ලංකාව කුඩා දූපතක් වුවත් පරිවහනය දියුණු වන්නට පෙර අපේ රටේ එක් පෙදෙසකින් තවත් පෙදෙසකට ගමන් කිරීම දින කීපයක් ගත වන ගමනක් විය. අපේ මුතුන්මිත්තෝ එදා අනුරාධපුරයට වන්දනාවේ යන්න පෙර සිය ඉඩකඩම් දරුවන්ට ලියා දුන්නේ යැයි කියැවෙන්නේ දින ගණනක් කල් ගත වන ගමන ගොස් ආපසු ඒමේ අවදානම මැනවින් හඳුනාගෙන සිටි බැවිනි. ඉතින් පෙදෙසකින් තවත් පෙදෙසකට ගමන් බිමන් අඩු වූ එවන් සමයක ලක්දිව විවිධ පෙදෙස්වල සිරිත් විරිත්වල ද වෙනස්කම් තිබිණි. එකම සිරිතක් සඳහා වුව එකම දෙයක් සඳහා වුව භාවිත කළ නම් වානම් පළාතෙන් පළාතට වෙනස් විය. වහරන ලද නාමපද, සර්වනාම පද, ක්‍රියා පද පළාතෙන් පළාතට වෙනස් විය. මේ තත්ත්වය වෙනස් වන්නට වූයේ විසි වන සියවසේ උදාවත් සමඟ පරිවහන පද්ධතිය දියුණු පවුණු වී, ගුවන්විදුලිය කලඑළි බැස, කාලයක් ගත වූ පසුය. හැත්තෑ ගණන්වල අගභාගයේ විවෘත ආර්ථිකය සමඟ රූපවාහිනිය කලඑළි බැස, කෙමෙන් කෙමෙන් කේශනාලිකා සේ රූපවාහිනී හා ගුවන්විදුලි නාළිකා එළි දුටු කල ඉක්මනින්ම ශ්‍රී ලංකාවම එක යායක් සේ රටම සමාන බස්වහර තෙපලන තත්ත්වය ඇති විය.
හත් කෝරලයේදී 'අඩි කඩනවා' යන යෙදුමෙන් ඇවිදිනවා යන්න අදහස් වෙයි. මායා රංජන් දිගාමඬුල්ලේ වැව්ගම්පත්තුව (අම්පාර ඇතුළත් පත්තුව) ඇසුරු කරගෙන ලියූ 'දිගාමඬුල්ලේ ආශ්චර්ය' කෘතියේ දී "ඔය රුකුලෙ පද්දංඩ පුළුවනියි තනියෙං." යන යෙදුමක් වෙයි. වැව්ගම්පත්තුවේ 'පද්දංඩ' යන වදනින් ඇවිදිනවා, ගියා, යනවා වැනි අරුත් සපයයි.
ගම්මුලාදෑනියා වසමේ පරිපාලන කටයුතු භාරව සිටි සමයේ ඉඩම්කඩම්, කුඹුරු ආදියේ පාලකයාව සිටියේ වෙල් විදානේය. රටේ බොහෝ පෙදෙස්වල ඔහු වෙල්විදානේ නමින් හැඳින්වුව ද අපේ සහෘදය ගුණසේකර ගුණසෝම උපන් පානම්පත්තුවේ මෙම නිලය 'වට්ටවිදානේ' විය. ගුණේගේ පියා මෙන් ම පියාගේ පියා ද වට්ටවිදානේ තනතුර දැරූ බැවින් ගුණේ ගම්මුන් අතර හැඳින්වුණේ 'හීන් වට්ටවිදානේ' නමිනි.
වෙල්විදානේට කුඹුරු වෙනුවෙන් ගොවීන්ගෙන් වී කොටසක් හිමි විණි. අප ජීවත් වන තුන් කෝරලයේ නම් ඒ සඳහා වී ලාස් දෙකක් අය කෙරිණි. එය තුන් හා සතර කෝරලවල 'සුවන්දිරම් කොටහ' (හුවන්දිරම් කොටහ) නමින් හැඳින්විණි. අපේ ජනශ්‍රැති පර්යේෂක 'මහින්ද කුමාර දළුපොත' සහෘදයා සඳහන් කරන ආකාරයට හත් කෝරලයට, නුවර කලාවියට, වැව්ගම්පත්තුවට, වන්නියට සහ තවත් බොහෝ පෙදෙස්වලට එය 'සලාරිස් කොටහ'යි. දකුණු පළාතේ ද අපේ පළාත්වල මෙන් වෙල්විදානේගේ පංගුව හුවන්දිරම් නමින්ම හැඳින්වුණු බව ද කීවේ මහින්දමය.
