Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හිනාවෙන්න හිනාවෙන්න මොකට ද ඔරවන්නේ

සිනහව' හැඟීමක් ද? නැතිනම් මුහුණේ මාංශ පේශීන් වෙනස් කරමින් සෑදිය හැකි ඉරියව්වක් විතරම ද? සැබවින්ම මේ ඉරියව්වට  කළ නොහැක්කේ කුමක් ද? එක් අයෙකුගේ මේ ඉරියව්වෙන් තවත් අයෙකුගේ හැඟීම්වලට මොන තරම් දරුණු ප්‍රහාරයක් එල්ල කළ හැකි ද? අතේ පයේ කිසිවක් නොමැතිව අඬාගෙන  ආපු අපි දිහා බලලා කී දෙනෙක් නම් හිනා වෙන්න ඇද්ද? පැය කිහිපයක් යන්නට ප්‍රථම අපිත් ඒ ඉරියව්ව පුරුදු පුහුණු වුනා ද? බොහෝ සරලයි, බොහෝ සුන්දරයි, අතීරමණියයි. සිනහවට භාෂාවක් නැත, ආගමක් නැත, ජාතියක් නැත, සිනහව විශ්ව භාෂාවකි. 

සිතේ ඇති වන සතුට පිටත දමන්නට මිනිසුන් වන අප කරනා ප්‍රධානම කාර්යයි සිනහව. මඳක් සිතා බැලුවොත් පාර තොටේදී අප මුහුණට හමු වන නාඳුනන කෙනෙකු දෙස අප නෙත් යොමා සිනහ වුවහොත් ඔවුන්ගෙන් ද ප්‍රතිචාරාත්මක සිනහවක් මුව කොණින් හෝ ලැබෙන වාර අනන්තයි. හේතුවක් නැතත් මෙයයි අව්‍යාජ සිනහව. මොන ගැටලුව අප තලා පෙළා දැම්මත් ඒ දෙස බලා පුංචි සිනහවක් නැඟුව හොත් ගැටලුවක් නැත.

වරක් අපේ මුවට සිනහව එක් කළ දෙයකට කිසිම විටෙකත් පසුතැවිලි නොවන්න.  සෑම විටම පුරුදු වන්න කෙනෙකු හට සිනහවකින් සංග්‍රහ කරන්න. මේ සඳහා අපට වැය වන්නේ කුමක් ද? පුංචි සිනහවකට මුදල් වැය වේද? අපගේ මහන්සියක් වැය වේද? අවශ්‍ය එක් නිමේෂයක් පමණකි. පුරුදු වන්න, තරාතිරම් නොබලා කෙනෙකු දිහා බලා සිනා සෙන්නට නොව, සිනහවකින් සංග්‍රහ කරන්න.

ආඩම්බරකම් කුමට ද?උණ ගස අහසට නැඟෙන්න නැඟෙන්න මහ පොලොවට වැඳ බර වෙනවා, වී කරල රන් වන් පැහැයෙන් සරු වන්න වන්න මහ පොළොවට වැඳ වැටෙනවා. නිහතමානී සිනහවයි මිල කළ නොහැකි ආභරණය. සිනහව අතුරුදන් වී නැත. බලාපොරොත්තුවක් ඇත. සිනහව කිසි දිනෙක නැති වන්නේ ද නැත. මන්ද එය ඇත්තේ අපගේ නාසයට පහළිනි. 

සමාජයේ පිළිගැනීමක් ඇති කවුරුන් හෝ අප දෙස බලා සිනාසුන හොත් ඒ වග අප අන් අය හට මහත් ආඩම්බරයෙන් පවසා සිටිනවා නො අනුමානය. එම පුද්ගලයාට එය නිමේෂයකි. නමුත් ඒ සිනහවෙන් සංග්‍රහ ලැබූ තැනැත්තා හට එය ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථානයකි. බොහෝ අයෙකුට නොවුව ද තමන්ගේ සිනහව ලොව එක් අයෙකුට වුව ද වටිනා තිළිණයකි. ඒ තිළිණය නොමසුරුව ලබාදෙන්න. මන්ද අපි කවුරුත් බොහෝ ප්‍රියයි තිළිණ  ලබන්නට.

පුද්ගලයාගෙන් පුද්ගලයාට සතුට අරුත් දැක්වෙන අයුරු විවිධාකාරය. කෙනෙකු තමන්ගේම සාර්ථකත්වය දෙස බලා සිනාසේ. තවත් යම් පිරිසක් වෙනකෙකු හට සිනාසේ. නිවැරදි අව්‍යාජ සිනහව ඔබ තෝරාගන්න. ගැටලු හමුවේද සිනාසී  බලන්න. සිතන්නට පහසුය. ක්‍රියාවට නැංවීම අපහසුය. නමුත්, අමතක නොකරන්න. අප සිනහසුන හොත් නැවත හැරී අප දෙස බලා සිනාසීමේ සම්භාවිතාවයක් ඇති  බව.

කවුරුන් හට හෝ සිනහවේ තිළිණයක් වන්න. සරල, සැහැල්ලු නිමේෂයයි. වටිනාකම්  දහසයි. සමාජයට මුදා හරින්න ඔබේ ඔය මුවග රැඳී සිනහව. දත් 32කම නොතිබුණත්, කමිස සාක්කුව හිස් වුනත් සරල කමයි සිනහවයි, අප සතු වටිනාම සම්පතයි. 

 

 ඩිල්කි දම්බරගේ
 


from dinamina

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();