ඔහු නමින් චන්දිම ලක්ෂාන්. නිතරම සයිබර් අවකාශයේ සැරිසරන ඔබට නම් චන්දිම කියන්නේ ඇසට හුරු විශේෂ චරිතයක්. පවුලේ අම්මා, තාත්තා,අක්කා එක්ක චන්දිමගේ පදිංචිය රත්නපුර ලෙල්ලෝපිටියේ. ඔහුට අපට වාගේ කතා කරන්න නම් බැහැ. නමුත් ඔහුට ඔහුගේ හීනවලට යන්න ඒක බාධාවක් වුණෙත් නැහැ . පුංචි කාලයේ ඉදන්ම ගමේ පන්සල ආශ්‍රයෙන් හැදී වැඩුණු ඔහු චිත්‍රෙවලට උපන් හපන්කම් පෙන්වන්නට වුණා. ලෙල්ලෝපිටියේ රන්කොත් විහාරයේ රත්නප්‍රිය ස්වාමීන් වහන්සේගේ අනුදැනුම මත චිත්‍ර පිළිබඳ හදාරපු ඔහු පසුව 2014 ඡායාරූපකරණයට යොමු වුණු බව තමයි චන්දිමගේ මව අප සමග පැවසුවේ
උත්සහය, කැපවීම විතරක් මදි තමන්ගේ හීනවලට යන්න. ඒකට මුදලුත් ඕන කරනවා. ඉතින් චන්දිමට ඡායාරූපකරණයට අවශ්‍ය වන කැමරා ඇතුළු අනෙකුත් උපාංග සපයා ගැනීම සඳහා කහවත්ත පෞද්ගලික ආයතනයක රැකියාව කරන්න වුණා. රැකියාවෙන් ලැබෙන මුදලුත්, තම පියාගෙන් ලැබෙන මුදලුත් යොදාගනිමින් ඔහුට තම හීන සැබෑ කරන්නට අවශ්‍ය උපකරණ මිල දී ගැනීමට වුණේ ඊට පසුවයි. වෘත්තීයමය ඡායාරූප ශිල්පියෙකු වුණාට ඔහු මේ වන විට වඩාත් ජනප්‍රිය වන්නේ concept artist කෙනෙක් විදිහට. ඔහු සයිබර් අවකාශයට මුදා හරින ඡායාරූප හරිම වෙනස්. ඔහුගේ එවැනි වෙනස් ඡායාරූපවලට පෙනී සිටින්නෙත් ඔහුමයි. ඒ වගේම එම ඡායාරූපවල සංස්කරණය හිතාගන්න බැරි විදිහට තාත්ත්විකයි. මේතාක් දුර චන්දිමගේ ගමන තුළ ඔහුගේ ගුරුවරයා වුණෙත් ඔහුම තමයි.
2018 කොළඹ විශාඛා විද්‍යාලය මගින් පවත්වනු ලැබූ ඡායාරූප දිනයෙහි විශේෂ ආරාධිත අමුත්තා ලෙස සම්බන්ධ වෙන්නේ චන්දිම. ඡායාරූප සංගමයේ සභාපති හර්ෂ මධුරංග මහතාගේ සම්බන්ධීකරණය මත චන්දිම එහිදී විශේෂ උපහාර සම්මානයකින් පිදුම් ලබනවා. ඒ වගේම 2019 දි camera. LK ආයතනය මගින් ද විශේෂ උපහාර සම්මානයක් ඔහුට පිරිනමනු ලබන්නේ ඔහුගේ දක්ෂතාවය අගයමින්.
චන්දිමගේ මේ ගමන තුළ ඔහුට අතහිත දුන් පිරිසක් සිටිනා බවත් ඔහු මතක් කළා. ඒ අතර මුල් අකුරු ඉගැන් වූ සරත්චන්ද්‍ර ලියනගේ මහතා, චිත්‍ර විෂය ඉගැන් වූ තමරා රත්නායක මහත්මිය, රන්කොත් විහාරයේ රත්නප්‍රි ස්වාමීන්වහන්සේ, මුත්තෙට්ටුපොළ සෝමානන්ද ස්වාමීන්වහන්සේ ඇතුළුව පවුලේ සියලු දෙනාට හදවතින්ම ස්තූතිවන්ත වන බව ඔහු පැවසුවා. ඉතිං චන්දිමගේ ඒ දස්කම් chandima lakshan photography කියන facebook පිටුව හරහාත් ඒ නිර්මාණ හැදෙන ආකාරය chandima lakshan youtube නාලිකාව ඔස්සේත් ඔයාලටත් දැක ගන්න පුළුවන්.
චන්දිමගේ ඉදිරි කටයුතවලට අතහිත දෙන්න චන්දිමත් එක්ක මේ දුරකථන අංකය ඔස්සේ කෙටි පණිවුඩ මගින් ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් (071 405 2375)
කවි විජේසූරිය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
from dinamina

0 Comments