Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇඳි වත සහ නිරු වත

හැටේ දශකයේ අග භාගයේ පමණ, කොළඹ මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලයේ පැවති, සාහිත්‍ය උලෙළක ප්‍රධාන ආරාධිතයා වූයේ, මාර්ටින් වික්‍රමසිංහයෝය. බද්දේගම විමලවංශ හිමියෝ මුලසුන හෙබවූහ. මේ උලෙළ සංවිධානය කෙරුණේ, 'සිරිලක' පුවත්පත මඟින් පැවැත්වූ ජාතික වීර දින රචනා තරගයක, ජයග්‍රාහක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ත්‍යාග ප්‍රදානය නිමිති කොටගෙනය.මෙය තරුණියන්ගේ 'මිනි ගවුම' නමැති නව විලාසිතාව පිළිබඳ ආන්දෝලනයක් පැවති සමයයි. කොටට කොටේ මිනි ගවුම් ඇඳගත්, විලාසිනියන්ගේ ඡායාරූපවලින් පුවත්පත් පිටු සැරසුණු අතර, ඊට එරෙහි මත ද බොහෝ පළ විණි. සමහරු 'මිනි ගවුම' හැඳින්වූයේ 'කොට්ට උරේ' නමිනි. විය යුතු පරිද්දෙන්ම, බද්දේගම විමලවංශ නාහිමියන්ගේ රසබර හරබර දෙසුමේදී මිනි ගවුම ද දැඩි විවේචනයට ලක් කෙරිණි. උන් වහන්සේ සඳහන් කළේ එය, සිංහල කාන්තාවට නොගැළපෙන, අසංස්කෘතික ඇඳුමක් බවය.

ඊළඟට එළඹුණේ කවුරුත් පුල පුලා බලා සිටි, මාර්ටින් වික්‍රමසිංහයන්ගේ කතාවය. ආරම්භයේදීම, බද්දේගම හිමියන් වෙත හැරුණු වික්‍රමසිංහයෝ (ඒ දෙදෙන හොඳ මිතුරෝය) මෙසේ පැවසූහ.

" හාමුදුරුවනේ, ඔය මිනි ගවුම් වැරැද්ද තියෙන්නේ ගවුමෙ නෙවෙයි, බලන ඇහේ." සභාව තුළ පුපුරා ගිය සිනාවට, බද්දේගම හිමියෝද එක් වූයේ වටාපතට මුවා නොවෙමිනි.

මට මේ කතාවෙන්, අද ලිපිය අරඹන්න සිතුණේ, පසුගිය දිනක මුහුණු පොතේ දුටු ඡායාරූපයක් හා ඒ සම්බන්ධව කෙරුණු අදහස් දැක්වීම් දැකීම නිසාය. සුරූපි තරුණියක් අලංකාර සාරියකින් සැරසී තිරික්කලයකට නඟින්නට, පයක් ඔසවයි. එහිදී, ඇයගේ පය සාරියෙන් මිදී, කලවා පෙදෙස දක්වාම ප්‍රදර්ශනය වෙයි. ඇත්තෙන්ම, එය අහඹු ලෙස සිදු වූවක් නොව, ඡායාරූප ශිල්පියකුගේ කලාත්මක කෝණයකට පෙනී සිටීමකි.

තරුණියගේ නිරුවත් පාදය දැකීමෙන් ඇවිස්සුණු ශීලාචාර මහත්වරුන් ඊට පක්ෂ-විපක්ෂ අදහස් රැසක් දක්වා තිබිණි. එක් අයකු මෙසේ කියා තිබිණි:

"ඔසරිය ද මෙසේ අවසන් විය. ඔච්චරයි ලංකාවේ ගෑනුන්ට විලි වහගෙන අඳින්න තිබ්බේ." මෙබඳු මහත්වරුන්ට දිය යුත්තේ මීට දශක ගණනාවකට පෙර මාර්ටින් වික්‍රමසිංහයන්, විමලවංශ හිමියන්ට දුන් පිළිතුරමය.