පාසල් යන වයසේ සිටි මා සතර කෝරලයට අයත් ගම්මානයක විසූ අපේ මිතුරකුගේ නිවෙසට ගියේ තවත් මිතුරන් පිරිසක් සමඟිනි. යාළුවාගේ අත්තම්මා අපේ ගමෙන් දීග ගිය තැනැත්තියක් වූවාය. ඇය අපේ පියාගේ නෑදෑයෙකි. ඒ වියපත් තැනැත්තිය මෙසේ ඇසුවාය:
"බෝ මුන් එක්ක රස්තියාදු විකුණන්න මෙහෙ ආවැයි?"
අපේ පළාත්වල පැරැණියෝ 'උඹ' යන සර්වනාම පදයට පර්යාය පදයක් සේ 'බෝ' යන පදය යෙදූහ. දැන් නම් කලකින් ඒ වචනය නෑහුණේ ඒ සර්වනාමය භාවිත කළ පරපුර මිය පරලොව ගොස්, ඊළඟ පරපුරෙන් ඒ වදන බැහැරව ඇති බැවිනි.
අපේ පැත්තේ පැරණි කාන්තාවෝ 'ඔහොරිය' ඇන්දහ. ඉන් පසු පරපුර ඇන්දේ 'ඔසරියයි'. ඒ කාලය සමඟ හා මහා සන්නිවේදන ජාලය සමඟ වචන නවීකරණය වන ආකාරයයි.
අප ජීවත් වන තුන් කෝරලයේ හා යාබද සතර කෝරලයේ කම්මැළියා 'මාරියා' යි. මුලින්ම වී වැපිරීම 'බිජු වැඩුම' නැත් නම් 'පුර වැඩුමයි'. සිරිත් ''චාලිත්තරයි'. "මේ සෝමාරියා කොහොමෙයි බිජු වඩන්ට හවුල් කොරගන්නෙ? ඒක චාලිත්තරේට කොරන්ට වුවමනයි." අතීතයේදී කියැවිණි. දකුණු පළාතෙන් අපේ නිවෙසට පැමිණ සිටි කාන්තාවක අපේ ගමේ ඇත්තියක හා කතා කළේ 'ඔහේ' යන ආමන්ත්‍රණ පදය යොදමිනි. අපේ ගමේ කාන්තාවගේ මුහුණ වෙනස් වනු මම පැහැදිලිව ම දිටිමි. "එයා ඔහේ කීවෙ ඔයා කියන එකට. දකුණු පළාතෙ ඔයා කියන වචනෙට කියන්නෙ ඔහේ." මම අපේ ගමේ තැනැත්තියට කීමි. "එහෙමද? මම හිතුවෙ මේකි පොටකට එන්න හදනව කියල." අපේ ගමේ තැනැත්තිය කීවාය. අන්තර් පළාත් ව්‍යවහාර පිළිබඳ අවබෝධයක් නැතිකම ඇතැම් විට ගැටුමකට මග පෑදිය හැකිය.
'අම්මණ්ඩි' බොහෝ විට යෙදෙනුයේ කාන්තාවක අපහාසවාචීව හඳුන්වන්නටය. "මේ අම්මණ්ඩිගෙන් බේරෙන්ට බෑ." එවන් යෙදුමකි. දකුණු පළාතේදී අම්මණ්ඩි යනුවෙන් අම්මා ඇමතෙයි. හතර කෝරලයේදී අම්මණ්ඩි යනුවෙන් ඇමතුණේ මාමණ්ඩියයි. "අම්මණ්ඩි මොකෑ මේ ගිනිකූටකේ? මද්දහනට ගමං බිමං උඹැහෙට දැන් ගුණ නැතුවා." බෑනණ්ඩි අම්මණ්ඩිට (මාමණ්ඩිට) කියන්නේ ඔහු කෙරෙහි ළෙහිපපුකම් ඇති හෙයිනි.
