Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සාධාරණ ඩිජිටල් වෙළෙඳ පොළක් නිර්මාණය කරමු

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසර සංවර්ධන ගෝලීය ඉලක්ක, කර්මාන්ත හා වාණිජ ක්ෂේත්‍රය තුළ සාක්ෂාත් කර ගැනීමේ දී පාරිභෝගික අයිතිවාසිකම් සුරක්ෂිත කරමින්, වෙනස් වන ලෝකයට ගැළපෙන ආකාරයට වෙළෙඳ පොළ පාරිභෝගික භාණ්ඩ ප්‍රමිතිය සකස් කර ගැනීමට මුළු ලෝකයේම අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුව අපි තරගකාරී වෙළෙඳ පොළ තුළ පාරිභෝගික ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳ දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩ පිළිවෙළක් ආරම්භ කරනවා යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා ‘ජාත්‍යන්තර පාරිභෝගික අයිතීන් දිනය’ නිමිත්තෙන් ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ජාත්‍යන්තර පාරිභෝගික අයිතීන් පිළිබඳ දිනය සෑම වසරකම මාර්තු 15 වැනිදාට යෙදී තිබේ. මේ දිනය ලෝකය පුරා රටවල් මහත් හරසරින් යුතුව සමරති. 2018 වසරේ ලෝක පාරිභෝගික අයිතීන් පිළිබඳ දිනයේ තේමාව වන්නේ ‘සාධාරණ ඩිජිටල් වෙළෙඳ පොළක් හදමු’ (Making Digital Market place Fairer) යන්නයි.

ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවේදනයේ වැඩි දුරටත් මෙසේ ද සඳහන් වේ.

‘සෑම වසරකම මාර්තු 15 වැනිදාට ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනය යෙදී තියෙනවා. එහි මෙවර තේමාව වන්නේ ‘සාධාරණ ඩිජිටල් වෙළෙඳ පොළක් හදමු’ යන්නයි. අද මුළු ලෝකයම තොරතුරු සන්නිවේදන තාක්ෂණය (ICT – Information, Communication Technology) නිසා වෙනස් වෙමින් පවතින යුගයක, එහි බලපෑම වෙළෙඳ, වාණිජ, ආහාර හා කර්මාන්ත ක්ෂේත්‍රයටත් ප්‍රබල ලෙස බලපා තිබෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අද අපගේ කර්මාන්ත හා වෙළෙඳ පොළ ඩිජිටල්කරණය වෙමින් පවතිනවා. එහි බලපෑම නිසාම මිනිස් ක්‍රියාකාරකම් අභිභවමින් තාක්ෂණය මතුවීමට පටන්ගෙන තිබෙනවා. එම නිසා පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමටත්, භාණ්ඩ හා සේවා නිෂ්පාදනවල ප්‍රමිතිය ඉහළ මට්ටමින් සුරක්ෂිත කිරීමටත්, මේ ඩිජිටල්කරණය වන වෙළෙඳ පොළ සාධාරණ වෙළෙඳ පොළක් බවට පත් කිරීමේ වගකීම අද අපට පැවරී තිබෙනවා. මේ නිසාම අපේ රටේ පාරිභෝගික ජනතාවගේ අයිතිවාසිකම් සුරැකීමටත්, ඩිජිටල්කරණය වෙමින් පවතින අපගේ වෙළෙඳ පොළ සාධාරණ වෙළෙඳ පොළක් බවට පත් කිරීමේත් වගකීම පැවරෙන්නේ අපේ රටේ පාරිභෝගික අයිතීන් හා වෙළෙඳ පොළ භාණ්ඩ මිල හා ප්‍රමිතිය නියාමනය කරන ශ්‍රී ලංකා පාරිභෝගික කටයුතු අධිකාරියටයි.

2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු අධිකාරි පනත යටතේ ආරම්භ කරලා තියෙන පාරිභෝගික කටයුතු අධිකාරියේ ප්‍රධානතම අරමුණ වන්නේ පාරිභෝගික ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමයි. මගේ අමාත්‍යාංශය යටතේ පවතින පාරිභෝගික කටයුතු අධිකාරිය ප්‍රධාන වශයෙන් සේවාවන් රැසක්ම ඉටු කරනු ලබනවා. විශේෂයෙන්ම පාරිභෝගික ජනතාවගේ අයිතීන් ගැන, වගකීම් ගැන මෙන්ම පාරිභෝගික නීතිය ගැනත් දැනුවත් කරනු ලබනවා. එසේම පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරි පනතේ ප්‍රධාන අරමුණු 4ක් තියෙනවා. ඒ මඟින් අනතුරුදායක භාණ්ඩ හා සේවාවලින් පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරීමටත්, වෙළෙඳුන්ගේ අසාධාරණ වෙළෙඳ පිළිවෙත්වලින් පාරිභෝගිකයා සුරක්ෂිත කිරීමටත්, පාරිභෝගිකයා සූරා කෑමෙන් ආරක්ෂා කිරීමත් සිදු කෙරෙනවා. මේ ගැන අප දැනටමත් පාරි‍භෝගික ජනතාව වගේම, වෙළෙඳ ව්‍යාපාරික ජනතාවත් දැනුවත් කිරීමට පියවර ගෙන තියෙනවා.

අප පාරිභෝගික කටයුතු අධිකාරිය ගෙවී ගිය 2017 වසර තුළ දී පාරිභෝගිකයා සූරා කන, අසාධාරණ වෙළෙඳ වැටලීම් 25,708ක් කරලා තියෙනවා. එය 2016 වසර සමඟ සංසන්දනය කරනවිට සියයට 17.5%ක පමණ වැඩි වීමක් වෙනවා. ඒ අනුව නඩු පවරා දඩ මුදල් ලෙස රුපියල් ‍කෝටි 9.82ක් රජයට අයකර දී තියෙනවා. අප අපේක්ෂා කරන්නේ පාරිභෝගිකයා සුරකිමින්, භාණ්ඩ හා සේවාවල ප්‍රමිතිය ඉහළ නංවමින්, වෙළෙඳ ව්‍යාපාරිකයන් යහපත් ආචාරධර්ම පිළිවෙතකට යොමු කරන සාධාරණ වෙළෙඳ පොළක් පාරිභෝගික ජනතාව වෙනුවෙන් බිහි කර දීමටයි. ඒ සඳහා අප පාරිභෝගික සුබ සිද්ධිය සුරක්ෂිත කිරීම සඳහා පවතින නෛතික රාමුව පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. එමඟින් නියාමන කටයුතු යහපත් කරමින්, වෙළෙඳ පොළ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමට පියවර ගත යුතු වෙනවා. ඒ වගේම මේ තුළින් අපේක්ෂා කරන සමාජ හා ආර්ථික ප්‍රතිලාභ ළඟා කර ගත හැකි ක්‍රමවේද පිළිබඳව ද අපගේ අවධානය යොමු කළ යුතු වෙනවා. මේ මඟින් ඩිජිටල්කරණය වන වෙළෙඳ පොළ සාධාරණ ඉසව්වකට මෙහෙය වීමට නම් නිෂ්පාදනවල ගුණාත්මක බව, මෙන්ම ප්‍රමිතිය ඉහළ නැංවීම තුළින් පාරිභෝගිකයාට වඩාත් යහපත් පරිසරයක් ගොඩනඟා දීම වැදගත් වෙනවා. අප මේ වනවිටත් ඒ සඳහා පියවර ගෙන තිබෙන බව සතුටින් සඳහන් කරන්න ඕන’ යැයි පැවැසීය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();