අගමැතිතුමන්ට එරෙහිව ගෙන එනු ලබන විශ්වාස භංගය දැනටමත් පරාජය වෙලා. ලත් තැනම ලොප් වෙලා යැයි ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ ඇමැති පී. හැරිසන් මහතා අනුරාධපුර නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ යෞවන සමාජ සංවත්සරයට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසීය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ඒකාබද්ධ විශ්වාසභංගය ගේනවා කියල තියෙනවා. මේක නිකං අලියා ගිල්ල දිවුල් ගෙඩිය වගේ. අපිට විශ්වාසයේ ප්‍රශ්නයක් නැහැ. ඒකාබද්ධයට තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. අපි බලන් ඉන්නව විශ්වාසභංගය ගේනවද කියල. ඒ ගෙනාවොත් ඒකට මුහුණ දෙන්න අපි ලෑස්තියි.
මම බොහොම විශ්වාසයෙන් කියනව අපේ එක්සත් ජාතික පක්ෂයේ කිසි කෙනෙක් විශ්වාසභංගයට අත්සන් කළේ නැහැ. විරුද්ධව යන්නෙත් නැහැ. ආණ්ඩුවක් හැටියට අපි කණ්ඩායම එකට ඉන්නවා.
මහනුවර අවාසනාවන්ත තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කර තියෙනවා. සමහර අය උත්සාහ කරනවා යම් යම් තැන්වල සිද්ධීන් ඇතිකරන්න. එහෙම ප්‍රශ්න ඇතිකරන්න යම් කෙනෙක් උත්සාහ කරනවා නම් පක්ෂ, පාට, ජාති, ආගම් භේදයකින් තොරව නීතිය අනුව ක්‍රියා කරන්න රජය සූදානම්. කිසිම අයුරකින් ඒ අයට සමාව දෙන්න සූදානම් නැහැ.
මින් පස්සේ ෆේස්බුක් හරහා සමාජ වෙබ් අඩවි ජාලා හරහා රටට අහිතකර දෙයක්, ජාතීන් අතර අසමඟියක් ඇතිකරන දෙයක්, ඒ වගේම රටේ ඉහළ පෙළේ නායකයන්ට විරුද්ධව පරිභව කරන විදිෙහ් වැඩසටහන් යනවා නම් ඒ අයට විරුද්ධව නීති මාර්ගයෙන් කටයුතු කිරීමට දැන් රජය කටයුතු කරගෙන යනවා. ෆේස්බුක් හොඳ අතට පරිහරණය කරන අයට අවස්ථාව ලබා දෙන්න ඕනෑ. මා මුලින්ම කිව්ව කාරණය කරන්න පෙළඹුණොත් ඒ අයට විරුද්ධව නීත්‍යානුකූලව පියවර ගන්නවා.
ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා ආණ්ඩුව බලය තියාගෙන ඒක පොලිසිය මත දාලා ඇඟ බේරගන්න හදනවා කියලා. ඒකේ සත්‍යතාවක් නැහැ.
ආණ්ඩුව කියල ජනාධිපතිතුමයි, අගමැතිතුමයි, මැති ඇමැතිවරුයි ඉන්නේ මේ වගේ ප්‍රශ්නයක් ඇතිවන තැන්වල ගිහිල්ල කටයුතු කරන්න නෙමෙයිනේ. රටේ පරිපාලන කටයුතු භාර දීල තියෙන්නේ පොලිසියට සිවිල් නීතිය ආරක්ෂා කරන්න. පොලිසියේ වැරදි කරපු අය ඉන්නවා නම් ඒ අයට විරුද්ධවත් ක්‍රියා කරන්න ඕනෑ. මොනව හරි සිද්ධියක් වෙනකොට පොලිසියට බලය දීල තියෙනවා. ඒ වගේම පොලිසියටත් අනිත් සියලුදෙනාගේ සහයෝගය දෙන්න ඕනෑ. පොලිසියට, හමුදාවට තනියම මේක කරන්න බැහැ. කවුරුහරි හිතනවා නම් තුවක්කුවලින්, පතරොම්වලින් මේක විසඳන්න, පාලනය කරන්න පුළුවන් කියල ඒක වැරදියි. හරියට රතුපස්වල, හලාවත විසඳුවා වගේ. ඒ නිසා මේ වගේ සිද්ධිවලදී විශේෂයෙන් ගමේ පන්සල, පල්ලිය, කෝවිල, පොලිසිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, දිසාපතිවරයා, රාජ්‍ය පරිපාලන නිලධාරීන් සියලුදෙනා එකතුවෙලා සහයෝගයෙන් කටයුතු කරන්න ඕනෑ. එහෙම වුණොත් තමයි අපේ සහයෝගීතාවය, සහෝදරත්වය ඉදිරියට ගෙන යන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතිනම් මේක එක කොට්ඨාසයකට විතරක් බාරදීල ඇඟ බේරගන්න හදනවා නම් ඒක වැරදියි.
ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්. තමන්ගේ ප්‍රදේශයේ ඉන්න ස්ථානාධිපතිවරයා ඉවත් කරන්න කියල පාරට බැහැලා ඉන්නවා. නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය පැවරිලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයට. මේ වගේ දේවල් සුදුසුද කියල දැන් ඔබතුමාත් මාධ්‍යවේදියෙක් විදිහට මගෙන් අහනවා.
යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් නීත්‍යානුකූලව විසඳගන්න ඕනෑ. අපි මන්ත්‍රීවරු, ඇමැතිවරු හැටියට ජනතාව පත්කර තියන්නේ මහ පාරවල්වල බුදිය ගන්න, මහපාරවල කටයුතු කරන්න නෙමෙයි. එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් පොලිස්පතිතුමා දැනුවත් කර විෂය භාර ඇමැතිතුමා දැනුවත් කර මේක විසඳගන්න තිබුණා.
මහනුවර සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය දවස්වල මතයක් ප්‍රකාශ කළා ඇතැම් සුළු පක්ෂ ඇමැතිවරු ආණ්ඩුව තුළ සිටීම ගැන තමා ලැජ්ජා වෙනවා. ආණ්ඩුව අවස්ථානුකූලව පියවර ගත්තේ නැහැ කියල. එතකොට ආණ්ඩුව තුළින් ආණ්ඩුවට විරුද්ධව මතයක් ගොඩනඟනවා නේද කියල සමහරු අහනවා.
ඒක විරුද්ධ මතයක් නොවේ. එතුමාගේ පුද්ගලික මතය ප්‍රකාශ කරන්න ඇති. ආණ්ඩුවක් හැටියට අපි මුස්ලිම් ජනතාවත්, සිංහල ජනතාවත්, දෙමළ ජනතාවත් පන්සල්, පල්ලි, කෝවිල් ආරක්ෂා කරන්න අපි බැඳිල ඉන්නවා. එක එක්කෙනාට තමන්ගේ ආවේගශීලී මත ප්‍රකාශ කරන්න පුළුවන්. ඒක ආණ්ඩුවේ මතය නෙමෙයි.
0 Comments