් කරනු ලැබිය යුතු බවද පනතෙහි සඳහන් වේ.දිනපතා නඩු විභාග කළ යුතු වන එම නඩු විභාග වන දිනයක එම නඩුවට පෙනී සිටන නිශ්චිත නීතිඥවරයා වෙනත් අධිකරණයක පෙනී සිටීමට යොදා ගෙන තිබිම හෝ වෙනයම් හේතුවක් මත ස්ථිර මහාධිකරණයේ පෙනී සිටිමෙන් වැළකී සිටිය නොහැක. වෙනත් දිනයක් ඉල්ලිය නොහැක.ඒ අනුව නඩු විභාගය ඉක්මන් වේ. ඉක්මනින් වැරදිකරුවන් සිර දඬුවම් ලබනු ඇත. මේ නීතියට විරුද්ධ වීමට හේතුවක් නොපෙනේ. සියල්ලටම අවශ්‍ය හොරු ඉක්මනින් සිර ගෙට යැවීමටය. මේ රජයට ජනවරම ලැබුණේද ඒ සඳහායි. ඉතින් මෙයට විරුද්ධ වන්නේ ඇයිදැයි සැකයක් මතුවේ. ඒ හොරුන් හෝ හොරුන්ගේ කල්ලිය බව සිතිය හැක. මේ ඒ පිළිබඳව දිනමිණ කළ විද්වත් මත විමසුමකි මේ.
මේකට විරුද්ධ වන්නේ ඉදිරියේදී නඩු වැටෙන්න සිටින පිරිස පමණයි
- නීතීඥ ජේ.සී. වැලිඅමුණ
විශේෂ මහාධිකරණ පිහිටුවීමට අදාළව අධිකරණ සංවිධාන සංශෝධන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණේ මහජන ඉල්ලීමක් අනුවයි.විශේෂ මහාධිකරණ පිහිටුවීමට අදාළව අධිකරණ සංවිධාන සංශෝධන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණේ මහජන ඉල්ලීමක් අනුවයි. මුල්‍ය අපරාධ පිළිබඳව විශේෂත්වයක් යොමු කර කඩිනමින් නඩු අසා වැරදිකරුවන්ට දඩුවම් ලබාදීම ගැන ජනතාව 2015 ජනාධිපතිවරණයේ දී කැමැත්ත පළ කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගත් විට දී වරින් වර එවැනි අධිකරණ පිහිටුවීම ගැන නිදසුන් තිබෙනවා. වාණිජ අධිකරණ පිහිටුවීම, කම්කරු උසාවි පිහිටුවීම සිදු වුණේ ඒ අනුවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටතේ පත් කරන විනිසුරුවරුන් යටතේ නඩු විභාග වෙනවා.
ශ්‍රී ලංකාවේ අපරාධ නඩු ගැන කතා කරන විට එක් නඩුවක් විභාග කිරීමට අවුරුදු 10ක පමණ කාලයක් ගත වෙනවා. මේ නිසා ජනතාව තුළ විශ්වාසය පළුලු වෙලා තිබෙනවා. අධිකරණ ක්‍රමය තුළ අපරාධ නඩු සම්බන්ධ කටයුතු ඉක්මන් කිරීම සඳහා මේ නව පනත ඉදිරිපත් කර තිබෙනවා. මේ වන විට මේ පනත සම්බන්ධයෙන් විවිධ විරෝධතා මතු වෙලා තිබෙනවා. නීතීඥ සංගමය පෞද්ගලික හා වෘත්තීය අවශ්‍යතා නිසා මෙයට විරුද්ධයි. ඉදිරියේ දී දුෂණ නඩු චෝදනා ලබන්න නියමිත අයත් මෙයට විරුද්ධයි. නමුත් අවදියෙන් සිටින බුද්ධිමත්, උගත් ජනතාව අපරාධ නඩු කඩිනම් කර ගැනීමට ඉතා කැමතියි. මුල්‍ය අපරාධ නඩු කඩිනම් කිරීමේ වැඩපිළිවෙළ දියුණු රටවලත් ක්‍රියාත්මක වෙනවා. මෙය ජාත්‍යන්තරව පිළි ගත් අදහසක් වෙන අතර එම අදහස දරණ කණ්ඩායම් මේ පනතට පක්ෂයි.
