ඉතිහාසයේ කිසිදිනක සිදුනොවූ ලෙස ඉතා කෙටි කාලයක් තුළ දළ ඇතුන් මරා දැමීම පිටුපස රහසිගත කුමන්ත්‍රණයක් ඇති බව තිරසර සංවර්ධන හා වනජීවී ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය.
දළ පූට්ටුවා ඇතුළු මියගිය ඇතුන් සිව් දෙනාගේ පර්යේෂණයන්හි වත්මන් තත්ත්වය හා අලි ඇතුන් සංරක්ෂණය සඳහා අමාත්‍යාංශය ගෙන ඇති ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව පෙරේදා (11) තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.
සති දෙකක් තුළ දළ ඇතුන් සිව් දෙනකු මරා දමා ඇති බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා මෙවැනි පාපතරයන්ට දිය හැකි උපරිම දඬුවම් ලබා දෙන බවත් ඔවුන්ට අධිකරණයේ දී ඇප පවා ලබා ගත නොහැකි වන පරිදි වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව දඬුවම් සකස් කරන බවත් කීය.
දළ පූට්ටුවාගේ මරණ සම්බන්ධයෙන් ඊට පිටුපස පිරිසක් සිටින බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ ය.
වන සතුන්ට හානි කරන පුද්ගලයන් පිළිබඳව යම් තොරතුරක් ඇතොත් ඒ පිළිබඳව 1929 හදිසි දුරකතන අංකයට හෝ වනජීවී අධ්යක්ෂ ජනරාල් සූරියබණ්ඩාර මහතාගේ 0760475967 පෞද්ගලික දුරකතන අංකයට හෝ දැනුම් දෙන ලෙස මෙම මාධ්‍ය හමුවේදී ඒ මහතා පැවසීය.
එසේ යම් තොරතුරක් ලබාදෙන පුද්ගලයන්ට ප්‍රසාද දීමනා පිරිනමන බවත් තොරතුරු ලබාදෙන අයගේ රහස්‍යභාවය රකින බවත් ලබාදෙන තොරතුරු පිළිබඳව පසුවිපරම් කරන බවත් හෙතෙම කීය.
විශේෂිත සතුන් මරා දැමීම වෙනුවෙන් සදාකාලික දඬුවම් ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යාංශයේ ලේකම් ඩග්ලස් නානායක්කාර මහතා මෙහි දී කියා සිටියේ ය.
0 Comments