Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඔබ ඇස්පිය නොහෙළා බැලුවා - සශිකා නිසංසලා




අපි හැමදාම එක විදියට හිතුවතේ අපට මේ ගමන යන්න අමාරුයි.

කලාකරුවෙකුට හෝ කලාකාරියකට ජනතාවගේ සම්මානය තරම් වටින සම්මානයක් තවත් තියෙයි කියලා අපට හිතෙන්නේ නෑ. ඒ ජනතා කැමැත්තට, ජනතා ආශිර්වාදයට එක දිගට පස් වතාවක්ම හිමිකම් කී ඇය දැන් අපිත් එක්ක ඉන්නවා. ඇයට කියන්න බොහෝ දේවල් ඇති. දිදුලන දෑස් තුළ ඇගේ සතුට දෝර ගලන බව අපට පේනවා. හඩින් විතරක් නොවෙයි ගමන බිමන ඇඳුම පැළඳුම , හැසිරීම කතාබහ ඇතුළු සියලු ඉරියව්වෙන්ම ඇය ඇයටම අනන්‍ය වූ ලක්ෂණ ගොඩනඟා ගත්තියක් .අපේ රටේ බොහෝ රසික ජනතාව ඇයට ආදරය කරන්නේ ඇගේ ගීතවලටම පමණක්ම නොවෙයි කියලා මට හිතුණා.ඇගේ මුළු ජීවන රිද්මයම හරිම ආදරණීයයි. ඉතින් අපි කතා කරමු ඇගේ ජීවිතේ ගැන, ඇගේ නිර්මාණ ගැන. ඈ සශිකා නිසංසලා.

පසුගියදා පැවති සිලිම් නීල්සන් ජනතා සම්මාන උලෙළේ වසරේ ජනප්‍රියතම ගායිකාව ලෙසින් ජනතා සම්මානයට පාත්‍ර වූයේ ඇයයි.මෙම සම්මානය ඈ දිනාගත් ප්‍රථම අවස්ථාවද මෙය නොවෙයි.

‘ මම හිතනවා මම හරිම වාසනාවන්ත ගායිකාවක් කියලා. මේ සම්මානය මට අවුරුදු පහක් එක දිගට හම්බ වුණා. ජනතාවගේ කැමැත්ත, ආදරය එත දිගටම නොකඩවා එහෙම ලැබෙන්න තරම් මම වාසනාවන්තයි. ජනතාවගේ ආදරය සම්මානයක් හැටියට අතට ලැබෙනකොට මට දැනෙන සතුට කොච්චරද කියලා කියන්න මට වචන නෑ.මේ සම්මානය මට ලැබෙන්න පටන් ගත්තේ 2016 ඉඳලයි. නමුත් ඊට ඉස්සර අවුරුද තුන හතරක්ම මම නිර්දේශිත නාම අතරට ආවා. ඉතින් ඒකත් මට සතුටක්. ‘

සශිකා බොහොම පුංචි තැනකින් ගායන ජීවිතය පටන් අරගෙන වර්තමානය වනවිට මෙරට ප්‍රමුඛතම ගායිකාවක් බවට පත්වෙලා ඉන්න තැනැත්තියක්. ඇය මේ ගමන් මඟ පැමිණියේ බොහෝ උත්සාහයෙන් හා කටු කොහොල් පිරුණ මාවතක් දිගේ. එහෙත් මේ දිවිය ජය ගන්න ඇයට ඕනෑ තරම් සවිය ශක්තිය ආත්ම විශ්වාසය මෙන්ම වැටුණු තැනින් නැගිටින්නට අවශ්‍ය දිරියද තිබුණා. අද ඈ සුපැහැදිලි මාවතක ගමන් කරන්නේ ඒ නිසයි.

