විවිධ විවේචන හේතුවෙන් පෞද්ගලික අධ්‍යාපන ආයතන කෙරෙහි රජය දැඩි අවධානය යොමු කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
මාලඹේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයට පසුගිය දා එක් වෙමින් සෞඛ්‍ය ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය ඇමැතිවරයා, ‘මාලඹේ තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලය දශක දෙකකට පෙර ආරම්භ කරනු ලැබුවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලත් උපාධි ප්රදානය කරන ආයතනයක් ලෙසයි. පසුගිය වසර කිහිපය පුරා වෘත්තීයවේදීන් 25,000ක් පමණ මේ විශ්වවිද්‍යාලය මගින් බිහිකර තිබෙනවා. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්රයේ පවතින හිඩැසක් මේ ආයතනය මගින් පිරවීමට කටයුතු කරනවා. රැකියා වෙළෙඳ පොළ ඉලක්ක කරගත් උසස් අධ්‍යාපනයක් මේ ආයතනය මගින් ලබාදීම ඉතා වැදගත්.’
‘අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් වසරක දී 145000ක් පමණ සමත් වුවත් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබන්නේ 45000ක් පමණයි. සෙසු පිරිසෙන් සියයට 15ක් පමණ විදේශීය විශ්වවිද්‍යාලවලට ඇතුළත්ව උපාධිය හදාරන අතර, තවත් පිරිසක් විකල්ප අධ්‍යාපන ක්‍රම කෙරෙහි අවධානය යොමු කරනවා. සියයට 85ක් පමණ රැකියා ඉලක්ක කර ගනිමින් කටයුතු කරනවා. රාජ්‍ය විශ්වවිද්‍යාලවල තත්ත්වය පිළිබඳ ද අවධානය යොමු කළ යුතුයි. මේ ආයතනය පිළිගත් අධ්‍යාපනයක් ලබාදෙනවා. 70 දශකයේ අගභාගයේ සිය විශ්වවිද්‍යාලවල වැරැදි අධ්‍යාපන සැලසුම් හේතුවෙන් උපාධිධාරීන්ගේ තත්ත්වය පහළ ගිය බව විවෘත රහසක්. ඔවුන්ගේ උපාධියට සරිලන රැකියා දේශීයව සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් මතුව තිබෙනවා. මෙය අර්බුදයක්, එම නිසා පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම නව සංකල්පයක් වුණා. 2010 වසරේ දී උසස් අධ්‍යාපන ඇමැති ධුරයට පත් වූ එස්. බී. දිසානායක මහතා පෞද්ගලික විශ්වවිද්‍යාල අධ්‍යාපනය කෙරෙහි දැඩි අවධානය යොමු කළා. විරෝධතා එල්ලවුවත් එම වැඩපිළිවෙළ දියත් කළා. ඒ අතර තිත්ත සත්‍ය දැනගත් පිරිසක් ද සිටියා. ඔවුන් අතර බෙල්ලන්විල විමලරතන හිමියන් ප්‍රමුඛයෙක් වුණා. සෑම අධ්‍යාපන ක්‍රමයකම අවසන් ප්රතිඵලලාභියා වන්නේ ශිෂ්‍ය ප්රජාවයි.
මෙහි දී එම විශ්වවිද්‍යාලයේ දක්ෂතා දැක් වූ සිසුන්ට සෞඛ්‍ය ඇමැතිවරයා විසින් රන් සම්මාන පිරිනමන ලදී.
මේ අවස්ථාවට එම විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය ලක්ෂ්මන් එල්. රත්නායක මහතා, උපකුලපති මහාචාර්ය ලලිත් ගමගේ මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, සිසු දරු දැරියෝ ද එක්ව සිටියහ.
0 Comments