මේ නව අධිකරණවලට වුවත් නඩු යොමු කිරීමේ බලතල නීතිපතිවරයාට හා අල්ලස් කොමිසමට පවරා තිබීම අලුත් දෙයක් නොවේ. අපරාධ නඩු අධිකරණයට යොමු කරනවාද, නැද්ද යන්න තීරණය කිරීමේ බලය අදත් තිබෙන්නේ නීතිපතිටයි. අල්ලස් කොමිසමටත් තිබෙන්නේ පරණ තිබෙන බලයමයි. විශේෂත්වය වන්නේ මේ නව අධිකරණ පිහිටු වු පසුව ඒවාටත් නඩු යොමු කිරීමේ බලය මේ දෙදෙනාට පැවරීම පමණයි.
මෙවැනි අධිකරණ පිහිටුවීම මගින් අපරාධ නඩු කඩිනම් කර ගැනීමටත් එමගින් මෙරට අධිකරණ ක්ෂේත්‍රය කෙරෙහි ජනතා විශ්වාසය මෙන්ම ජාත්‍යන්තර විශ්වාසයත් දිනා ගැනීමට හැකියාව ලැබෙනවා. මෙයට විරුද්ධ වන්නේ ඉදිරියේදී නඩු වැටෙන්න සිටින පිරිස පමණයි.
බොරුවට කෑ ගහන්නේ තමන්ගේ වැරදි වසා ගන්නයි
- නීතීඥ රජික කොඩිතුවක්කු
මේ රටේ ජනතාව 2015 දී දුෂණයෙන් වංචාවෙන් තොර රටක්, පාලනයක් බලාපොරොත්තුවෙන් ජනාධිපතිවරණයේදී මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයේදීත් සිය ඡන්දය භාවිතා කළා. ඒ අරමුණ ඉටු නොවු විට ජනතාව ඊට විරෝධය පෑවේ ප්‍රාදේශීය සභා මැතිවරණයේදීයි.
රටේ සිදු වු දුෂණයට, වංචාවට සාධාරණය ඉටු වෙනු ඇතැයි යන විශ්වාසය ජනතාව තුළ තිබුණත් එවැන්නක් සිදු වුණේ නැහැ. නීතියේ ප්‍රජාතන්ත්‍රවාදී සිදුරු තුළින් වැරදිකරුවන් රිංගලා ගියා. ගෝඨාභය රාජපක්ෂ මහතාව පොදු දේපළ පනත යටතේ තවමත් උසාවියට ගෙනත් නීතීමය ක්‍රියාමාර්ග ගැනීමට තවම හැකියාවක් ලැබුණේ නැහැ. පොලිසිය කරුණු වාර්තා කළත් අභියාචනාධිකරණයට ගොස් අත්අඩංගුවට ගැනීම වළක්වා වාරණ නියෝග ලබා ගැනීම ගෝඨාභය මහතා දිගින් දිගටම සිදු කරනවා. මෙය සාමාන්‍ය පුද්ගලයකුට සිදු වුණා නම් මේ කිසි දෙයක් නැහැ. ඒ මනුස්සයාව අල්ලලා රිමාන්ඩ් කරනවා. හම්බන්තොට වරාය විකිණීමට එරෙහිව උද්ඝෝෂණය කළ මිනිස්සු, සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදුණු සිසුන් අත්අඩංගුවට ගත්තේ පොදු දේපළවලට හානි කිරීමේ වරද යටතේයි. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා පොදු දේපල අයථා පරිහරණය කළත් චෝදනාව යටතේ අත්අඩංගුවට ගන්න හැකියාවක් නැහැ.