අමෙරිකාවේ ලුයිස්විල් විශ්වවිද්‍යාලයේ පර්යේෂණවල යෙදී සිටින, ඉන්දීය ජාතික අමෝල් ගාඩේ, අන්තර්ජාලයෙහි දක්වා තිබූ, "Nudity is'nt in appearance, it's in thOughts" යන කියමන ද, වික්‍රමසිංහ කියුම හා සමාන වෙයි. නිරුවත ඇත්තේ පෙනුමෙහි නොව, සිතිවිල්ලෙහිය.

තවත් සිද්ධියක් මතකයට නැඟෙයි. මීට වසර කිහිපයකට පෙර, ශ්‍රී ලාංකික හා ඉන්දීය ජනමාධ්‍යවේදීන් පිරිසක් සමඟ ඉන්දියාවේ, කර්ණාටක ප්‍රාන්තයේ පැවති සමුළුවකට සහභාගි වීමට ගිය මට, එරට ජෛන ආගමික උලෙළක් වූ දොළොස් වසරකට වරක් පැවැත්වෙන, මහා මස්තකාභිෂේක උත්සවය ද දැකගැනීමේ භාග්‍යය අත් විය. ජෛන පැවිද්දෝ, බුදුන් දවස මෙන්ම ශ්වේතාම්බර, දිගම්බර යනුවෙන් දෙකොටසකට බෙදී සිටියහ. දිගම්බර ජෛන හිමිවරු නූල්පොටක් වත් නැතිව සභාවේ පෙනී සිටියහ. ඉන් එක් හිමිනමක්, තමන් වහන්සේ ලියා පළ කළ, ජෛන දර්ශනය පිළිබඳ කුඩා පොතක් බෙදා දුනි. එහි හැඳින්වීමෙහි සඳහන් වූ අන්දමට එහිමිනම ගිහිකල විද්‍යා උපාධිධරයෙකි.

පසුව උන් වහන්සේ වැඩ හුන්, ටකරන් වහලක් ඇති තාවකාලික කුටියට ගිය අපට, කතාබහක යෙදෙන්න ද අවසර ලැබිණි. අප සමඟ සිටි, ශ්‍රී ලාංකික ඉංග්‍රීසි පත්‍ර කලාවේදියෙක්, ජෛන හිමිගෙන් මෙසේ අසා සිටියේය:

"ඔබ වහන්සේ ඇඳුම් අඳින්නේ නැත්තේ කුමන අදහසකින් ද?" ඇත්තෙන්ම එය, තැනට නොගැළපෙන, අවට සිටියවුන් සිනා ගන්වන පැනයක් විය. එහෙත් මඳ සිනාවකින් එය ඉවසූ ජෛන හිමිනම, මෙසේ පෙරළා ප්‍රශ්න කළේය:

"මහත්මයාණෙනි, ඔබ ඇඳුම් ඇඳ සිටින්නේ ඇයි දැයි මට කියන්න. මගේ පිළිතුර ද, ඔබේ පිළිතුර තුළම සොයාගත හැකි වනු ඇති." ඒ මොහොතේත්, ඔහුගේ සිරිත අනුව 'දෙකක් දමා ගෙන' සිටි අප මිත්‍රයා තතනමින් කුමක් දෝ කියූ නමුදු, ඒ පිළිසඳර එතැනින්ම නිමා වූයේ, අපට දී තිබූ කාලය ද අවසන් වූ බැවිනි. කෙසේ වෙතත් කුඩා සෙන් කතාවක් බඳු ඒ සිදු වීම මගේ අමතක නොවන ඉන්දීය මතක අතරට එක් විය. ඇඳි වත නැති විට නිරුවතය. අප හැම කොහෙත්ම උපදින්නේ නිරුවතිනි. නිරුවත් යනු දෙවියන් දුන් ඇඳුම යැයි කියුමක් පවතින්නේ ද එහෙයිනි.

