Ticker

6/recent/ticker-posts

Header Ads Widget

යහපාලනය මෙන්ම ඵලදායිතාව ස්ථාපිත කිරීමට තොරතුරු දැනගැනීමේ පනත යොදාගත හැකියි

Author(s): 
ස්වර්ණා විජේකෝන්

රටතුළ යහපාලනය මෙන්ම , ඵලදායිතාව ස්ථාපිත කිරීම සඳහා යොදාගත හැකි ශක්තිමත් මෙවලමක් ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත උපයෝගි කරගත හැකි බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය සඳහන් කරයි.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතින් රැකවරණය ලබන්නේ පොදු මහජනතාව බවත් තොරතුරු ලබාගැනීමට ජනතාවට ඇති අයිතිය ශක්තිමත් කළ යුතු බවත් ජයසුන්දර මහත්මිය සඳහන් කළාය.

එමෙන්ම මෙම පනත යටතේ තොරතුරු ලබාගැනීමට ජනතාවට ඇති අයිතිය පිළිබඳ ජනතාව දැනුම්වත් කළ යුතු අතර එම අයිතිය සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීම සඳහා වැඩසටහන් රැසක් (2018) වසරේදී ක්‍රියාත්මක කිරීමට මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා උපදෙස් ලබාදී ඇති බවත් ඇය සඳහන් කළාය.

තිලකා ජයසුන්දර මහත්මිය මේ බව සඳහන් කළේ තොරතුරු දැනගැනිමේ අයිතිවාසිකම් පනත පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් පසුගියදා(12) පැවැති වැඩසටහනකට සහභාගි වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ තිලකා ජයසුන්දර මහත්මිය මෙසේද සඳහන් කළාය.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත අද වනවිට අපගේ රටතුළ ක්‍රියාත්මකයි. ඇත්තටම මේ පනත ක්‍රියාත්මක කිරීම යනු සුවිශේෂි සිදුවීමක් ලෙසයි මම දකින්නේ.මේ පනත ක්‍රියාත්මක උනාට පමණක් ඵලදායි වන්නේ නැහැ. තොරතුරු පනතේ සැබෑ අයිතිකරුවන් වන්නේ තොරතුරු ලබාගැනිමේ අයිතිය ලබන පොදු මහජනතාවයි. ඒ නිසා මේ පනත පිළිබඳ පොදු මහජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් මේ වසර තුළ ක්‍රියාත්මක වන්නට මුදල් හා ජනමාධ්‍ය ඇමතිවරයා හා ලේකම්වරයා තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙම වසරේදී මේ පනත පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම වෙනුවෙන් විවිධ වැඩසටහන්, දැනුවත් කිරීම් සිදුකෙරෙනවා. මේ වැඩසටහනත් එවැන්නක්. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත පිළිබඳව තොරතුරු ජනතාව අතරට රැගෙන යන මාධ්‍ය ආයතන ප්‍රධානීන්, ලෙක්හවුස්, රූපවාහිනිය, ගුවන් විදුලිය, ස්වාධින රූපවාහිනිය, සැලසිනේ ආදි රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට අමතරව පෞද්ගලික මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ මාධ්‍ය ක්ෂේත්‍රෙය් ප්‍රවිණයන්, විද්වතුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වෙනවා.

තොරතුරු පනත පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වසර වන 2018 වසරේදී අපට විශාල කාර්ය භාරයක් පැවරෙනවා. එහිදී තොරතුරු කොමිෂම විසින්ද විශාල කාර්ය භාරයක් අපේක්ෂා කරනවා.වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව මෙම වැදගත් පනත බලාත්මක කිරිමේ අවස්ථාව මෙම රජයට හිමි උනා.2017වසරේදී මෙම පනත පිළිබඳව රජයේ නිලධාරීන්, මාධ්‍ය වේදීන් , සමාජ ක්‍රියාකාරීන් ඇතුළු විවිධ අංශ දැනුවත් කිරීමට කටයුතු කළා. එහිදි අපගේ අමාත්‍යාංශය වගේම, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවත් විශාල කාර්ය භාරයක් ඉටුකළා. එමෙන්ම පනත බලාත්මක වීම වෙනුවෙන් අවශ්‍ය තොරතුරු නිලධාරීන් පත්කිරීමත් ගිය වසරේදී සිදුකළා;අපගේ රට තුළ රාජ්‍ය ආයතන, පළාත් සභා ආයතන ඇතුළු පොදු අධිකාරීන් ලෙස ගත් කළ ආයතන 17854ක් තිබෙනවා.මේ සියල්ල තොරතුරු පනතින් ආවරණය වෙනවා. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ තොරතුරු ලබාගන්නා හා තොරතුරු ලබාදෙන ක්‍රමවේදය ක්‍රියාත්මක වෙනවා.ඒ වගේම මේ යටතේ තොරතුරු සැපයුම් අංශය ශක්තිමත් කළ යුතුයි.

