Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලෝක පාපන්දු කරළියේ පුංචි පේලේ - කයිලාන් එම්බාපේ

පැරිස් නුවර ස්ටේඩියම් ක්‍රීඩාංගණයට කිලෝමීටර් 11ක් ඈතින් බොන්ඩි නගරයේ දී කයිලාන් එම්බාපේ ලොටින් උපත ලැබුවේ ප්‍රංශය 1998 දී පළමු වතාවට පාපන්දු ලෝක කුසලානය දිනා හරියටම මාස 6කට පසුවය. ඊට හරියටම වසර 19කට පසුව ඔහු මව්බිමට දෙවැනි ලෝක කුසලානය දිනාගැනීමට දායකත්වය ලබාදුන්නේ තරගාවලියේ හොඳම යොවුන් ක්‍රීඩකයා සම්මානයත් දිනාගනිමිනි.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආජන්ටිනාව සමග පැවැති තරගයේ පිට පිට ගෝල දෙකක් වාර්තා කරමින් ජාත්‍යන්තර අවධානය තමා වෙතට ඇද ගත් මේ 19 හැවිරිදි කළු ජාතික ක්‍රීඩකයා මේ වනවිට ප්‍රංශයේ දහස් සංඛ්‍යාත ළමා පාපන්දු ක්‍රීඩකයන්ගේ එකම වීරයා බවට පත්වී සිටී.

රුසියාවේ මොස්කව් නුවර පැවැති අවසන් මහා තරගයෙන් පසුව ප්‍රංශයට ලෝක කුසලානයත්, කයිලාන් එම්බාපේට යොවුන් ක්‍රීඩකයා සම්මානයත් ලැබුණේ අමෙරිකානු ඩොලර් මල්ලකුත් සමගය. තරගාවලියේ නිමාවෙන් පසුව දිනගණනක් ගතවනතුරු පැරිස් නුවර ජයග්‍රහණයේ අසිරිය සමරද්දී මේ යොවුන් ක්‍රීඩකයා තමා දිනාගත් තෑගි මුදල ප්‍රංශයේ Premiers de Cordee නමැති ළමා සුබසාධන සංවිධානයට පරිත්‍යාග කිරීමට තීරණය කළේය. ලෝක පාපන්දු පිටියට අවතීර්ණ වූ මෙවැනි ළාබාල ක්‍රීඩකයකු වෙතින් එවැනි කැපකිරීමක් කිසිවකු බලාපොරොත්තු නොවීය. ක්‍රීඩාවෙන් මුදල් උපයන්නට පටන් ගත් මුල් කාලයේදීම එවැනි පරිත්‍යාගයක් කිරීමට තරම් සිතක් පහළ වන තරුණයන් දුර්ලභ සමාජයක එම්බාපේ වැනි ක්‍රීඩකයකු සිටීම කාගෙත් විමතියට හේතුවකි. එහෙත් සැබෑව නම් එවැනි සුබසාධන වැඩ කයිලාන්ට අමුත්තක් නොවීමය. අවුරුදු 16 සිට පාපන්දු ක්‍රීඩා සමාජවලට ක්‍රීඩා කරමින් සෑහෙන තරමේ ධනයක් උපයාගත් මේ තරුණයා ඒවායින් වැඩි ප්‍රමාණයක් සුබසාධන කටයුතු සඳහා අත දිග හැර වියදම් කළේය.

ලොව ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා ලෙස සැළකෙන පේලේගෙන් පසුව ලෝක කුසලාන පාපන්දු අවසන් තරගයකදී ගෝලයක් වාර්තා කළ ළාබාලතම ක්‍රීඩකයා ලෙස වාර්තාපොත අලුත් කළ එම්බාපේ මෙවර ලෝක කුසලානය දිනාගැනීමෙන් පසුව නැවත පැරිස් නුවරට ආ සැනින් දිව ගියේ ඔහුගේ උපන් බිම වන බොන්ඩි නගරයටය. කුඩා දරුවන් සිය ගණනක් ඔහු එනතුරු බොන්ඩි ටවුමටවී පෙරමඟ බලමින් සිටියහ. ඔවුන්ගේ එකම වීරයා කවදත් එම්බාපේය.

එම්බාපේගේ පියා විල්ෆ්‍රඩ්ය. ඔහු කැමරුන් ජාතිකයෙකි. හෙතෙම බොන්ඩි නගරයේ බිහිවූ තරමක් බිහිවූයේ ඔහුගෙන් පුහුණුව ලැබූ පාපන්දු ක්‍රීඩකයන්ය. ඔහු බොන්ඩි නගරයේ තරුණ පාපන්දු ක්‍රීඩකයන් පුහුණු කිරිම ආරම්භ කළේ කයිලාන් උපදින්නටත් පෙර සිටය. පසුව කුඩා කයිලාන් ද පියා යටතේ ක්‍රීඩාව ප්‍රගුණ කළේය.

