Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හිතලා යනව ද? යන විදියට තල්ලු වෙනව ද?

අවුරුදු පහළොව, දහසය කියන්නෙ දෙයක් සාමාන්‍යයෙන් තේරුම් ගන්න පුළුවන් වයසක්. සාමාන්‍යයෙන් නෙවෙයි මං දන්න තරමින් නම් හොඳටම තේරුම් ගන්න පුළුවන් වයසක්. මොකද ඒ වයසෙදි ම තමයි ඉස්කෝලේ සෞඛ්‍ය පාඩමට ප්‍රජනන පද්ධතිය ගැන කියලා දෙන්නේ. ඒ විතරක් ද  කෙල්ලෙක්,කොල්ලෙක් හොයා ගන්න දන්නවා නම්, ජීවිතේ අනිත් තීරණ වුණත් තමන්ට ගන්න පුළුවන් හොඳට හිතලා. ඒ නිසානේ ගෙවල්වලට හොරෙන් පැනල ගිහින් දරුමල්ලෝ හිටන් හදාගන්නේ. මෙහෙම කියන්නේ ඇයි කියලා හිතනව ඇති දැන්. හේතු තියනවා බන්. අම්මා, තාත්තා පොඩි කාලේ ඉඳලා අපිව බලා ගත්තු එක ඇත්ත. ඒක හොඳින් වෙන්නත් පුළුවන් නරකින් වෙන්නත් පුළුවන්. හැබැයි මං අර කිව්ව වයස්වලට එනකොට අපිට ජීවිතේ ගැන තීරණයක් ගන්න, අපිට හොඳ මොකක්ද නරක මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් වෙනවා. අන්න එදා ඉඳලා අපි ගන්න හැම තීරණයකම වගකීම තියෙන්නේ අපේ අතේ බන්. කුඩු ගහන්න, වෙන වෙන වැරදි පාරවල්වල යන්න තීරනේ කරන්නේත් උඹම තමා.

වැඩි දෙයක් ඕන නෑ. අපි ආශ්‍රය කරන්න, ඕන යාළුවෝ කවුද කියලා තීරණේ කරන්නෙත් අපිම නේ. උඹට නෑ කියන්න බෑ මහා එපාම කරපු පවුල්වල ජීවිතේ ගෙවපු ළමයි අද හොඳ තැන්වල ඉන්නවා. සුපිරි ගණයේ සැප විඳපු උන් අද ජරාම විදිහට නන්නත්තාර වෙලත් ඉන්නවා. ඒත් මේක එකකට එකක් වෙනස් වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් උඹට තේරෙන වයසේ ඉඳලා උඹ ගන්න තීරණවල වගකීම තියෙන්නෙම උඹ ළඟ බන්. පිළිගත්තත් නැතත් ඒක තමා බන් ඇත්ත. උඹ ගත්තු තීරණ නිසාම අද උඹ හොඳින් ඉන්නවා වෙන්න පුළුවන්. ඒක ගැන සතුටුයි බන්. ඒත් උඹ ගත්තු තීරණ වැරදිලා උඹ නන්නත්තාර වෙලා ඉන්නවා නම් ඒකට හේතුවත් උඹමයි. මොකද අම්මා තාත්තා නැතුව වෙනම තනියම හැදුණු මිනිස්සු ජීවිතේ තීරණ ගත්තේ තනියම. එහෙම තනි තීරණ අරන් ජීවිතේ දිනපු මිනිස්සු ඕන තරම් මේ ලෝකෙ ඉන්නවා බන්. එහෙම නොවෙන එවුනුත් ඉන්නවා. අන්න ඒ  නිසා අද උඹට ජීවිතේ වැරදිලා නම් ඒකට වගකියන්න ඕන උඹම තමා.                             

පොඩ්ඩක් හිතලා බලන්න? අද ඔයා ඉන්න තැනට එන්න ඔයා ගත්තු තීරණ කොච්චර දුරට හේතුවක් වෙලා තියනව ද කියලා. අම්මාවත් අප්පච්ච්වත්, සහෝදර සහෝදරියෝ වත් අපේ තීරණවලට හරියටම බැලුවොත් පළි නෑ. ඒ අය අපි ළඟ  ඉන්නවා තමා, ඒ උඹ ගත්තු තීරණේ හොඳ ද නරක ද කියලා අහලා තේරුම් කරවන්න විතරක්. හැබැයි ඒකත් උඹ ඒ අයට කියනවා නම් විතරයි. උඹම තීරණ අරන් උඹම ජීවිතේ කෙළව ගත්තට පස්සේ උඹ වටේ හිටපු උන්ට දොස් කියලා, හෙන ඉල්ලුවට වැඩක් නෑ බන්. ඒක හරියට උඩ බලන් කෙළ ගහගත්තා වගේ වැඩක් නෙවෙයි ද ? ජීවිතේ දෙයක් වුණා නම් ඒක හොඳක් වුණත් නරකක් වුණත් පිළි අරගනින්. මොකද මිනිස්සු අපි අතින් ම නේ වැරදි වෙන්නේ. ඒත් ආයෙමත් ඒ වැරදි  නොකර ඉඳපන්.මොකද උඹ කරපු දේවල්වල ඵල නෙළන්නත් වෙන්නේත් උඹටම තමා.                                                           

ඒ හින්දා කාලකණ්ණි වෙන්න එපා. නිකන් මොකක්ද තිබ්බ පිනකට හම්බ වුණ ජීවිතේ නාස්ති වෙන්න දෙන්න එපා. මොන වැරැද්ද කරත් උඹව මේ ලෝකෙට ජාතක කරපු මිනිස්සුන්ට දොස් කියන්න එපා. උඹ කරගත්තුවට ඒ මිනිස්සු පළි නෑ. ඒ නිසා දැන්වත් හැදියන්, මිනිස්සුන්ට හෙණ ඉල්ලන්න එපා, ඒකෙන් පිරිහෙන්නේ තමන්මයි. අනික, අල ගෙඩියක් වගේ මොළ ගෙඩියක් තියනවනේ. ඒක නිසානේ කොහේ හරි යන කොට මොන විච්චූරණයක් කරන් ගියොත් ද හොඳයි ද කියලා හිතන්නේ. ඒ දේවල් හිතන්න මොළේ තියනව නම් තමන්ගේ ජීවිතේ ගැන මීට වඩා හිතන්න අපිට බැරි කමක් නෑ. ජීවිතේ දෙයක් වුණා නම් ඒ දේවල් වුණේ අපේ අනු දැනුම යටතේ නම් ඒකට අපි කාටත් දොස් කියලා වැඩක් නෑ. සිතුවිලි, ආකල්පය වෙනස් කර ගත්ත දවසට ජීවිතේ මං කර ගත්තේ මොනව ද කියන එක තේරෙනවා. එදාට ජීවිතේ හොඳම කාලේ මඟ ඇරිලා ගිහින් තියෙයි. ඒ නිසා මේ යන විදිහට තල්ලු නොවී, හිතලා යමු නේද ඉස්සරහට? එතකොට උඹට තේරෙයි ජීවත් වෙන්න ඕන විදිය හරියටම මොකක්ද කියලා. ඉතින් අහම්බෙන් ලැබුණු ජීවිතේ හැඩි කර ගන්නේ නැතුව හැඩ කර ගමු.

 නවෝද්‍යා බණ්ඩාරනායක වික්‍රමසිංහ
 


from dinamina

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();