කෙනකුට නිරුවත සුන්දරය; තවත් කෙනකුට අසුන්දරය. පෘතුගීසි කවියකු වන 'ෆර්නෑන්ඩො පෙසෝ' සඳහන් කර ඇති අන්දමට නිරුවත් දේහයක සුන්දරත්වය පෙනෙන්නේ, ඇති වත් දරන ජනයාට පමණි.

'ඇඳුම යනු ශිෂ්ඨත්වයේ අංගයකි' යන මතය, ඇඳුම් අඳින්නවුන් විසින් ඇති කරගත්තකි. මහා වනාන්තර ඇතුළෙහි වෙසෙන ගෝත්‍රිකයන් විලි වසාගන්නේ කොළ අත්තකිනි; ගස් පතුරකිනි. ඔවුන් තම ශිෂ්ටත්වය පෙන්වන්නේ, විවිධ වර්ණයෙන් තම සිරුර ආලේප කරගැනීමෙනි; නැත් නම් මාල වළලු වැනි ආභරණ පැලඳීමෙනි. මෑත කාලීනව නොවුණත්, ශ්‍රී ලංකාවේ ආදිවාසීන් සම්බන්ධයෙන් ද, ඉහත කරුණු සාධාරණය. එසේම, මෙරට කුල පීඩනයට ලක් වූ ඈත ගම්වල ගැහැනු, මෑතක් වන තුරුම උඩු කයට ඇඳුම් නොඇඳි බව නොරහසකි.

රූමතියකගේ නිරුවත් පාදයක් දුටු සැණින්, විළියෙන් ඇඹරී, සංස්කෘතික තිගැස්මකට ලක් වන ශීලාචාර, විනීත ශ්‍රී ලාංකික මහත්වරුන් (සහ තවත් පිරිමින්) හොර රහසේ නිරුවත් ඡායාරූප හා චිත්‍රපට මහත් අභිරුචියකින් නරඹන බව, සමාජ විද්‍යාඥයන්ගේ සමීක්ෂණ මගින් සනාථ වී ඇත.

මාර්ටින් වික්‍රමසිංහයන්ගේ 'පුරාණ සිංහල ස්ත්‍රියගේ ඇඳුම' වර්තමාන කුහක සුචරිතවාදීන් මෙන්ම, ජාතිකවාදි ඝෝෂාකාරයන් ද කුප්පනසුලු පර්යේෂණාත්මක කෘතියකි. එහි එන පරිච්ඡේදයක මැය 'සිංහල ස්ත්‍රීහු උඩුකය නොවැසූහ' යනුය. එහි තැනක මෙසේ සඳහන් වෙයි: "පුරාණ සිංහල කුල ස්ත්‍රිය උඩුකය නොවැසූ බව ධම්මපදට්ඨ කථාවෙහි රෝහිණී වස්තුව කියයි. අනුරුද්ධ මහ තෙරණුවෝ, කිඹුල්වත් නුවරට වැඩියහ. රෝහිණී නම් මහා උපාසිකාව, ශරීරයෙහි කුෂ්ඨ රෝගයක් ඇතිව ගත් හෙයින්, ලජ්ජායෙන් එහි නොපැමිණ, ගෙහි සිටිනු ඇසූ අනුරුද්ධ ස්ථවිරයෝ, 'ඇය කැඳවා ගෙන්ව' යි වදාළෝය. මහා ස්ථවිරයන් මෙසේ කැඳවූයෙන්, රෝහිණී තමාගේ ඇඟ පුරා වූ කුෂ්ඨය වසාගැනීමට' ඇඟ ලාගෙන සිටි කඩ කංචුකය (සැට්ටය) ගලවා ඉවත තබා, ස්ථවිරයන් වෙත පැමිණියා ය." (විමර්ශන; ධම්මපදට්ඨ කථා, 478 පිට) මෙබඳු කතා සම්භාව්‍ය සිංහල සාහිත්‍යයේ මෙන්ම බණ කතාවල ද ඕනෑ තරම් හමු වන බව, නිරුවත් නාරි පාදයක් දුටු සැණින් හැකිළෙන උදවිය දත යුතුය.

