Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සියලු වගකිවයුත්තන්ට ප්‍රහාරය ගැන දන්වා තිබියදී එහි වගකීම මා පිට පමණක් පැටවීම අසාධාරණයි!

වර්ෂ 2016 සිට එවකට නැඟීගෙන ආ අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව සියලු තොරතුරු, 2018 වසරේ සහරාන් හෂීම් ඇතුළු තවුහිද් ජමාත් සංවිධානයේ ප්‍රබලයන් රැසක් සමාජයෙන් ඉවත් කළ යුතු බවට වන තොරතුරු සහ පාස්කු ප්‍රහාරයට පෙර දිනය දක්වා ප්‍රහාරයක් සිදුවීම වළක්වා ගැනීමට ගතයුතු සියලු ක්‍රියාමාර්ග තමා රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා ලෙස වගකීමකින් යුතුව වගකිවයුතු සියලු දෙනාට දන්වා තිබියදීත් ඊට අදාළ කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන එහි වගකීම තමා පිට පමණක් පැටවීමට කිසියම් පිරිසක් උත්සාහ ගන්නවා නම් එය විශාල අසාධාරණයක් බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (25දා) පැවැසීය.

හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා මේ බව සඳහන් කළේ 18 වැනි දිනටත් කොමිසම හමුවේ සාක්ෂි දීමට පැමිණි අවස්ථාවේ හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ යොමුකළ හරස් ප්‍රශ්නවලට පිළිතුරු ⁣දෙමිනි.

සාක්ෂිකරුගෙන් ඊයේ (25දා) දිනය පුරාම හරස් ප්‍රශ්න ඇසීමට කොමිසම අවස්ථාව ලබාදී තිබූ අතර එම අවස්ථාව විටෙක උද්වේගකර මෙන්ම තවත් විටෙක සංවේදී මුහුණුවරක් ගැනීම සුවිශේෂී කරුණක් විය.

හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා මෙහිදී සාක්ෂිකරුගෙන් විමසා සිටියේ පසුගිය වසරේ අප්‍රේල් 21දා ප්‍රහාරයට පෙර දිනයේ එනම් අප්‍රේල් මස 20 වැනිදා විදේශගතව සිටි හිටපු ජනාධිපතිවරයා දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට තමා උත්සාහා ගත් නමුත් එය සිදුනොවූ බව පවසනවා නම් එවකට හිටපු ජනාධිපති ලේකම්වරයා සම්බන්ධ කරගෙන ප්‍රහාරය පිළිබඳව දැනුවත් කිරීමට ඉඩ තිබුණා නේද යන්නයි. රට තුළ ගැටුමක් හෝ අවදානමක් උද්ගත වුවහොත් හදිසි නීතිය පැනවීමට ජනාධිපති ලේකම්වරයාට නෛතික ප්‍රතිපාදන පවතින බවද මෙහිදී ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් සාක්ෂිකරුට පැහැදිලි කරදීමක්ද කළේය.

ඊට දීර්ඝ පිළිතුරක් සමඟින් පැහැදිලි කිරීමක් කළ සාක්ෂිකරු සඳහන් කළේ මෙවැන්නකි.

