Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තාමත් තානාපති වරප්‍රසාද ඇති බවට ජාලිය වික්‍රමසූරියගෙන් රිට් පෙත්සමක්

Author(s): 
නෙල්කා මැදගෙදර

තමාට තවමත් තානාපති වරප්‍රසාද ඇති බවට ප්‍රකාශයක් කරන ලෙස ඉල්ලා ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කෙළේය.

එම ප්‍රකාශය කරන ලෙස විදේශ කටයුතු ඇමැති තිලක් මාරපන මහතාට සහ එම අමාත්‍යාංශ ලේකම් ප්‍රසාද් කාරියවසම් මහතාට බලකරන මැන්ඩාමුස් රිට් ආඥාවක් නිකුත් කරන ලෙස මෙම පෙත්සම මඟින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ. අක්ෂි ආබාධයකට ප්‍රතිකාර ගැනීම සඳහා අධිකරණයේ අවසරය මත විදේශගත වූ තමන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බවද ඔහු සඳහන් කර ඇත.

අමෙරිකාවේ තානාපතිවරයා ලෙස කටයුතු කරද්දි 2008 වසරේදී එවකට පැවැති රජයේ සහ කැබිනට් මණ්ඩලයේ උපදෙස් මත තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් ලබාගත් බවද එහිදී තමන් කිසිදු නීති විරෝධී කටයුත්තක් කර නැතැයිද පෙත්සම්කරු පවසයි.

කෙසේ වූවද මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තමා මාස 2ක් පමණ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බවත් ඇති වූ අක්ෂි ආබාධයකට ප්‍රතිකාර ගැනීම සඳහා අධිකරණයේ අවසරය මත මාස 2 කට විදේශගත වූ බවත් පෙත්සම්කරු සඳහන් කර ඇත.

චිලී රටේ සංචියාගෝ අගනුවර පිහිටි රෝහලකින් ප්‍රතිකාර ගන්නා ලෙස එහිදි තමාට ලැබුණු උපදෙස් මත චිලී රටට යාමට උත්සාහ කළද එරට බලධාරින් ඊට ඉඩනොදීම නිසා එය වැළකුණු බව පෙත්සම්කරු කියයි.

තානාපති වරප්‍රසාද සහිත පුද්ගලයකුට එවැනි බාධාකිරීම් කළ නොහැකි බැවින් ඒ පිළිබඳව සිය නීතිඥවරයා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් කළ විමසීමකදී පෙත්සම්කරුට තානාපති වරප්‍රසාද ඇති බවට ප්‍රකාශ කර ඇතැයි සඳහන් වේ.

ඒ අනුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඒ බව සැල කළ අවස්ථාවේදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පෙත්සම්කරුට තානාපති වරප්‍රසාද නැති බවට විදේශ කටයුතු ඇමැතිවරයා ලිපියක් මඟින් දැනුම් දී ඇති බවත් සඳහන් කළ බව පෙත්සම්කරු කියයි.

කෙසේ වූවද තමා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකර‍ණයෙන් වරෙන්තුවක් නිකුත් කර ඇති බවද පෙත්සම්කරු සඳහන් කර ඇත.

තමාට තානාපති වරප්‍රසාද අහිමිකිරීම නිසා විශාල අගතියක් වන බැවින් එම වරප්‍රසාද ඇති බවට ප්‍රකාශයක් කරන ලෙස හෙතෙම අධිකරණයෙන් ඉල්ලා සිටී. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();