ඒ වගේම තොරතුරු පනත මගින් ආවරණය වන ,එහි ප්‍රතිලාභියා වන පොදු මහජනතාව මේ පිළිබඳ පුළුල් ලෙස දැනුවත් කළ යුතුයි. මොකද පොදු මහජනතාව මේ පිළිබඳව දැනුවත් විමෙන් පමණයි තොරතුරු ලබාගැනීම සඳහා උනන්දු වන්නේ. විශේෂයෙන්ම මේ පනත ක්‍රියාත්මක කිරීම මෙන්ම පනත පිළිබඳ ජනතාව, මාධ්‍යෙව්දීන්, අංශ ප්‍රධානීන් ,ආයතන ප්‍රධානීන් , ප්‍රාදේශීය මාධ්‍ය වේදින් ඇතුළු බොහෝ දෙනෙක් දැනුවත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල, යූ එස් ඒඩ් සංවිධානය, ඇතුළු බොහෝ ආයතන අපට විවිධ අයුරින් උපකාර කරනවා. මෙහිදි එම ආයතන වල සියළු දෙනාට අපගේ ස්තූතිය පිරිනැමිය යුතුයි.තොරතුරු පනතේ සැබෑ අයිතිකරුවන් වන්නේ පොදු මහජනතාවයි. පොදු මහජනතාව මේ පිළිබඳව දැනුවත් නැත්තම් පනත මගින් අපේක්ෂිත අරමුණු ඉටු වන්නේ නැහැ.

රටක පාලනයේ දි යහ පාලනය හා වගවිම ඉතා වැදගත්. පසුගිය දිනක අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා යහපාලනය සම්බන්ධයෙන් මෙන්ම භූතානයේ තොරතුරු පනත සම්බන්ධයෙන් කතා කළා. මා මෙහිදි භූතානයේ තොරතුරු පනත ගැනම නොවෙයි අවධානය යොමුකරන්නේ. භූතානයේ රජතුමා තමයි හැපිනස් දර්ශකය හදුන්වා දුන්නේ. එතුමා මෙය හදුන්වා දුන්නේ දැනට වසර ගණනාවකට ඉහතදි. නමුත් එක්සත් ජාතීන්ගේ අරමුදල එය පිලිගන්නට වසර ගණනාවක් ගතඋනා. රටවල් 144ක් මෙම දර්ශකයේ සිටිනවා. 2017 වසරේ එහි ප්‍රථම ස්ථානය හිමිවන්නේ නෝර් වේ හා ස්වීඩනය වැනි රටවල් වලටයි.ශ්‍රී ලංකාව එම ලැයිස්තුවේ සිටින්නේ 120 වන ස්ථානයේයි.මෙම දර්ශකය තුළ එය නිර්ණය කිරීම සඳහා විවිධ දර්ශක ඉදිරිපත් කරනවා. එම නිර්ණායක අතර යහපාලනයත් තිබෙනවා.

ඇත්තටම යහපාලනය ඇතුලේ තොරතුරු දැනගැනීමේ අයිතියත් තිබෙනවා. ඒ නිසා යහපාලනය ක්‍රියාත්මක කිරීමේදී තොරතුරු පනත ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත්. මම පසුගිය කාලය තුළ ලෝකයේ විවිධ රටවල සේවය කළා. ඒ අතරතුරයි මට නැවත ලංකාවේ සේවයට එන්නට ලැබුණේ.