‘මං මුලින්ම ඔහුව ක්‍රීඩාවට පුහුණු කරද්දී එයාගේ වයස අවුරුදු 6යි. ඔබට කයිලාන් කොයිතරම් වෙනස් දරුවෙක්ද කියලා කියනවානම් ඒ කාලයේදීම මිනිහා අනිත් දරුවන්ට වඩා වැඩිපුර දස්කම් පෙන්වන්නට ගත්තා. ඒ වගේම අනිත් දරුවන්ට වඩා වේගවත් වුණා. ඇත්තම කියනවානම් මගේ අවුරුදු විසිගණනක පුහුණුකාර ජීවිතයේ මම දැකපු හොඳම ක්‍රීඩකයා කයිලන්ම තමයි. ප්‍රංශය කියන්නේ පාපන්දුව අතැතිව උපන් ක්‍රීඩකයන්ගේ නිජබිමක්. ඒත් මගේ පුතාට තරම් දස්කම් ඇති වෙනත් දරුවෙක් මං දුටුවේ නෑ. මගේ යාළුවෝ පුතාට කියන්නේ ‘ද බෙස්ට්‘ කියලයි.‘ කයිලාන් ගැන මේ වර්ණනාව කරමින් ඔහු ආඩම්බරයෙන් යුතුව සිනාසෙයි.

කයිලාන්ගේ මාපියන් දෙදෙනාම ක්‍රීඩාවට උපන් හපන්කම් දැක්වූහ. ඔහුගේ මව ඇල්ජීරියානු ජාතික ෆායිසා එම්බාපේ ලමාරී ප්‍රංශයේ අන්තර් සමාජ හෑන්ඩ්බෝල් තරග බිමේ හිටපු ක්‍රීඩිකාවකි.

‘ඔහුට පාපන්දුව තරම් වටිනා වස්තුවක් තිබුණේම නෑ. ඔහු පාපන්දුවට කොයිතරම් ආදරය කළාද කියනවානම් සමහර වෙලාවට මට හිතුණේ ඔහුට පිස්සු හැදිලා කියලයි. විසිහතර පැයේම පාපන්දුව ඔහුගේ අතේ තිබුණා. නින්දට ගියෙත් පාපන්දුව තුරුළු කරගෙනයි. ඔහු පාපන්දු තරග නරඹන්න පටන් ගත්තම එක දිගට තරග හතරක් පහක් හරි නරඹනවා.‘කයිලාන්ගේ මව එසේ කියන්නීය.

කුඩා වියේදිත් ඔහුට වුවමනා වුණේ හොඳම ක්‍රීඩකයා වීමටය. තරග දිනන්නටය. ප්‍රංශයේ නමගිය බොහෝ පාපන්දු ක්‍රීඩකයන් බිහි කළ ක්ලෙයාර්ෆොන්ටේන් පාපන්දු ඇකඩමියට එක්වීම කුඩා වියේදී කයිලාන්ගේ එකම ආසාව බවට පත්විය. ඔහු තොර තෝංචියක් නැතිව ඒ ගැන කියමින් පියාට වදදෙන්නට වූ නිසා ක්ලෙයාර්ෆොන්ටේන් ඇකඩමියට කයිලාන් ඇතුළත් කිරීමට පියාට සිදුවිය. තියරි හෙන්රි වැනි ලෝක පූජිත පාපන්දු ක්‍රීඩකයන්ගේ දස්කම් මුවහත් වූ මේ විශිෂ්ට පාපන්දු ඇකඩමිය ඉන් පසුව කයිලාන්ගේ දෙවැනි නිවස බවට පත්විය.

අවුරුදු 15දී ඔහු ක්ලෙයාර්ෆොන්ටේන් පාපන්දු ඇකඩමියෙන් පුහුණුව හමාර වෙද්දී ප්‍රංශයේ ඉහළ තලයේ පාපන්දු ක්‍රීඩා සමාජ රැසක අවධානය දිනා ගැනීමට මේ කොලු ගැටයා සමත්වී සිටියේය. එපමණක් නොව ප්‍රංශයේ අවුරුදු 17න් පහළ ජාතික කණ්ඩායමේ ස්ථානයක් අත්කර ගැනීමටත් ඔහු සමත්විය.

දස්කම් ඉහළ යද්දී කයිලාන්ට ප්‍රංශයේ නොම්මර එකේ ක්‍රීඩා සමාජ රැසකින් ආරාධනා ගලා එන්නට පටන් ගත්තේය.

එසේ වුවත් කයිලාන්ගේ මාපියන්ට කල්පනා කළේ ඒ වෙද්දී ඔහුට මොනාකෝ රාජ්‍යයේ ක්‍රීඩා කිරිමට ලැබුණු අවස්ථාව ගැනය. තුන්පැත්තකින්ම ප්‍රංශයෙන් වටවූ මේ කුඩා රාජ්‍යයේ ක්‍රීඩා කරන්නට කයිලාන් යැවීමට වැඩිම වුවමනාව තිබුණේ ඔහුගේ මවටය. ඒ වනවිට 16 හැවිදිරි වියෙහි පසුවූ කයිලාන් කඩවසම් සිරුරකට හිමිකම් කී අතර පැරිස් නුවර භද්‍ර යව්වන වියෙහි පසුවන බොහෝ යුවතියන්ගේ ආදරය දිනා ගැනීමට සමත්ව සිටියේය. ඔහුගේ මවට තිබු එකම හිසරදයත් එයම විය.

