Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සියලු ජනකොටස්හි ජනාවාස අවශ්‍යතාව සපුරන උදාගම් ව්‍යාපාරයේ 50 වැනි මතක සටහන අම්පාර සංගමන් ග්‍රාමම්

වත්මන් ශ්‍රී ලාංකික ජන සමාජයේ මානව ජනාවාස අවශ්‍යතාවන් සපුරාලීම අරමුණුකොට සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන පෙරදැරිකොට යළි උදාවූ උදාගම් ව්‍යාපාරය තුළින් නිවාසලාභීන්ගේ අයිතියට පත්කෙරෙන 50 වැනි ආදර්ශ ගම්මානය වන අම්පාර දිස්ත්‍රික්කයේ තිරුක්කෝවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සංගමන්කන්ද වසමේ උදාවූ, සංගමන් ග්‍රාමම් ආදර්ශ ගම්මානය නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (23) දින නිවාසලාභීන්ගේ අයිතියට පත් කළේය.

තමන්ගේම නිවහන, සිය අවශ්‍යතාවට අනුකූලව නිර්මාණය කිරීමේ සහභාගීත්ව නිවාස සංකල්පය පෙරදැරිකොට අසූව දශකයේ ක්‍රියාත්මක කෙරුනු උදාගම් ව්‍යාපාරය, එදා ශ්‍රී ලාංකික ජන සමාජයට මෙන්ම ජාත්‍යන්තර සංවර්ධන ක්‍රියාදාමයට ද නව සංවර්ධන සංකල්පයක් විය. රටක සංවර්ධන ක්‍රියාකාරකම් රාජ්‍ය දායකත්වයෙන් අවශ්‍යයෙන්ම ක්‍රියාත්මක විය යුතුය, යන අදහස පෙරදැරිකොට පැවැති යුගයක ප්‍රතිලාභීන්ගේ සංවර්ධන අවශ්‍යතාව නිසි අයුරින් තේරුම්ගෙන එය ඔවුන්ගේ උපරිම දායකත්වයෙන් ක්‍රියාත්මක විය යුතුය යන අදහස පෙරදැරිකොට ඇරැඹි නිවාස හා ජනාවාස සංවර්ධනය මුල්කොටගත් සහභාගීත්ව සංවර්ධන සංකල්පය දශක කිහිපයකට පසුව වර්තමානයේ දී සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන තුළින් නැවත සමාජගතවී තිබේ.

2015 වසරේ දී, නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ පුරෝගාමීත්වයෙන් ඇරැඹි සැමට සෙවණ ජාතික නිවාස වැඩපිළිවෙළ දිවයිනේ සියලු ජනකොටස් ආවරණය වන ආකාරයෙන් පුළුල් ජනාවාස සංවර්ධන වැඩපිළිවෙළකට යොමු වූ අතර, ඒ තුළින් ක්‍රියාත්මක කෙරුණු ප්‍රමුඛතම කාර්යය වූයේ නව නිවාස අවශ්‍යතාව පවත්නා නිවාසලාභීන්ට ප්‍රමුඛතාව ලබාදෙමින් නව ජනාවාස සංවර්ධනය කිරීමයි. එය යළි උදාවූ උදාගම් ව්‍යාපාරය තුළින් ආදර්ශ ගම්මානය තුළින් ක්‍රියාත්මක කෙරුණු අතර, 2015 වසරේ සිට අද දිනය වනවිට මේ වැඩපිළිවෙළ යටතේ දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන අයුරින් ආදර්ශ ගම්මාන 600 කට අධික ප්‍රමාණයක ඉදිකිරීම් කටයුතු දිවයින පුරා සිදුවෙමින් පවතී.

තෙවසරකටත් අඩු කාලයක් තුළදී මේ සා විශාල නිවාස ව්‍යාපෘති ප්‍රමාණයක් නිවාසලාභීන්ගේම සහභාගීත්වය ප්‍රමුඛකොට මූලික රාජ්‍ය සහාය පමණක් දායක කරගනිමින් ක්‍රියාත්මකවීම ශ්‍රී ලාංකික වත්මන් සංවර්ධන ක්‍රියාදාමයේ අතිශය වැදගත් සිදුවීමකි. මෙහි වඩාත් වැදගත් කාර්යය වනුයේ දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ ජනකොටස් සතු විවිධාකාර වූ නිවාස අවශ්‍යතාවන් මේ පොදු සංවර්ධන ක්‍රියාදාමයක් තුළින් සපුරාලීමයි.