පැය 24 පුරා නොයෙක් ආකාරයේ ඇඳුම් පැලඳුම් හැඳ සිටින නූතන මිනිසා නිරුවත් වන්නේ අවස්ථා දෙකතුනකදී පමණි. අධික ශීතල දේශගුණයක දඬුවම් විඳින සුදු ජාතිකයෝ, 'විටමින් ඩී' ඌනතාවෙන් මිදෙනු පිණිස හිරු රැස වෙත තම සිරුර අනාවරණය කිරීමට නොමැළි වෙති. ඔවුන් වෙරළ තීරයන්හි නිරුවතින් වැතිර සිටීම කිසිවකුට අශිෂ්ට දර්ශනයක් නොවේ. නිරුවතින් හෝ අඩ වතින් හිරු රැස් නෑමේ අවශ්‍යතාව සංචාරක ව්‍යාපාරයේ පැවැත්ම සඳහා ද හේතු වූවකි.

'නිරුවත් වානරයා' (The Naked Ape)යනුවෙන් අගනා පර්යේෂණ ග්‍රන්ථයක් කළ ඩෙස්මන්ඩ් මොරිස් පවසන අන්දමට, 'සදාචාරය' නමැති පිටපොත්ත ගැලවූ විට දැකගත හැක්කේ නිරුවත් වානරයෙකි. වර්තමාන නාගරික ජීවිතය නම් වූ වෙස් මුහුණට යටින් ඇත්තේ පැරණි සුපුරුදු නිරුවත් වානරයාය. වෙනස් වී ඇත්තේ, නම පමණකි. 'දඩයම් කිරීම' වැඩ කිරීම යනුවෙන් ද, 'දඩයම් බිම' හෝ වැඩපොළ කාර්යාලය යනුවෙන් ද, 'යුගල බන්ධනය' විවාහය යනුවෙන් ද 'ශිෂ්ට' වී ඇත. මෙවන් පසුබිමක, විරෝධය දැක්වීම සඳහා ඇඳි වත උනා, නිරුවත දැක්වීමට මිනිසා පෙලඹීම ද පුදුමාකාරය! කුඩු අල්ලන්නට ආ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් හමුවේ, ඇඳි වත ගලවා දැමූ ස්ත්‍රියක මාධ්‍ය ඔස්සේ දැකගත හැකි විය. ඇයට කිසිවකු කිට්ටු කළේ නැත.

මෑතකදී ඇමෙරිකානු ස්ත්‍රීහු දහසක් පමණ දෙනා එළිමහන් පිටියකට රැස්ව, ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරෝධය පෑම සඳහා ඇඳි වත් උනා නිරුවත් වූහ. නිරුවත් විරෝධය (public nudity) ඇරඹෙන්නේ දහතුන් වන සියවස තරම් ඈතක එංගලන්තයේ විසූ ගෝඩිවා ආර්යාව (Lady Godiva) ගෙනැයි පිළිගැනීමක් ඇත. ඇය නිරුවතින් වීදි සංචාරය කළේ තම රදළ සැමියා දිළිඳු ගැමියන්ගෙන් අසාධාරණ ලෙස බදු අය කිරීමට එරෙහිව ය. ශ්‍රී ලංකාවේ නිරුවත් විරෝධයේ පුරෝගාමිත්වයේ ගෞරවය ඉහත කී 'කුඩු කතට' දිය යුතු නොවේ ද?

කපිල කුමාර කාලිංග



from dinamina

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();