මේ නිසා බලය ඇති අය මේ සිදුරු අතරින් රිංගා යාම වැළැක්වීමට නම් මේ සිදුරු වසා දැමිය යුතු වෙනවා. මේ නිසා මෙවැනි නඩු ඉක්මන් කර ගැනීමට ක්‍රමයක් දීර්ඝ කාලයක සිට සොයා බැලීමට සිදු වුණා. ඒ අනුව මේ නව අධිකරණ සංවිධාන සංශෝධන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණා. මේ පනත අනුව බී වාර්තා හරහා කරුණු ඉදිරිපත් කිරීමෙන් තොරව නීතිපතිවරයා හා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට සෘජුව ශ්‍රේෂ්ඨාධිකරණයට නඩුවක් යොමු කිරීමට හැකියාව ලැබෙනවා. පුද්ගලයකුට විරුද්ධව යම් දුෂණයකට හෝ වංචාවකට සම්බන්ධව සාක්ෂි, සාධක, කරුණු ඇත්නම් ඒවා කල් ගත නොකර උසාවියට යොමු කරන්න හැකියාව ලැබෙනවා. නමුත් දැනට ක්‍රියාත්මක වන ආකාරයට නඩුවක් ඇසීමට අවුරුදු 10කට ආසන්න කාලයක් යනවා. එවිට ආණ්ඩු වෙනස් වීමට මෙන්ම පුද්ගලයන් මිය යාමටත් හැකියාව තිබෙනවා.
මේ නිසා මේ නව පනත රටට අතිශය යහපත් මෙන්ම ජනතාව ඉල්ලා සිටි දෙයක් බව කිව යුතුයි. මෙයට විරුද්ධ වන්නේ හොරකමට දුෂණයට කැමැති අයයි. නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීමට බව අඟවමින් මේ අය බොරුවට කෑ ගහන්නේ තමන්ගේ වැරදි වසා ගන්නයි.
මේක කාලෝචිත ක්‍රියාවක්
- නීතීඥ අජිත් පතිරණ
අධිකරණ පද්ධතිය තුළ නඩු ප්‍රමාද වීම ගැන අද මුළු රටම කතා කරනවා. නඩු ප්‍රමාද වන්නේ අධිකරණවල වරදින් නොව කාර්ය පටිපාටීන් තුළ පවතින දුර්වලතා නිසයි. මහා පරිමාණයේ වංචා, දුෂණ රටේ සිදු වෙනවා. දවසින් දවස එවැනි ක්‍රියාවන් පිළිලයක් වගේ සිදු වන්නේ ඒවාට සම්බන්ධ වුවන්ට නිසි දඩුවම් නිසි කාලයේදී ලබා නොදෙන නිසයි. ඒ අයට නිසි කාලයේ නිසි දඩුවම් ලබා නොදීම වැරදි පුර්වාදර්ශයක් ද වෙනවා.
2015 ජනාධිපතිවරණයේදී රටේ විශාල පරිවර්තනයක් සිදු වුණේ මහින්ද රාජපක්ෂගේ පවුල්වාදයට, පාලනයට නෙවෙයි. ඒ කාලයේ සිදු වු මහා පරිමාණ වංචා දුෂණවලට තමයි එදා ජනතාව විරුද්ධ වෙලා විශාල පෙරැළියක් සිදු කළේ. මහ දවල් මංකොල්ලකෑමේ සිද්ධීන් වාර්තා වුණේ. ඒ වගේම තමයි ඒවා සොයා බැලීමට පත් කළ කොමිසන් සභාත් කටයුතු කළේ. මේ නිසා ජනතා අප්‍රසාදය, කළකිරීම තමයි ජනතාව පරිවර්තනයක් කරා පෙළඹවීමක් කළේ. ඒ අනුව ජනතාව බලාපොරොත්තු වුණේ මේ වරදකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීමයි. එම ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට විශේෂිත අධිකරණ පිහිටුවීම ඉතා වැදගත් හා කාලෝචිත ක්‍රියාවක් බව මගේ අදහසයි.
