ඉකුත් ජනාධිපතිවරණ සමයේදී දිවි නැඟුම දෙපාර්තමේන්තුවට අයත් මුදලින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුළත් කොට ලිතක් මුද්‍රණය කොට බෙදා හැරීමෙන් රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් සිදු කළ බවට නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියෙහි විභාග කිරීමට එරෙහිව හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ගොනුකළ පෙත්සම මැයි මස 09 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය ඊයේ (15) තීරණය කෙළේය.
එම නඩුව විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියෙහි කැඳවීම වළක්වමින් පනවා ඇති අතුරු තහනම් නියෝගය මැයි මස 10 දින තෙක් බලපවත්වන පරිදි දීර්ඝ කරන ලදී.
පෙත්සමට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති විරෝධතා සම්බන්ධ ප්රතිවිරෝධතා අප්‍රේල් මස 06 හෝ ඊට පෙර ගොනු කරන ලෙස පෙත්සම්කරුට නියම කෙරිණි.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සහ අභියාචනාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා ඉදිරියෙහි මෙම පෙත්සම් කැඳවන ලදී.
බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර ඇති ලිත් නඩුව දිනපතා විභාගයට ගැනීමට මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා මීට පෙර තීරණය කෙළේය.
සිල් රෙදි නඩුවේ විත්තිකරුවන්ට සිර දඬුවම් නියම කළ එම මහාධිකරණ විනිසුරුවරයා ඉදිරියෙහි සිය නඩුව කැඳවුවහොත් සාධාරණ නඩුවිභාගයක් අපේක්ෂා කළ නොහැකි බව සඳහන් කරමින් බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙම පෙත්සම ගොනු කරමින් එම නඩුව වෙනත් මහාධිකරණ විනිසුරුවරයෙකු වෙත යොමු කරන ලෙස ඉල්ලා සිටියේය.
මීට පෙර පෙත්සම සම්බන්ධ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එම නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවෙහි කැඳවීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙළේය.
ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියේය. රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සුදර්ශන ද සිල්වා මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.
0 Comments