එමෙන්ම මෙහිදි මේ පනත පිළිබඳ දැන් බොහෝ දෙනා දන්නවා. නමුත් මෙහි ප්‍රධාන පුරුක වන පොදු මහජනතාව තවදුරටත් දැනුම්වත් කළ යුතුයි ඒ නිසා එම දැනුම්වත් කිරීමේ යාන්ත්‍රණය සැකසීම, ඒ සඳහා අවශ්‍ය උපාය මාර්ග,ව්‍යාපෘති සැකසීම, ක්‍රියාමාර්ග ගත යුත්තේ කවර ආකාරයටද ආදිය සම්බන්ධයෙන් අද දිනයේදි සාකච්ඡා කරන්නට නියමිතයි.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සහකාර ලේකම් සුධර්මා කරුණාරත්න මහත්මිය

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත බලාත්මක කිරීම වෙනුවෙන් පසුගිය කාලයේදි අපි බොහෝ දේවල් කළා. තොරතුරු නිලධාරින් ලෙස 3000කට අධික පිරිසක් බඳවාගෙන පුහුණු කළා. අත්දැකීම් හුවමාරු වැඩසටහන් පැවැත්වූවා. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල, යූ එස් ඒඩ් වැනි ආයතන අපගේ මෙම කාර්ය වෙනුවෙන් සුවිශේෂි දායකත්වයක් ලබාදුන්නා.ඒ වගේම තොරතුරු පනත පිළිබඳව අනෙකුත් පිරිස දැනුම්වත් කිරීම සඳහා අපි පුහුණු කරුවන් පිරිසක්ද පුහුණු කළා. ප්‍රා දේශීය මාධ්‍ය වේදින්, මාධ්‍ය වේදීන්, පොලිස් නිලධාරීන් වැනි බොහෝ පිරිසක් දැනුවත් කළා .2017 වසර අප වෙන්කළේ ඒ වෙනුවෙන්. නමුත් 2018 වසරේදී අපි තොරතුරු පනතේ සැබෑ උරුම කරුවන් වන පොදු මහජනතාව දැනුවත් කරන්නට තීරණය කර තිබෙනවා. ජනතාව මේ පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඇමැතිවරයා හා ලේකම්වරයා අපට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ වගේම පසුගිය කාලය තුළ මාධ්‍ය ඔස්සේත් මේ පනත පිළිබඳව දැනුම්වත් කළා. නමුත් එය ප්‍රමාණවත් නැහැ. ඒ නිසා තොරතුරු පනත මඟින් පොදු මහජනතාවට හිමිවන අයිතිය ලබාගැනීම වෙනුවෙන් ජනතාව සූදානම් කළ යුතුයි. තොරතුරු පනත පිළිබඳව තොරතුරු අන්තර්ගත කරමින් ලේක්හවුස් ආයතනය විසින් ඉදිරියේදී පුවත්පත් අතිරේකයක් එළිදැක්වීමට නියමිතයි. එය ලබන 26 දා සිදුකෙරෙනවා.ඒ වගේම තොරතුරු පනත පිළිබඳ හැකි සෑම අයුරින්ම අපි ජනතාව දැනුම්වත් කළ යුතුයි.

මේ වැඩසටහනේදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ නියෝජිතවරියක් මෙන්ම ප්‍රවිණ දේශක නාලක ගුණවර්ධන , ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජගත් ගුණවර්ධන, ජ්‍යේෂ්ඨ ව්‍යාපෘති කළමණාකරු ශාන් විජේතුංග මහතා ඇතුළු පිරිසක් අදහස් දැක්වූහ.

මේ වැඩසටහන සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව,ලේක්හවුස්, ගුවන් විදුලි සංස්ථාව, රූපවාහිනි සංස්ථාව, සැලසීනේ ආයතනය, ඇතුළු රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානීන්, පෞද්ගලික මාධ්‍ය ආයතන ප්‍රධානීන්, පුවත්පත් කතුවරුන්, මාධ්‍යෙව්දීන්, වෘත්තිය වේදීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

ඡායාරූපය - සිරිපාල හල්වල

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();