සාක්ෂිකරු – ගරු ස්වාමිනී… දැන් මේ උගත් ජනාධිපති නීතිඥවරයා මගෙන් අහනවා ඇයි ප්‍රහාරය ගැන ජනාධිපති ලේකම්වරයාට දැන්නුවේ නැත්තේ කියලා. මම හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා. මට විදෙස් බුද්ධි අංශයකින් ප්‍රහාරයක් ගැන ලැබුණු තොරතුර වැඩිදුර බුද්ධි තොරතුරු මත විමර්ශනයට ලක්කරලා පරිපූර්ණ වාර්තාවක් සකස් කරලා අප්‍රේල් 07 වැනිදා එවකට හිටපු ආරක්ෂක ලේකම්වරයාට, පොලිස්පතිවරයාට, ජාතික බුද්ධි ප්‍රධානියාට, ක්‍රියාමාර්ග ගතයුතු සහ ගත හැකි සියලු අංශයන්වලට දැන්නුවා. පසුගිය වසරේ අප්‍රේ්ල් 04 වැනිදා සිට ප්‍රහාරය වන 21 වැනිදාට පෙර දිනය දක්වා අඛණ්ඩව තොරතුරු සියල්ල සහ ගතයුතු සියලු ක්‍රියාමාර්ග දැන්නුවා. ඒ විතරක් නෙමේ 2016 වසරේ ඉඳලා රාජ්‍ය බුද්ධි සේවය එවකට නැඟීගෙන ආ අන්තවාදී ක්‍රියාකාරකම් ගැන වගකිවයුත්තන් දැනුවත් කළා. 2018 වසරේ කිව්වා සහරාන් හෂීම් කියන පුද්ගලයා සමාජයේ ඉන්න හොඳ නෑ, ඔහු වහාම අත්අඩංගුවට ගන්න කටයුතු කරන්න කියලා. තවුහිද් ජමාත් සංවිධානය සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් ගැනත් මම දීර්ඝ වශයෙන් කරුණු ඉහළට දැන්නුවා.

එපමණක් නෙමේ පාස්කු ප්‍රහාරයට පෙර දිනයේත් ජනාධිපතිවරයා කිහිප වරක්ම සම්බන්ධ කරගෙන මේ ගැන දන්වන්න උත්සාහ කළා. එහෙත් එතුමා විදේශ සංචාරයක හිටිය නිසා සම්බන්ධ කරගන්න බැරිවුණා. දැන් මේ උගත් ජනාධිපති නීතිඥවරයා මගෙන් අහනවා ඇයි ජනාධිපති ලේකම්ට කිව්වේ නැත්තේ කියලා. මේක හරි පුදුම කතාවක්. මේ කතාවත් එක්ක මට අහන්න වෙනවා එදා මේ රටේ ඉන්න අයගෙන් මගේ දුරකථනය විතරද වැඩ කළේ කියලා. විදේශ තොරතුරුකරුගෙන් ප්‍රහාරය ගැන මුල් තොරතුර ලැබුණු දිනයේ ඉඳලා රාජ්‍ය බුද්ධි සේවය ඉතාම වගකීමෙන් යුතුව වැඩ කළා. වගකිවයුතු සියල්ලන්ට සියලු කරුණු දැන්නුවා.

එහෙම තියෙද්දී රටේ බෝම්බ පිපිරෙන්න නියමිතව තියෙද්දී රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ විදිහට මට හතරවටේ දුරකථන ඇමැතුම් ගන්න කියලාද කියන්නේ. අවශ්‍ය  පියවර ගන්න අවශ්‍ය අයට දන්වලා තියෙද්දි ප්‍රහාරය වළක්වන්න අවශ්‍ය  කුමන හෝ පියවරක් ගන්න එකද මම කරන්න ඕනි, එසේ නැත්නම් දුරකථන ඇමැතුම් ගන්න එකද කරන්න ඕනි කියලා මම අහනවා. දැන් මේ කියන කරුණ අනුව මම තොරතුරු හොයලා, දැනුවත් කරලා, ලිපි යතුරුලියනයත් මම කරලා, ජනාධිපතිවරයාටත් කියලා, පොලිස් ස්ථානාධිපතිවරුන්ටත් දන්වලා සියලුම අයට කියන එක මමද කරන්න ඕනි. ඇයි අනික් අය රැකියාවක් නෙමේද කරන්නේ. ඒ අය වැටුපක් ගන්නේ නැද්ද? ඒ අයට දුරකථන ඇමැතුම් දීමනා දෙන්නේ නැද්ද? මේ කියන දේත් එක්ක පේන්නේ රැකියාවක් කරලා තියෙන්නේ සහ පඩි ගත්තේ   මම විතරයි කියලා.

