සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සේවය කරන ලියාපදිංචි / සහකාර වෛද්‍ය, හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් පුහුණු සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වැටුප් ඉක්මවන නව වැටුප් පරිමාණයක් හා උසස් වීම් ක්‍රමයක් දුම්රිය සේවාවේ තනතුරුවලට ලබාදෙන්නේ නම් සෞඛ්‍ය සේවාවට ද එය ලැබිය යුතු බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පවසයි.
දුම්රිය සේවාව තුළ හඳුනාගත් වැටුප් විෂමතා නිවැරදි කිරීම පිළිබඳ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ විරෝධතාවක් නොමැති බවත් සෞඛ්‍ය වෘත්තිකයන්ට ද එමඟින් ඇති වන ගැටලු සඳහා විසඳුම් හිමි විය යුතු බවත් ඒ මහතා පැවැසුවේය.
රජයේ හෙද නිලධාරින්ගේ සංගම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ (12) ප්‍රකාශ කෙළේය.
දුම්රිය ක්ෂේත්රය තුළ උද්ගතව ඇති වැටුප් ගැටලුව සඳහා විසඳුම් ලබාදීමට ක්‍රියා කිරීමේදි සෞඛ්‍ය සේවාවට බලපෑමක් වන නිසා එය ප්‍රමාද වන බවට පවතින චෝදනා තම බලමණ්ඩලය ප්‍රතික්ෂේප කරන්නේ යැයි ද ඒ මහතා පැවැසුවේය.
දුම්රිය සේවකයින්ගේ වෘත්තීය සංගමය ද තම සහෝදර සංගමයක් බවත් වෘත්තීමය වශයෙන් ඔවුන්ට ලබාදෙන අයිතිවාසිකම් සම්බන්ධයෙන් කිසිදු විරෝධතාවක් තම බලමණ්ඩලයේ සාමාජිකයින් නොදක්වන බවත් ඔහු අවධාරණය කෙළේය.
සෞඛ්‍ය සේවාවේ වෘත්තීයවේදින්ගේ වැටුප වසර 2015 ට පෙර දුම්රිය සේවකයින්ගේ වැටුපට වඩා වැඩි වූ බවත් නමුත් 2015 වසරේදි දුම්රිය සේවාවන්ට සිදු කළ වැටුප් වැඩි කිරීමත් සමඟ සෞඛ්‍ය සේවා වෘත්තීයවේදීන්ගේ වැටුප් අතර විෂමතාවක් ඇති වූ බවත් ඔහු පැවැසුවේය.
සෞඛ්‍ය වෘත්තීයවේදීන් අතර පවතින වැටුප් විෂමතාවට විසඳුමක් ලබාදීමට සෞඛ්‍ය ඇමැතිවරයා මේ වනවිට කැබිනට් සංදේශයක් ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයි ද, සෞඛ්‍ය සේවාවේ මෙම වැටුප් විෂමතාව ඉවත් කිරීමට රජය කටයුතු නොකළොත් සෞඛ්‍ය වෘත්තීයවේදීන් සිය අයිතිවාසිකම් දිනා ගැනීමට සිදු කරන වැඩ වර්ජන සති ගණනාවක් පැවැතිය හැකි යැයි ද ඔහු කීය. වසර දෙකකුත් මාස හතරක් පමණ කාලයක් මෙම වැටුප් විෂමතාව ඉවත් කරන තෙක් බලා සිටි බවත් නමුත් එයට විසඳුමක් ලබාදීමට පාලකයින්ට මේ වන තෙක් නොහැකි වූ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
මේ අවස්ථාවට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සම කැඳවුම්කරුවන් වන ලියාපදිංචි වෛද්‍ය සී.ඩබ්ලිව්.එස්. කුමාරගේ, උපුල් රෝහණ මහත්වරුන් ඇතුළු නිලධාරින් රැසක් සහභාගි වූහ.
සන්ධ්‍යා කරුණාරත්න, චන්දිමා කරුණාරත්න
0 Comments