* ආර්ථිකය සාධනීය තත්ත්වයකට ඇවිත්
* ඇඟලුම්, මත්ස්‍ය අපනයන සම්බාධක දැන් නැහැ
* මහින්ද ඇති කළ සයිටම් ප්‍රශ්නය විසඳීමට කටයුතු කළා
* දූෂණයට එෙරහි නිලධාරීන් ශක්තිමත් කළ යුතුයි
* මානව හිමිකම් පිළිබඳ ආදර්ශ රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත් කළා
* ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ප්‍රතිඅපනයනයේදීත් වංචා සිදුවෙලා
වත්මන් ආණ්ඩුව යටතේ ලබාදී ඇති ප්‍රජාතන්ත්‍රවාදය නිදහසේ භුක්ති විඳිමින් හොඳ සිරිත් ප්‍රගුණ කරමින් ගුණාත්මක බවින් මේ මැතිවරණ කාල පරිච්ඡේදයකට එක්වනවා වෙනුවට ගම්වල සුන්දර දූ දරුවන් තර්ජනය කර බියගන්වා පාරවල් ගානේ රස්තියාදුවේ යවමින් සිය දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට දරන උත්සාහය කනගාටුදායක බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ඊයේ (26 දා) ජනාධිපති මැඳුරේ පැවැති මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ පුවත්පත් කතුවරුන් හමුවේය. මේ අවස්ථාවට ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහත්වරු ද එක්වූහ.
තවදුරටත් මාධ්‍ය දැනුවත් කරමින් ජනාධිපතිවරයා මෙසේ පැවසීය.
සරසවි සිසුන් ගෙන්වා වතුර ගසා විසිරුවා හරින තැනකට පත් කිරීමෙන් මේ පිරිස් බලාපොරොත්තු වෙන්නේ තම දේශපාලන අරමුණු ඉටු කරගන්නයි. ගම්වල අහිංසක ලෙස ජීවත්වන සුන්දර දරුවන් පමණක් නොවෙයි ඔවුන්ගේ දෙමවුපියන්වත් තර්ජනය කර බියපත් කර කැඳවාගෙන එනවා. මා ගම්වලට ගියාම මොවුන් සමඟ පෞද්ගලිකව කතා කරනවා. ඔවුන් අඬ අඬා කියන්නේ එසේ ගියේ නැත්නම් ඉවසන්න බැරි තරම් වදහිංසා පමුණුවන බවයි.
පේරාදෙණියේ නිවසකට නවක සිසු දරුවන් ගෙන්වා ඔවුන් නිරුවත් කර අමානුෂික වදහිංසා කලා ඔබට මතක ඇති. මේ සරසවි දරුවන් අද මානසිකව ව්‍යාකූල තත්ත්වයට පත්වෙලා. පාරවල් ගානේ යන සයිටම් ප්‍රශ්නයේ ඉතිහාසය ඔබ සියලුදෙනා දන්නවා.
සයිටම් පටන්ගත්තේ, ශිෂ්‍යත්ව දුන්නේ කවුද කියා අමුතුවෙන් කියන්න ඕනෑ නෑ. මහින්දට ‘මහරජාණෝ’ ගීතය ගායනය කළ දරුවාත් සයිටම් ආයතනයේ සිසුවියක්. අපි රජයක් ලෙස ඉවසීමෙන් සියලුම දරුවන් අපේය යන හැඟීමෙන් කැපවීමෙන් ඒ ගැටලුවට පිළිතුරු දෙනවා. විසඳුම් දෙනවා. සමහර ගැටලුවලට විසඳුම් දීමට නොහැකිව ඇත්තේ උසාවි නඩුවක් තිබෙන නිසාත් එහි තීන්දුව එනතුරු සිටිය යුතු නිසයි. හර්ෂ ද සිල්වා කමිටුව හරහා විසඳුම් ලබාදෙන්න ඇප කැප වුණා. හර්ෂ ඇමැතිවරයා සාධාරණය ඉටු කරන්න විශාල වෙහෙසක් ගත්තා.