මේ හැමදේම මම කරන්න ඕනි නම් මම රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නෙමේ රටේ ජනාධිපති හෝ අගමැති වෙන්න ඕනි. ස්වාමිනී… ප්‍රහාරයක් වළක්වාගන්න අවශ්‍ය  ක්‍රියාමාර්ග ගන්න එක සාමූහික කාර්යයක් වුණත් දැන් මේ වගකීම් සියල්ල මට පවරන්න උත්සාහ ගන්න එක ලොකු අසාධාරණයක්. මම මගේ රාජකාරිය අකුරට කළා. එහෙත් ඇතැම් අය පල්ලි නොයා ගෙදර හිටියා, සමහර අය අප්‍රේල් 10 කාර්යාල වහලා නැවත විවෘත කළේ අප්‍රේල් 21. සමහර  අය විදේශගතවෙලා. තවත් අය නිදාගෙන ඉඳලා තියෙනවා. දැන් ඒ රාජකාරි වගකීම් අතපසු කරපු අය මට වරද පටවන්න උත්සාහ ගන්නවා. මේ වගේ කණ්ඩායමක් සමඟ වැඩකරන්න සිදුවුණු එක ගැන මම ඉතාම කනගාටු වෙනවා යැයි හෙතෙම පැවැසීය.

එහිදී වැඩිදුරටත් සාක්ෂිකරුගෙන් ජනාධිපති නීතිඥවරයා මෙලෙස හරස් ප්‍රශ්න ඇසීය.

ජනාධිපති නීතිඥවරයා – ඔබ කුමක් කීවද හදිසි නීතිය පැනවූවා නම් මේ ප්‍රහාරය වළක්වාගන්න තිබුණා කියන යෝජනාව මම ඉදිරිපත් කරනවා. හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කළා නම් ත්‍රිවිධ හමුදාවේ සහාය ඇතුව සහරාන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කරන්න තිබුණා.

සාක්ෂිකරු – ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී හදිසි නීතිය පනවනවාට වඩා කරන්න දේවල් ගොඩක් තියෙනවා. විදේශ බුද්ධි අංශවලින් ලැබුණු අදාළ  වාර්තාව තවදුරටත් සංවර්ධනය කළ යුතුව තිබුණා. එමෙන්ම සහරාන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය යම් යම් තොරතුරු රාජ්‍ය බුද්ධි සේවය විසින් අවස්ථා ගණනාවකදී අදාළ ආයතනවලට ලබාදීලත් තිබුණා. එහෙම තියෙද්දි එකපාරටම රටේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරලා සහරාන් හොයන්න කටයුතු කරන්න අවශ්‍ය නෑ. අනෙක් අතට එක් ක්ෂණයකින් රටේ හදිසි නීතිය පැනෙව්වොත් රට අරාජික වෙන්න ඒක හේතුවක් වෙන්න පුළුවන්. මේ වගේ අවස්ථාවක අපි වගකීමෙන් යුතුව කටයුතු කළ යුතුයි. ඒ වගකීම මම නිසි ලෙස විය යුතු ක්‍රමවේදයට කළා.

ජනාධිපති නීතිඥවරයා – විදේශ තොරතුරුකරුවෙක් පසුගිය වසරේ අප්‍රේල් 04 ප්‍රහාරයක් ගැන මුල් වරට ලබාදුන් තොරතුරෙන් රටේ ආරක්ෂාවට තර්ජනයක් කියලා දැනුණාද?

සාක්ෂිකරු – සහරාන් ඇතුළු පිරිස රටේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව රාජ්‍ය බුද්ධි අංශය 2018 සිට කියනවා. එහෙත් 04 වැනිදා ලැබුණු තොරතුර මත 05 වැනිදා තර්ජනයක් තියෙනවා කියලා තීරණය කළේ නෑ. එහෙත් ඒ තොරතුරත් එක්ක රටේ ආරක්ෂක තත්ත්වය ස්ථාවර නෑ කියන මතයේ ඉඳගෙන 04දා ලැබුණු තොරතුර ගැන වැඩිදුර විමර්ශන කරමින් බුද්ධි අංශ තොරතුරු රැස්කරමින් විශ්ලේෂණය කරමින් සිටියා.

