ශතකයක්: අර්ධ ශතක 3ක්: දිමුත්ට සම්මාන දෙකක්
ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර එස්. එස්. සී පිටියේ පැවැති දෙවැනි ටෙස්ට් තරගය නිමාවීමට තවත් දින එකහමාරක් තිබියදී ශ්‍රී ලංකාව ලකුණු 199ක ජයක් හිමිකර ගනියි. දඟ පන්දු ඉදිරියේ යළිත් අසරණවූ දකුණු අප්‍රිකාව තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස පරාජයට පත් විය. එය වසර 12කට පසුව ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට එරෙහිව ලැබූ ටෙස්ට් තරගාවලි ජයක් වීම විශේෂත්වයකි. වසර 2004දී මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පිල ශ්‍රී ලංකාවේදී තරග 2-0ක් ලෙස ටෙස්ට් තරගාවලියක් මෙයට පෙර ජය ගෙන තිබුණි.
ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ 2 වැනි ස්ථානයේ සිටි දකුණු අප්‍රිකාව 6 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව වෙතින් ලද තරගාවලි පරාජය හේතුවෙන් ශ්‍රී ලංකාවට ලෝක මට්ටමේ ඉහළට යෑමේ අවස්ථාව උදාවී තිබේ.
මෙම තරගාවලියේදී පිට පිට ශතකයක් හා අර්ධ ශතක 3ක් සමග ලකුණු 356 ක් වාර්තා කළ දිමුත් කරුණාරත්න තරගාවලියේ වීරයා හා තරගයේ වීරයා යන සම්මාන දෙකම හිමිකර ගැනීම කැපී පෙණුනි. සුරංග ලක්මාල්ගේ නායකත්වය යටතේ පිට පිට ලැබූ තෙවැනි ටෙස්ට් ජයග්‍රහණය මෙය වූ අතර රංගන හේරත් තම ටෙස්ට් ජීවිතයේ ඉනිමක කඩුලු 5ට වඩා දවාගත් 34 වැනි අවස්ථාව සටහන් කළේය.
තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 490 ක ඉලක්කයක් ලබාදුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඔවුන්ගේ දෙවැනි ඉනිම ලකුණු 290 කට බිද හෙළූහ. ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 338 ක් ලබාගත් අතර දෙවැනි ඉනිම කඩුලු 5 කට ලකුණු 275 ක්ව සිටියදී අත් හිටුවීය. දකුණු අප්‍රිකා පළමු ඉනිම ලකුණු 124 කට සීමාවූ හෙයින් පළමු ඉනිමේදී ශ්‍රී ලංකාව ලකුණු 224 ක් ඉදිරියෙන් සිටියේය.
දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකාවට හිසරදයක්වූ එකම පිතිකරු තෙවුනිස් ඩි බ්රුයින් ජයග්‍රහණය දිගින් දිගටම පමාකරමින් සිටියදී හේරත් එවූ පන්දුවක් නිදැල්ලේ කඩුලු රකින්නා වෙත යෑමට ඉඩ සැලැස්වූ අතර පිතිකරු පුදුමයට පත්කරමින් වම් කඩුල්ල බිඳ වැටී ඉනිම නිමාවට පත් විය. එවිට බ්රුයින් තම ටෙස්ට් දිවියේ පළමු ශතකය රැස්කොට මිනිත්තු කිහිපයක් ගතවූවා පමණි. ඔහු මිනිත්තු 228 කදී පන්දු 232 කට මුහුණදී හතරේ පහර 12 ක් සමග ලකුණු 101 ක් ලබා ගැනීම දකුණු අප්‍රිකාවට යම් සහනයක් විය.
තෙවැනි දිනය නිමා වෙද්දී දකුණු අප්‍රිකා කඩුලු 5 ක් ලකුණු 139 කදී බිද වැටී තිබුණද නොදැවී සිටි තෙවුනිස් ඩි බ්රුයින් (45) හා ටෙම්බා බවුමා (14) ඊයේ උදෑසන පළමු හෝරා දෙකේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ඉතා හොදින් පහරදී 6 වැනි කඩුල්ලට ලකුණු 123 ක සාර්ථක සම්බන්ධතාවක් ගොඩනැගූහ. මේ දෙදෙනා දඟ පන්දු යවන්නන් හොඳින් තේරුම් ගෙන ‘ස්විප් පහරවල්‘ වැඩි වශයෙන් එල්ල කොට දකුණු අප්‍රිකා ලකුණු පුවරුව ශක්තිමත් කළහ.
දකුණු අප්‍රිකා ලකුණු පුවරුව 236 ක් වෙද්දී හේරත්ගේ දඟ පන්දුවකට බවුමා ඉදිරි පාදයේ ක්‍රීඩා කරද්දී පිත්තේ යට අග්‍රයේ වැදී දික්වැල්ල අතට උඩ පන්දුවක් යොමුවීමෙන් ලකුණු 63 කට දැවී ගියේය. ඔහු ඉතා ඉවසිලිවන්තව මිනිත්තු 130 ක කාලයක් පිටියේ රැදී සිටි අතර පන්දු 98 කදී හතරේ පහර 4 ක් එල්ල කළේය. 28 හැවිරිදි බවුමා තම ටෙස්ට් දිවියේ වාර්තා කළ 11 වැනි අර්ධ ශතකය ඔහුට අමතක නොවන ඉනිමකි. අනතුරුව පිටියට පිවිසි කුයින්ටන් ඩි කොක් පන්දු 12 කට මුහුනදී ලකුණු 8 කට දැවී ගියේ රංගන හේරත්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙනි.
දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර එක්දින තරගාවලිය මේ 29 වැනිදා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු එක්දින තරගයෙන් ආරම්භවීමට නියමිතය.
0 Comments