මෙය ආයුධයක් කරගෙන මැතිවරණය පසුබිම් කරගෙන ක්‍රියාත්මක කරන ව්‍යාපාර ජනතාව අද පිළිගන්නේ නෑ. බෞද්ධයකු ලෙස අද මම කනගාටුවට පත්වෙනවා, අපේ ඇතැම් භික්ෂූන්වහන්සේලාගේ හැසිරීම ගැන. උන්වහන්සේලාගේ විනය අද ඉතාමත් ප්‍රශ්නකාරියි. බුදුන්වහන්සේ දේශනා කළේ බුදු සසුනේ පැවැත්ම භික්ෂු විනය මත පවතින බවත්, එය නැතිවූ කල සසුනේද පැවැත්ම නොමැති බව මීට වසර දහස් ගණනකට පෙර දේශනා කළා.
මිහිඳු හිමි ආගමනයෙන් ශ්‍රී ලංකාවේ ආරම්භ වුණ බුදු සසුන, සිද්ධස්ථාන, නටබුන් අද දක්වා ආරක්ෂා කළේ අපේ මහා සංඝරත්නයයි. අපේ රටේ බෞද්ධ ප්‍රබෝධය ලෝකයාට පෙන්වා දුන්නේ මහා සංඝරත්නයයි. ලොවම අපේ රට නිර්මල බුදු දහම සුරකින රටක් ලෙස පිළිගන්නවා.
අද අපේ ඇතැම් භික්ෂූන්වහන්සේලාගේ මේ හැසිරීම ජාත්‍යන්තරයේ අපට ඇති ප්‍රතිරූපයට විශාල කැළලක්. මේ කරුණු හොඳ අවධානයට ලක් කළ යුතු වෙනවා යැයි ජනපතිවරයා පැහැදිලි කළේය.
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයන් ප්‍රතිඅපනයනයේදී විශාල මංකොල්ලයක් සිදුවන බවට කරුණු හෙළිවී ඇති බව ද පිටරටින් ගෙන්වන බාල නිෂ්පාදිතයන් සමඟ ශ්‍රී ලංකාවේ උසස් ප්‍රමිතියේ නිෂ්පාදනයන් කලවම් කර ශ්‍රී ලංකා ලේබලය යටතේ සකසා යළි පිටරට යවන බව ද ඉන් ගුණාත්මක බව අඩුවීමෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වෙළෙඳපොළේ මෙතෙක් පැවැති තැන කීර්තිනාමය අහිමිවීමේ ප්‍රවණතාව මංකොල්ලයක් බව ද මීට හොඳම නිදසුන ශ්‍රී ලංකා තේ ලෙස පෙන්වා දිය හැකි බව ද පැවසීය. තේ පමණක් නොව ගම්මිරිස්, කරුංකා, අන්නාසිවලට ද එම ඉරණම අත්වී ඇති බවත් ඒවාද පිටරටින් ගෙන්වන බාල භාණ්ඩ සමඟ මුසුකර ශ්‍රී ලංකා නිෂ්පාදන ලෙස ප්‍රතිඅපනයනය කරන බව ද පැවසීය.
ගම්මිරිස් ගොවීන්ගෙන් මිල අඩුවීම පිළිබඳ විශාල දුක්ගැනවිල්ලක් ඇති වන්නේ ප්‍රමිතිය පහත වැටීම නිසා මිලත් ඉල්ලුමත් පහළ යෑමෙන් බවත් මේ තත්ත්වය කතාබහට ලක්වුවත් විධිමත් පියවර ගැනීම ප්‍රමාද වන අතර මේ තත්ත්වය බලපාන්නේ මහා පරිමාණ නිෂ්පාදකයන්ට බවත් ආහාර ද්‍රව්‍ය හිඟවීම සාකච්ඡා වනවිට ඒ අඩුව පිරවෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.