එහෙත් 04දා තොරතුරු මඟින් දැන් ගහනවා කියලා තක්සේරුවට පැමිණියේ නෑ. අනෙක් එක මේ දැනුවත් කිරීම් කරන්න අපි ගත්ත ක්‍රියාමාර්ග ප්‍රශස්ත මට්ටමක තිබුණා. 04 වැනිදා අපිට ලැබුණු තොරතුර මල් වට්ටියක තියලා දුන්න තොරතුරක් නෙමේ. අපේ කැපවීම ලැබුණු කුඩා තොරතුර බුද්ධි තොරතුරක් දක්වා අංග සම්පූර්ණව සකස්කර ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග දන්වන්න හැකිවුණේ. ඒ සඳහා රාජ්‍ය බුද්ධි සේවය කැපවීමෙන් යුතුව කටයුතු කළා.

ජනාධිපති නීතිඥවරයා – විදේශ තොරතුරුකරුවකු සැපයූ එම තොරතුර බුද්ධි තොරතුරක්ද?

සාක්ෂිකරු – නෑ… එය බුද්ධි තොරතුරක් නෙමේ.

මෙහිදී කොමිසමේ සභාපති විනිසුරුවරයා සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කිහිපයක් විමසීය.

සභාපති විනිසුරුවරයා – ඕනෑම රටක බුද්ධි අංශ විසින් ලබා දෙන්නේ බුද්ධි තොරතුරු නොවේද?

සාක්ෂිකරු – තොරතුරක් පමණයි. එය බුද්ධි තොරතුරක් විදිහට අර්ථ දක්වන්න බෑ. විදේශ රටක් සම්බන්ධයෙන් යම්කිසි තොරතුරක් වෙනත් රටකට ලැබුණු අවස්ථාවකදී එය බුද්ධි තොරතුරක් බවට පත් කර අදාළ රටට යොමු කිරීමට හැකියාවක් නෑ. වෙනත් රටක් පිළිබඳව අපිට පුළුවන් තොරතුරු සපයන්න පමණයි. ඒ රටවල පිහිටීම, යම් යම් ස්ථාන වැනි දේවල් සම්බන්ධයෙන් අපිට දැනුමක් නැහැ. ඒ නිසා අපි ලබාදෙන තොරතුරු අනුව වැඩිදුර විමර්ශන කර එය බුද්ධි තොරතුරක් බවට පත් කර ගත යුතුයි. ඒ අනුව තමයි ලැබුණු තොරතුර ගැන නිලධාරීන් යොදවා වැඩිදුරටත් විමර්ශන කළේ.

සභාපති විනිසුරුවරයා – එය කඩිනම් ක්‍රියාමාර්ග ගන්න බාධාවක් නොවේද?

සාක්ෂිකරු – නැත ස්වාමිනී… වගකිවයුතු බුද්ධි අංශයක් ලෙස ලැබෙන සියලු තොරතුරු ඉහළ ආයතනවලට යොමු කරන්නේ නම් ඒ හරහා රට අරාජික තත්ත්වයකට පත්විය හැකියි. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විදිහට බුද්ධි අංශවලට ලැබෙන තොරතුරු ඒ අයුරින්ම ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, සහ අනෙකුත් බලධාරීන් වෙත යොමු කරන්නේ නම් ඒ හරහා අහිතකර ප්‍රතිවිපාක ඇති වෙන්න පුළුවන්. එම නිසා බුද්ධි අංශයක කාර්යභාරය වෙන්නේ සිය ආයතනවලට ලැබෙන යම් යම් තොරතුරු විධිමත් ලෙස විශ්ලේෂණය කර අදාළ ආයතනවලට යොමු කිරීමයි.

සභාපති විනිසුරුවරයා – පෙර සිටම රාජ්‍ය  බුද්ධි සේවයේ කාර්ය භාරය සිදුවුණේ මේ ආකාරයටමද?

සාක්ෂිකරු – තමන්ට ලැබෙන බුද්ධි තොරතුරු පිළිබඳව කිසිදු සොයාබැලීමක් නොකර ඒවා ඒ ආකාරයෙන්ම ඉහළ නිලධාරීන්ට යොමු කරපු නිලධාරීන් හිටියා. එහෙත් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස මම  එහෙම කටයුතු කළේ නැහැ. බෝම්බ ප්‍රහාරය පිළිබඳව ලැබුණු තොරතුරත් කිසිදු සොයාබැලීමක් නොකර ඉහළ නිලධාරීන්ට යොමු කරන්න මට හැකියාව තිබුණා. එහෙත් මම වගකිවයුතු ආකාරයෙන් කටයුතු කළා ඒ සම්බන්ධයෙන්.