අද දුරකතනයෙන් නඩු අහන තත්ත්වයක් අධිකරණයේ නැහැ. අද විනිසුරුවරුන් පත් කිරීම පවා ව්‍යවස්ථානුකූලව සිදු වෙනවා. 19 සංශෝධනයෙන් ලොකු ප්‍රගතියක් ඇති වී තිබෙනවා. සියලු අංශ ස්වාධීන කර තිබෙනවා. අධිකරණ ක්ෂේත්‍රය තුළ මෙය විශාල ප්‍රගතියක් වුවත් නඩු විසඳන ක්‍රමවේදයන් ද කඩිනම් කිරීම අත්‍යවශ්‍ය වෙනවා. මෙය ඉතා හොඳ ප්‍රවණතාවක් වෙනවා. පෙත්සම් යොමු කරමින් ඇතැම් අය මෙය ව්‍යවස්ථාවට පටහැනි බව කියා තිබුණත් එවැන්නක් මා මෙහි දකින්නේ නැහැ. එමෙන්ම ළමා අපචාර සිද්ධීන්වලදී නීතිපතිවරයාට සෘජුව නඩු අධිකරණයට යොමු කිරීමට හැකියාව තිබෙනවා. මේ පනත යටතේ ද නීතිපතිවරයාට හා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා බලය තිබෙනවා සෘජුව නඩු පැවරීම් සිදු කිරීම සඳහා.
සාමාන්‍ය ආකාරයෙන් මේ නඩු විභාග කිරීමට අවුරුදු 10 ක පමණ කාලයක් ගත වෙනවා. ඒ නිසා සුවිශේෂි අධිකරණ මේ සඳහා අවශ්‍ය කරනවා. මේ සිදු ව තිබෙන්නේ බිලියන ගණන් ලොකු වංචාවන්. මේ මහජන මුදල් ගසා කෑමේ වංචාවන්. මේ නිසා මේ නඩු ඉක්මණ් කිරීමට කටයුතු කිරීම ව්‍යවස්ථානුකූල කාර්යයක් ලෙසයි මා දකින්නේ. එය කිසිසේත් ව්‍යවස්ථාවට පටහැනි දෙයක් නොවන බව මගේ හැඟීමයි.
රටකට ඉතාම යහපත් පනතක්
- නීතීඥ නාමල් රාජපක්ෂ
පවතින අධිකරණ ක්‍රමය යටතේ අපරාධ නඩු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීම ප්‍රමාද වන නිසා එවැනි නඩු කඩිනමින් විභාග කිරීමට මේ පනත ඉදිරිපත් කර තිබෙනවා. මෙය රටකට ඉතාම යහපත් පනතක් බව කිව යුතුයි. එමෙන්ම මෙය ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක කිරීමක් ලෙස සැලකිය හැකියි. යම් යම් පිල්ලි යොදා ගනිමින් රජයේ මේ වෑයම වළක්වාලීමට කුමන්ත්‍රණයක් ගෙන යන බව පෙනෙන්න තිබෙනවා. ඇතැම් පිරිස් තමන්ට ජනතා බලයක් පවතින බව පෙන්වා නඩුවලින් බේරී යාමට උත්සාහ කරනවා. මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට පැමිණීමට උත්සාහ දරන්නේ තමන්ගේ පිරිස මේ නඩුවලින් බේරා ගැනීම සඳහායි.
රජය යම් කිසි වැඩපිළිවෙළක් තීරණය කර එය ක්‍රියාත්මක කිරීමට අදහස් කරගෙන ඉන්නවා නම් ඒ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට උපරිම බලය යෙදවිය යුතුයි. එහිදී විනිසුරුවරුන් පවා වෙනස් කරගෙන හෝ තමන්ගේ ක්‍රියාවලිය සාර්ථක කර ගත යුතුයි.