පාරිභෝගික අධිකාරියට විශාල කාර්යභාරයක් පැවරෙනවා. මා සියවරකටත් වඩා අධිකාරිය සතුව යාන්ත්‍රණයක අවශ්‍යතාව පෙන්වා දුන්නා. විදේශයෙන් ගෙන්වන කිසියම් භාණ්ඩයක් රුපියල් පන්සීයක් වුවත් මෙහි අලෙවියේදී එය රු. 1500ක් වෙනවා. එය රු. 750ක් නම් කිසියම් සාධාරණයක් තිබෙනවා. එය දෙගුණ තෙගුණ වෙනවා නම් ඉන් බැටකන්නේ පාරිභෝගිකයා. එය අනෙකුත් ආකාරයකින් බලපාන්නේ ජීවන වියදමටයි. ඒ අනුව මේ මිල තත්ත්වයන් සොයා බලන්න අධිකාරියට යාන්ත්‍රණයක අවශ්‍යතාව ඉහළයි.
යුද්ධයෙන් පසු මුළු රටක් ලෙස අපි පළාත්පාලන ඡන්දයකට තව දින 11කින් එළැඹෙනවා. ආයතන 340ක් 339කටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානය ලෙස තරග කරනවා. අපට සහාය දක්වන සහෝදර පක්ෂ එනම් කුකුළා ලකුණින් තොණ්ඩමන්, අතාවුල්ලා සමඟ එකඟතාවයකින් කටයුතු කරමින් මැතිවරණයට ඉදිරිපත් වී ප්‍රතිඵල අපි පෙන්වන්නේ බුලත් කොළයෙන්. අපේ කණ්ඩායම ඒ පිළිබඳ හොඳ අවබෝධයෙන් ක්‍රියා කරනවා.
මගේ ප්‍රතිපත්ති නිසා අද මම විශාල පිරිසක් අමනාප කරගෙන. පොදු අපේක්ෂක ලෙස මාව තෝරාපත්කර ගන්නේ ඒ ඒ අමාත්‍යාංශවලදී මා ක්‍රියාකළ හැටි මගේ පැවැත්ම නිසයි. දැන් දුම්කොළ සමාගම, ඖෂධ සමාගම වැනි බහුජාතික සමාගම් අද මා සමඟ අමනාප වෙලා. මහින්ද සමඟත් මගේ පෞද්ගලික තරහවක් නෑ. ප්‍රතිපත්තිවලදී ඇති වූ මත ගැටුම්, 18 වැනි සංශෝධනයෙන් පසු ඔහු වෙනස් පුද්ගලයකු වුණා.
එහෙත් යහපත් රාජ්‍ය පාලනයකට, දූෂණය නාස්තිය වැළැක්වීම මේ රජය පිහිටුවීමේ සටන් පාඨයයි. එසේ කියා හැදූ ආණ්ඩුවේ මාස දෙකකින් භාණ්ඩාගාරය කොල්ලකෑමක් වුණා. ඒවා දැක දැක නිහඬ වීම දේශපාලකයකු ලෙස පහත වැටීමක් නේද?
මා හෙට දවස ගැන නොසිතා මේ පසුබිමට විරුද්ධ විය යුතුයි. එහිදී මා කිහිප දෙනෙකුගේ දෝෂදර්ශනයට ලක් වෙනවා. මේ කොමිසම් වාර්තාව අසත්‍ය යැයි කියන්න හදනවා. තවත් මා කළ ප්‍රකාශය වැරැදි කියනවා. පිටු අඩුයි කියනවා. මම දින තුනක් මගේ ලේකම්, නීතිපති, අල්ලස් හා දූෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්, මහ බැංකු අධිපති, නීතිඥවරුන් හමුවී සාකච්ඡා කළා. බරපතළ අභියෝග එල්ල වෙනවා. පහසු නොවන කාර්යයක් බව දන්නවා. එහෙත් අයහපත් තත්ත්වයක් වළක්වන්න මා කැප වෙනවා.
පසුගිය රජය යටතේ දූෂණ වංචා ගැනත් සොයනවා. නීතිමය පියවර ගන්නවා. ඒ වගේම තාජුඩීන්, ලසන්ත, එක්නැලිගොඩ සිද්ධීන්. ඒවාවල පරීක්ෂණ අවසන් කළ යුතු වෙනවා. ගෝඨාභය ගැන මට චෝදනා එල්ල කළා. ඒත් මා කීවේ අහකදාන්න වෙන නඩු ගේන්න එපා, ඒ සියලු පරීක්ෂණ හොඳට අවසන් කර ක්‍රියාමාර්ග ගන්නා ලෙසටයි.