යැයි සාක්ෂිකරු වැඩිදුරටත් කීය.

මේ අතර හිටපු රාජ්‍ය  බුද්ධි අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන පෙරේදා (24දා) 17 වැනි දිනට කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කළේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් 2019 අප්‍රේල් 04දා විදෙස් තොරතුරුකරුවකුගෙන් ලැබුණු පූර්ව දැනුවත් කිරීමේ සිට අවස්ථා ගණනාවකදීම තමා එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූවද අදාළ තොරතුර පිළිබඳ හිටපු ජනාධිපතිවරයා දැනුවත් නොකළ බවයි.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්‍ෂවරයාගේ දුරකථනයෙන් ලබාගත් සහ පැමිණි ඇමතුම් පිළිබඳව දත්ත වාර්තා කොමිසමේ අවධානයට ලක්වූ අවස්ථාවේ මේ පිළිබඳව අනාවරණය වූ අතර ඒ අනුව පැජට් පාරේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවෙසේ දුරකථනයට 2019 අප්‍රේල් මස 05 වැනිදා පෙ.ව 7.59ට තත්පර 28ක ඇමතුමක්, 2019 අප්‍රේල් මස 08 වැනිදා පෙ.ව 7.18ට තත්පර 17ක ඇමතුමක්,  2019 අප්‍රේල් මස 09 වැනිදා පෙ.ව 8.02ට විනාඩි 04යි තත්පර 14ක ඇමතුමක්, 2019 අප්‍රේල් මස 12 වැනි දින පෙ.ව 8.50ට තත්පර 37ක සහ එදිනම ප.ව 08.07ට තත්පර 16ක ඇමැතුමක්, 2019 අප්‍රේල් මස 13 වැනිදා පෙ.ව 6.27ට තත්පර 15ක, 2019 අප්‍රේල් මස 14 වැනිදා ප.ව 9.39ට තත්පර 38ක, 2019 අප්‍රේල් මස 15 වැනිදා ප.ව 7.47ට විනාඩි 03යි තත්පර 19ක, 2019 අප්‍රේල් මස 20 වැනිදා ප.ව 6.16ට විනාඩි 01යි තත්පර 28ක ඇමැතුමක්ද වශයෙන්ද ඇමතුම් ලබාගෙන ඇති බව සාක්ෂිකරු කොමිසම හමුවේ පිළිගත්තේය.

මෙහිදී කොමිසමේ සභාපති විනිසුරුවරයා සාක්ෂිකරුගෙන් විමසීමක් කරමින් පාස්කු ප්‍රහාරය එල්ල වූ දින අප්‍රේල් මස 21 වැනිදා ප්‍රහාරය එල්ලවීමට පෙරද තවත් දුරකථන ඇමතුමක් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලබාගත්තේද යන්න විමසීය.

එහිදී එවැනි ඇමතුම් ලබාගත් බව පිළිගත් සාක්ෂිකරු එම ඇමතුම් ලබාගත්තේද පැජට් පාරේ පිහිටි එවකට ජනාධිපතිවරයාගේ නිල නිවෙසට වන බවත් එහි ඇති දුරකථන ඇමතුම් පරීක්ෂා කිරීමේ ඒකකය විසින් ඇතැම් අවස්ථාවලදී පමණක් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සම්බන්ධ කර දුන් බවත් ඔහු කොමිසමට කීය.

කෙසේ වෙතත් තමා කෙතරම් උත්සාහ දැරුවද ප්‍රහාර සිදුවන තෙක් තමාට හිටපු ජනාධිපතිවරයා සම්බන්ධ කරගැනීමට නොහැකි වූ බවත් ප්‍රහාරය සිදුවූ පසු ජනාධිපතිවරයා තමා ඇමතූ බවත් සාක්ෂිකරු වැඩිදුරටත් කීය.

*රුවන්ත නිතුල්ගස්පිටිය



from රට තොට – Colombo Tribune https://ift.tt/3aVhms5
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();