නමුත් වත්මන් රජයේ දුර්වලතාව නිසාම පරාජයට පත් වු බලවේග යළි හිස ඔසවමින් සිටිනවා. රජයක හොඳම කාලයේදී ගත යුතු තීන්දු තීරණ මේ රජය ගත්තේ නැහැ. ඒ නිසාම ජනතාව අසහනයට පත් වුණා. වරදකරුවන්ට දඩුවම් දීම පමා වෙන්න වෙන්න ජනතාව රජය කෙරෙහි කලකිරුණා. නමුත් අදත් පරක්කු නැහැ. මේ රජය මේ පනත ක්‍රියාත්මක කිරීමේ දී කල්පනාකාරී විය යුතුයි. මෙය ජනතාවගේ අවශ්‍යතාවක් බව සිහි තබා ගත යුතුයි. කුමන පිල්ලියක් ආවත් මේ කාර්යය ජනතාවාදීව ඉටු කළ යුතුයි.
වත්මන් අධිකරණ ක්‍රමය යටතේ නඩුවක් නිම වීමට වසර 10ක කාලයක් ගත වෙනවා. එවිට රජයන් වෙනස් වී තිබීමත් වැරදිකරුවන්ට වාසියක් වෙනවා. මේ පනත යටතේ නීතිපතිවරයාට හා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට මේ චෝදනා ලැබුවන්ට සාක්ෂි හා කරුණු පැහැදිලිව තිබේ නම් සෘජුව අධිකරණයට ඉදිරිපත් කරන්න පුළුවන්.
මුල්‍ය අපරාධ, දුෂණ වංචා සම්බන්ධ වැරදිකරුවන්ට කඩිනමින් නීතිය ක්‍රියාත්ම කිරීම ගැන 2015 දී ජනතාව දැඩි විශ්වාසයක් තබා ගත්තා. අද ඒ විශ්වාසය නැති වෙලා.
රජය මේ පනත මගින් හෝ කඩිනමින් මේ අයට නීතිය ක්‍රියාත්මක කර ගිලිහෙන විශ්වාසය දිනා ගත යුතු වෙනවා. එහිදී මේ පනතට එරෙහිව ඉදිරිපත් වන පෙත්සම්, කුමන්ත්‍රණ මෙන්ම විවිධ පිල්ලි හරහා එනු ලබන අභියෝගවලට කල්පනාකරීව මුහුණ දීමට රජය කටයුතු කළ යුතුයි.
අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට අභියෝග කර දිනේෂ්ගෙන් පෙත්සමක්
පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති “අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතෙහි” ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පෙරේදා (12) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ පෙත්සමක් ගොනු කෙළේය.
එම පනත් කෙටුම්පතෙහි සඳහන් වගන්ති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වගන්තිවලට පටහැනි බැවින් එය නිසි ලෙස සම්මත වූ පනතක් බවට පත්වීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර ඡන්දයෙන් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට ප්‍රකාශයක් කරන ලෙස පෙත්සම මගින් ඉල්ලා තිබේ.
පෙත්සම මගින් නීතිපතිවරයා වගඋත්තරකරු ලෙස නම්කර ඇත. යෝජිත විශේෂ මහාධිකරණ පිහිටුවීමට අදාළ “අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත” ඉකුත් මාර්තු මස 06 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර එහි ඇතුළත් 2, 3, 4 වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 3, 4A, 4 B, 4 (C), 13 (3), 12 (1), 12 (2), 14, 14 (1) (9), 27, 75, 83, 84 (2) යන ව්‍යවස්ථාවන්ට පටහැනි බවට ප්‍රකාශයක් කරන ලෙසට පෙත්සම මගින් ප්‍රකාශ කර තිබේ. යෝජිත මහාධිකරණ හමුවෙහි නඩු පැවරිය යුත්තේ කාටද යන්න තීරණය කිරීමේ අත්තනෝමතික බලය විධායකයට පැවරීමක් මෙමගින් සිදුවන බවට පෙත්සම මගින් පෙන්වා දී තිබේ. එමගින් පුද්ගලයන් ඉලක්ක කරගෙන නඩු පැවරීමේ හැකියාව ලැබෙන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති සමාන ලෙස සැලකීමේ අයිතිය එමගින් උල්ලංඝනය වන බවට පෙත්සමෙහි සඳහන් වේ.
නෙල්කා මැදගෙදර
0 Comments