සැමට සෙවණ ජාතික නිවාස වැඩපිළිවෙළ තුළින් උදා වූ 50වැනි ආදර්ශ ගම්මානය නිවාසලාභීන්ගේ අයිතියට පත්කිරීමේ ඓතිහාසික ක්‍රියාවලිය දෙස ආපසු හැරි බැලීමේ දී පෙනී යන කරුණ වනුයේ මෙතෙක් නිවාසලාභීන්ගේ අයිතියට පත්කළ මේ ආදර්ශ ගම්මාන සියල්ල උතුරුකරයේ සිට දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන අයුරින් ව්‍යාප්තගතවීමයි.

මේ වැඩපිළිවෙළේ මුල්ම පියවර මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය ප්‍රදේශයේ ඉසුරුපුර ආදර්ශ ගම්මානය ලෙසින් උදා වූ අතර, අනතුරුව දිවයිනේ සියලු ප්‍රදේශ හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන අයුරින් මේ වැඩපිළිවෙළ ව්‍යාප්තගතව ක්‍රියාත්මකවී තිබේ.

50වැනි ආදර්ශ ගම්මානය ලෙසින් උදාවන අම්පාර දිස්ත්‍රික්කයේ තිරුක්කෝවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සංගමන්කන්ද ගම් ප්‍රදේශයේ ක්‍රි.පූ 4වැනි ඉතිහාසයකට හිමිකම් කියන ඉපැරැණි ගම්පියසකි. ක්‍රි. පූ 4 වැනි සියවසේ දී සංගමන්කන්ද ප්‍රදේශය නාගරික ප්‍රදේශයක් ලෙසින් හඳුන්වාදී ඇති අතර, එවකට නාග ග්‍රෝතික රජෙකු විසින් මෙහි බල අධිකාරිය පවත්වාගෙන ගිය බවට ඉපැරැණි වෘත්තාන්තයන්හි සඳහන් වේ. පසු කලක පාණ්ඩ්‍ය, නාග, යක්ෂ වැනි ග්‍රෝතික පාලනයකට යටත්ව පැවැති මේ ප්‍රදේශය ඉන් අනතුරුව ශ්‍රී ලාංකික සිංහල හා ද්‍රවිඩ ජනතාවගේ ජන ජීවිතය සඳහා දායකත්වය ලබාදුන් ඉපැරැණි ගම් පියසක් ලෙසින් පැවැතිනි.

මෙවන් ඓතිහාසික වෘත්තාන්තයකට හිමිකම් කිවූවද, පසුකලක නොදියුණු ගම් ප්‍රදේශයක් බවට පත්ව තිබූ සංගමන්කන්ද ප්‍රදේශය, සැබෑ ලෙසින්ම සංවර්ධනය කරා යොමු වූයේ උදාගම් ව්‍යාපාරය හඳුන්වාදීමත් සමඟිනි. අසූව දශකයේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කෙරුණු උදාගම් ව්‍යාපාරය පෙරදැරිව ක්‍රියාවට නැංවුණු මැතිවරණ නිවාස වැඩසටහන යටතේ මැතිවරණ නිවාස ව්‍යාපෘති 30 සහ මැතිවරණ නිවාස ව්‍යාපෘති 20 වැඩසටහන් යටතේ නව නිවාස ව්‍යාපෘති 02 ක් 1981 නොවැම්බර් මස 08 දින එවකට අග්‍රාමාත්‍ය ධුරය දැරූ දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් ජනතා අයිතියට පත්කිරීමත් සමඟින් සංමන්කන් ද මුල්කොටගත් සංවර්ධන කාර්යයන් පන ගැන්විනි. එය පසුකලක කිසියම් අඩාලවීමක් සිදුවුවද, වත්මන් උදාගම් ව්‍යාපාරය තුළින් සංගමන් ග්‍රාමම් නිවාස ව්‍යාපෘතිය උදාවීම නැවත නිවාස සංවර්ධනය මුල්කොටගත් කඩිනම් සංවර්ධන වැඩපිළිවෙළ මේ ප්‍රදේශය නැවත යොමුවීමට හේතුවිය.

වසරක් වැනි කෙටි කාලයක් තුළදී සංගමන් ග්‍රාමම් නිවාස ව්‍යාපෘතියේ සියලු නිවාස නිවාසලාභීන්ගේ පූර්ණ සහභාගීත්වයෙන් ඉදිවී තිබේ. සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මෙහිදී සිදුකරනු ලැබුවේ මේ ගම්මානයට ඇවැසි නිවාසකරණය සඳහා වූ මූල්‍ය දායකත්වයක් හා තාක්ෂණ සහාය ලබාදීම පමණි. නිවාසලාභීන් විසින් එහිදී තම පවුලේ අවශ්‍යතාවන් සපුරාලන අයුරින් සිය නිවාස තම ශ්‍රමය සහ ඉතිරි කිරීම් දායක කරගනිමින් ඉදිකර තිබේ. අංගසම්පූර්ණ නිවාසයකට අමතරව ගමකට අවශ්‍ය මාර්ග, ජලය සහ විදුලිය වැනි යටිතල පහසුකම් සියල්ල ගමට එක්වීම තුළින් සංගමන් ග්‍රාමම් ආදර්ශ ගම්මානය සැබෑ ලෙසින්ම අංග සම්පුර්ණ ආදර්ශ ගම්මානයක් ලෙසින් ඉදිවී ඇත.