ඖෂධ පනතේ සියලු කටයුතු ඉටුකර හිටපු ජනපතිට මා ඉදිරිපත් කළා. සතියක් යන විට පනතත් නෑ. පරිගණකත් නෑ, සටහනත් නෑ. ඉතින් අර සඳහන් කළ නඩු ගැනත් සැක සහිතයි. බැඳුම්කර පරීක්ෂණයේදීත් දුරකථන අංක සඳහන් කිරීම ගැන නිලධාරීන්ට ගැටලු ආවා. ඉදිරි නඩු සොයන්න යන නිසා දැන් පක්ෂ පාට නැති චෞර ප්‍රභූ කණ්ඩායමක් බිහිවෙලා. එහෙත් මේ නඩු දිගටම ගෙන යන්න, ඒ නිලධාරීන් ශක්තිමත් කරන්න මාධ්‍යයට ලොකු වගකීමක් තිබෙනවා. අපේ දූ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කැප වෙන්න මාධ්‍යයට හැකියාව තිබෙනවා.
වසර දහයක පසුගිය කාලයේ ආර්ථික කඩාවැටීමක් තිබුණත් මේ වසර තුළ අපි සාධනීය තත්ත්වයක සිටිනවා. අපි රජය භාරගන්නා විට අපට ඇඟලුම්, මත්ස්‍ය ක්ෂේත්‍ර හරහා සම්බාධක පනවා තිබුණා. අපි ඉන් මිදී ජය අත්කර ගත්තා. අපි අමාරුවෙන් ඒ විශාල කඩාවැටීම නවතා අද සතුටුවිය හැකි තත්ත්වය උදාකරගෙන සිටිනවා.
මා ජනපති පදවියට පත්වුණේ බලාපොරොත්තු නොවූ ලෙසකටයි. අන් ජනපතිවරුන් අගමැති, විපක්ෂනායකවරුව සිට මේ තැනට ආවේ. මා ඇමැතිකමේ සිට දින 42 කින් ජනාධිපති වුණේ. එසේ මට භාරදුන් වගකීම මා ඉටුකරනවා. නොකිළිටි රාජ්‍ය පරිපාලනයක අභියෝගය මා සතුයි. මගේ අනාගතය කෙළවර වන්නේ කෙසේදැයි මා දන්නේ නෑ. ඒත් මා පණ තිබෙනතුරු දේශපාලකයෙක්. දේශපාලන ජීවියෙක්. වසර 50 ක අත්දැකීම් ඇති දේශපාලන ක්‍රියාකාරිකයෙක්.
මානව හිමිකම් කඩකිරීම් ගැන පැමිණිලි තිබේ නම් මා එය පිළිගන්නේ නෑ. අපේම කණ්ඩායම් තමයි ගිහින් පැමිණිලි කරන්නේ. 2015, 2016 එ. ජා. සංවිධානයේදී රැස්වීම්වලදී මානව හිමිකම් පිළිබඳ ආදර්ශ දිය හැකි රටවල් 2 ලෙස ශ්‍රී ලංකාව හා මියන්මාරය නම් කළා. 2017 දී මා එම රැස්වීමට ගිය විට මට දැනගන්න ලැබුණේ දැන් ශ්‍රී ලංකාව පමණයි ඉතිරි කියා. අපි සංහිඳියාව පිළිබඳ විශාල වැඩකොටසක් ඉටුකළා. ඉටු කරනවා. එය දවසින් දෙකෙන් කරන්න බෑ. ඉවසීමෙන් කළ යුතුයි. ජාතීන් අතර අසමගිය ඇතිකර රටවල් වශයෙන් අපෙන් ඈත්කරගන්න බෑ. එයට කාලය අවශ්‍ය බව සැවොම පිළි අරන් යනුවෙන් ජනපතිවරයා කරුණු හෙළි කළේය.
බැඳුම්කර කොමිසම් වාර්තාව, ඒ පිළිබඳ නැඟෙන චෝදනා පිළිබඳ පක්ෂ නායකයන් කැඳවා දැනුවත් කිරීමක් ලබන සඳුදා සිදුකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දන්වා සිටියේය.
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය
0 Comments