පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇමැතිවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී උපයාගත් ආකාරය හෙළිකළ නොහැකි මුදලක් යොදවා බොරැල්ල කින්සිපාරේ පිහිටි නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පවරා ඇති නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ විභාගයට ගැනීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම සම්බන්ධ නියෝගය ලබන අප්‍රේල් මස (05) ප්‍රකාශ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (15) තීරණය කළේය.
පෙත්සම සම්බන්ධ ලිඛිත දේශන මාර්තු (22) දින හෝ ඊට පෙර ගොනු කරන ලෙස පෙත්සම්කාර සහ වගඋත්තරකාර පාර්ශ්වයන්ට නියම කෙරිණි.
එස්. තුරෙයිරාජා සහ කුමුදුනි වික්‍රමසිංහ යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම සම්බන්ධව කරුණු සලකා බැලීම සිදු කෙරිණි. එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කළේය. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් පවරා ඇති මෙම නඩුව කැඳවූ මුල් අවස්ථාවේ සිටම මහාධිකරණ විනිසුරුවරයා පූර්ව විනිශ්චයක් සහිතව කටයුතු කර තිබෙන අතර සිල් රෙදි නඩුවේ විත්තිකරුවන්ට සිර දඬුවම් නියම කළ විනිසුරු වරයාගෙන් සාධාරණ නඩු විභාගයක් අපේක්ෂා කළ නොහැකි බව හෙතෙම කීය. නඩු විභාගය කඩිනම් කිරීමේ අරමුණින් අගවිනිසුරුවරයා දී ඇති නියෝගයකට අනුව දිනපතා නඩුවිභාග කිරීමට මහාධිකරණ විනිසුරුවරුන්ට සිදුවි ඇති අතර එලෙස පෙත්සම්කරුට එරෙහි නඩුව දින පතා විභාගයට ගැනිම ඇරඹීමෙන් පසුව මෙම පෙත්සම ගොනුකර ඇති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා කීය.
0 Comments