නිවාස හා ඉදිකිරිම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා මේ නව ආදර්ශ ගම්මාන වැඩසටහන ආරම්භ කිරීමෙන් අනතුරුව අදාළ ගම්මානයන්හි ජීවත්වන ජනතාවට හුදෙක් නිවාස සම්පාදනය කිරීමේ සමාජීය අවශ්‍යතාවක් ඉෂ්ඨ කිරීමට වඩා පෙර ගමනක් යමින් අදාළ නිවාසයන්හි ජීවත්වන ජනතාවගේ ජන ජීවිතය තිරසර කරන්නට අවශ්‍ය කරන්නා වූ පාරිසරික හා ආර්ථික ක්‍රියාකාරකම් මේ සංවර්ධන ක්‍රියාවලියේ විශේෂිත ගුණාංගයන් ලෙසින් එක්කරලීම වැදගත්වේ. ඒ හේතුවෙන් එදා ලෝක ප්‍රවාණතාවක්ව පැවැති ජනාවාස සංවර්ධනය හුදෙක් සමාජ අවශ්‍යතාවක් යන්න වර්තමානයේ ගෝලීයකරණයේ පවත්නා නිවාසකරණය ජනතාවගේ ආර්ථිකය හා බැඳී පවත්නා කාර්යයභාරයකි යන්න ප්‍රායෝගිකව ඔප්පුකරලීමත් සාක්ෂියකි.

මේ කරුණ සාක්ෂාත් කරමින් ඉදිවන සෑම නිවසකම විධිමත්ව සකස් කළ ගෙවත්තක් අනිවාර්යයෙන් තිබීමත්, නිවසේ ජීවත්වන ජනතාවගේ ජන ජීවිතය නඟා සිටුවීම හා ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා විවිධ වූ ක්‍රියාකාරකම් ක්‍රියාවට නැංවීමත්, ඔවුන්ගේ සෞඛ්‍ය හා පෝෂණ තත්ත්වය වර්ධනය කිරීම සඳහා කටයුතු කිරීමත් සිදුවේ. මෙයට අමතරව ජනාධිපතිවරයාගේ අදහසක් පෙරදැරිකොට ක්‍රියාත්මක ග්‍රාමශක්ති සංකල්පය මේ ආදර්ශ ගම්මාන වැඩසටහනට ඇමැති සජිත් ප්‍රේමදාස මහතා විසින් හඳුන්වාදී ඇති අතර, ඒ තුළින් ගමේ ශක්තිය හා නායකත්වය මැදිහත්වීම හා කැපවීම මේ ආදර්ශ ගම්මානයන්හි සංවර්ධන කටයුතු සඳහා නොමදව ලබා ගැනීමට හැකිවී තිබේ.

මේ සියලු කරුණුවලින් පෝෂණය වූ වත්මන් උදාගම් ව්‍යාපාරය තුළින් බිහිවන නව ආදර්ශ ගම්මාන නිවාස මුල්කොටගත් අංගසම්පූර්ණ ජනාවාස නිර්මාණය කිරීමේ සැබෑ ග්‍රාම සංවර්ධන වැඩපිළිවෙළක් බවට පත්ව තිබේ.

එකී වැඩසටහනේ ප්‍රථම නිවාස ව්‍යාපෘතිය උතුරුකරයේ වැලිඔය ප්‍රාදේශිකයේ ඉසුරුපුර තුළින් උදාවූ අතර, එහි 50 වැනි ආදර්ශ ගම්මානය නැඟෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ ද්‍රවිඩ ජනතාවගේ සහභාගීත්වයෙන් සංගමන් ග්‍රාමම් නිර්මාණයවීම සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන මෙරට ජීවත්වන සියලු ජනකොටස්වල නිවාස හා ජනාවාස සංවර්ධන අවශ්‍යතාව කිසිදු භේදයකින් තොරව ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩසටහනක් බවට පෙන්නුම් කළ හැකි හොඳම සාක්ෂියයි.

 

ලක්විජය සාගර පලන්සූරිය

සභාපති-ජාතික නිවාස සංවර්ධන අධිකාරිය 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();