සැබැවින්ම කයිලාන් ඒ වනවිටත් පෙම් සබඳතා කිහිපයක්ම පවත්වාගෙන යමින් සිටියේය. ඔහු එකළ ක්‍රීඩා කළ තරගවලට වැඩිපුරම පැමිණියේත් යොවුන් වියේ පසුවූ තරුණියන්ය. ඉන් ඇතැම් තරුණියන් කයිලාන්ට පෙම් කළේ තරගයට මෙනි. ඔහු ක්‍රීඩා කළ ඇතැම් තරගවලින් පසුව රථ ගාලේදී මේ කඩවසම් ක්‍රීඩකයා දැක බලා ගැනීමටත්, ඔහු සමග කතා බහ කරන්නටත් තරුණියන්ට ඉස්පාසුවක් නැතිවිය.

ඔහුගේ මව පසුව පුවත්පතකට කීවේ කයිලාන් මොනාකෝ රාජ්‍යයේ ක්‍රීඩා කරන්නට යැව්වේ පැරිස් නුවර දඟකාර තරුණියන්ගෙන් පුතා බේරාගන්නට බවය.

‘කෙල්ලන්ගේ කරදරය නිසා කයිලාන්ට පැරිස් නුවර ජීවත් වෙන්න අමාරු වේවි කියලයි මට නිතරම හිතුණේ. මොනාකෝවල ඔහුට කරදරයක් නැතිව ඉන්න පුළුවන් වේවි කියලා අපි කල්පනා කළා. ‘

ඊට වසරකට පසුව කයිලාන් නැවත පැරිස් නුවරට සේන්දුවූයේ අත්දැකීම් ඇති ක්‍රීඩකයකු ලෙසිනි. පැරීසියේදී ‘පැරිස් සෙන්ට් ජර්මේන්‘ පාපන්දු ක්‍රීඩා සමාජය මේ තරුණ ක්‍රීඩකයා තම කණ්ඩායමට බඳවා ගත්තේ සෙසු ක්‍රීඩා සමාජවලට වඩා වැඩිපුර මුදලක් ගෙවන බවට පොරොන්දු වෙමිනි. ඇතැම් වාර්තාවලට අනුව පළමු වසරේදී ඔහුට මේ ක්‍රීඩා සමාජය යුරෝ මිලියන 145ක් ගෙවන්නට පොරොන්දු වී තිබිණි. එය කයිලාන්ගේ මෙන්ම ඔහුගේ මාපියන්ගෙත් නළල් තල රැළි ගැන්වූ පුවතක් වී තිබිණි. එවැනි මුදලක් මෙවැනි යොවුන් ක්‍රීඩකයකුට ගෙවීම විස්මයජනක කාරණාවක් වූවත් කයිලාන්ගේ දස්කම් ගැන සිතද්දී එහි එතරම් පුදුම වන්නට දෙයක් ද නැත.

අංක 29 ජර්සිය හැඳ ‘පැරිස් සෙන්ට් ජර්මේන්‘ ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ කයිලාන් ඊළඟ වසරේ ප්‍රංශ කුසලාන පාපන්දු කිරුළ තම ක්‍රීඩා සමාජයට අත්කර දුන්නේ තරගාවලිය පුරා ගෝල 16ක්ම වාර්තා කරමිනි. මේ දස්කම් නිසා ප්‍රංශයේ අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායමේ දොරටු විවර කරගත් කයිලාන් පාපන්දු ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන ප්‍රංශයේ ජාතික කණ්ඩායමට කැඳවනු ලැබුවේ ඒ අතරතුරදීය.

පැරිස් නුවර තරුණියන්ගෙන් තම පුත්‍රයා බේරාගැනීමට මොනාකෝ රාජ්‍යයට ඔහු පිටත් කළ කයිලාන්ගේ මවගේ හිසරදය දැන් තවත් වැඩිවී තිබේ. ඒ ලෝක කුසලාන තරගාවලියේ පෙරළිකාරයා බවට පත්වූ කයිලාන්ට දැන් ප්‍රංශයේ පමණක් නොව ලොව පුරා බොහෝ රටවල තරුණියන්ගෙන් ද පෙම් ඇරියුම් ගලා එන්නට පටන් ගෙන ඇති නිසාය. එවැනි ජනප්‍රියත්වයක් ළාබාල වියෙහි පසුවන පාපන්දු ක්‍රීඩකයකුට ලැබුණේ පේලේගෙන් පසුවය. පෙනෙන හැටියට නම් ලෝක පාපන්දු පිටියේ මීළඟ පේලේ වීමට කයිලාන්ට ඇති සුදුසුකම් හොඳටෝම ප්‍රමාණවත්ය.

සටහන - ෆවුස් මොහොමඩ්

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();