ඉඩම් හිමියාට අයත් කොටස 'පංගු පේරුව' යනුවෙන් හැඳින්වේ. තව විටෙක එය 'මඩරං දීම' යනුවෙන් ද ව්‍යවහාරයේ යෙදේ. අනුන්ට අයත් කිතුල් ගසක කිතුල් මදින විට හිමිකරුවාගේ පංගුව දීම 'කැත්ත' දීමයි. සාමාන්‍යයෙන් තෙළිදිය බෝතල් පහට වැඩියෙන් ලැබෙන්නේ නම් එක් දවසක උදයේ හා සවස ලැබෙන තෙළිදිය මදින්නාටත්, පසුදා උදේ හා සවස ලැබෙන තෙලිදිය අයිතිකාරයාටත් හිමි වේ.
'හත්තිය' යනු ශක්තිය යන්නේ ගැමි ව්‍යවහාරයයි. "ඉලන්දාරියෙක් වුණහම හයිය හත්තිය වුවමනයි." ගැමියෝ කියති. එහෙත් අපේ පළාත්වල 'හත්තිය' නමින් හැඳින්වුණු ගොවිගෙදර 'කලප්පන්නයක්' තිබිණි. එය පැරණි පන්නයේ හිස්වැස්මකි. හත්තියේ සැකිල්ල වියන්නේ වේවැල්වලිනි (බටලීයේ පිටපොත්ත ද මේ සඳහා ගැනේ). ඉන් පසු බටකොළ තම්බා වේවැලෙන් බඳියි. බැඳුම් ගැසූ තැන්වලට කැකුණ මලකැටි (කැකුණ ගසේ කඳින් පෙරන දුම්මල වැනි කැකුණ මල්) උණු කොට වත් කරයි. හත්තිය ගොවියාට හිස් වැසුමක් සේය. ඔහු හාන විට, පෝරුගාන විට, කුඹුරු කොටන විට, ගොයම් පාගන විට, හරක් දක්කාගෙන යන විට වැස්සෙන්, පින්නෙන්, අවුවෙන් ආරක්ෂා වන්නට හත්තිය හිස පලඳියි. හත්තිය එදවස බෙහෙවින් භාවිත වූ, අද වන විට අතීතයට එක් වූ මතකයක් පමණක් වන ගොවි ගෙදර කලප්පන්නයක් පමණි. අද එතැන ගන්නට විදේශයන්ගෙන් ආනයනය කරන ලද, පරිසර හිතකාමි නොවන කෘත්‍රිම අමුද්‍රව්‍යෙයන් සැදූ නන්පැහැ හිස්වැසුම් පැමිණ ඇත.
අතීතය වෙත මතකය ගෙන යන විට වියපැහැදම් නොවූ, ගැමි දෑතින් නිමැවූ, ලාභදායි කලප්පන්න රැසක් පිළිබඳ මතකය අවදි වෙයි. එදවස භාවිත ගැමි වදන්, ගැමි ඇවතුම් පැවතුම් හා සමහර සිරිත් විරිත් ද අද මහා පරිමාණ ප්‍රචාරණය හමුවේ හුදු මතක පමණි. පළාතෙන් පළාතට වෙනස් වූ ගැමිවහර පිළිබඳ මතක ද එසේමය. එහෙත් එය අපේ පාරම්පරික ජනවේදය පරිසරය තේරුම් බේරුම් කරගැනීමට, අපට ආවේණික ඇතැම් ගතිසිරිත් හා ඒවායේ වටිනාකම් පිරිසිඳ දැකීමට බෙහෙවින් ඉවහල් වෙයි. මෙය අතීතකාමි ලියවිල්ලක් සේ වරදවා වටහා නොගත මැනවි; හුදෙක් අතීත දැනුම් ගබඩා කර තබන්න කරන වෑයමක් පමණි.
මහානාම දුනුමාල
from dinamina

0 Comments