‘‘ ඇත්තටම මගේ ගායන දිවිය ඇරඹෙන්නේ ළමා ගායිකාවක් විදියට. මගේ ජීවිතේ දිහා ආපස්සට හැරිලා බලත්දී අද මට විශාල සතුටක් ඇතිවෙනවා. මේ ගමන මට කවදාවත් තනියෙම එන්න පුළුවන් ගමනක් නොවෙයි.මේ ගමනේ මූලාරම්භය වෙන්නේ මගේ තාත්තගේ කැමැත්ත හා ආසාව. මම ගායිකාවක් වුණේ ඇත්තටම තාත්තගේ උනන්දුව හා කැපවීම නිසාමයි. මට නොතේරෙන කාලේ ඉඳන් ඔහු තමයි මාව මේ පැත්තට යොමු කරලා තියෙන්නේ. උපතින් මට පිහිටපු හැකියාව මුලින්ම හඳුනා ගත්තේ ඔහු. ඊට පස්සේ ඔහු ඒ ගැන උනන්දු වෙලා සංගීත අධ්‍යාපනය පැත්තට, පුහුණු වීම් පැත්තට මාව යොමු කළා. අපි හිටියේ දැරණියගල දුෂ්කර ගමක. මගේ අධ්‍යාපන කටයුතු ගැන හිතලා තමයි තාත්තා ටිකෙන් ටික නගරයට එන්න පටන් ගත්තේ. මුලින්ම අපි පදිංචියට ආවේ අවිස්සාවේල්ලට. මම පුංචිම පුංචි කාලේ තාත්තා කී බෝඩ් එකක් අරන් දීලා තිබුණා. ඒක ගහලා තාත්තා මට සින්දු කියා දුන්නා. අපේ තාත්තා සංගීතය ඉගෙන ගත්තේ නැති වුණාට සින්දු කියන්නත් වාදනය කරන්නත් හැකියාවක් තිබුණා.එයා තමයි මාව ‘‘ උදාර, මුතුහර ‘වගේ වැඩසටහන් වලට එක්කරගෙන ගියේ. ඒ කාලේ අපේ ගමේ විදුලි බලය නොතිබුනාට තාත්තා ගුවන්විදුලියට බැටරි දාලා මට සින්දු අහන්න දෙනවා. .සිංදු අහන්න මම පුරුදු වුණේ එහෙම.එකෙන් තමයි මටත් සංගීතයට ලොකු කැමැත්තක් ඇති වුණේ. ‘

සශිකා මූලික අධ්‍යාපනය ලබන්නේ දැරණියගල ඌරපොල කනිෂ්ඨ විද්‍යාලයෙන් . ඊට පස්සේ ඇගේ පවුල අවිස්සාවේල්ලේ පදිංචියට පැමිනෙනවා.සශිකාත් අවිස්සාවේල්ලේ නව කනිෂ්ඨ විද්‍යාලයට ඇතුළත් වෙනවා. පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වන සශිකා ඊට පස්සේ ඇහැලියගොඩ ධර්මපාල විද්‍යාලයට ඇතුළත් වෙනවා.ඇගේ සංගීත ජීවිතේට නව අත්වැලක් එකතු වෙන්නේ මේ පාසැලේදී.

‘‘ ධර්මපාල විද්‍යාලයේ ඉන්න කාලේ ගොඩාක් සංගීතය පැත්තට යොමු වුණා. ඒ පාසැලේ එවකට සිටි විදුහල්පතිවරයාත් සංගීතයට හා කලාවට ගොඩාත් කැමතියි. එතුමා අපට සංගීත තරගවලට යන්න එහෙම ගොඩාත් උදව් කළා.ඒ කාලේ මම රූපවාහිනී , ගුවන් විදුලි වැඩසටහන් සඳහා සහභාගී වුණා. ඒ සඳහා යන්නත් එතුමාගෙන් මට විශේෂ සහයෝගයක් ලැබුණා.ධර්මපාල වද්‍යාලයෙන් තමයි මම සාමාන්‍ය පෙල විබාගය කළේ. ඊට පස්සේ මම උසස් පෙළ කරන්න නුගේගොඩ අනුලා විද්‍යාලයට ඇතුළත් වුණා.ඔය අතරෙදි තමයි මම තුරුණු ශක්ති තරගයට ඉදිරිපත් වෙන්නේ.

ජාතික තරුණ සේවා සභාව මේ රටට ඉතාම දක්ෂ ජනප්‍රිය ගායක ගායිකාවන් රුසක්ම දායාද කරපු ආයතනයක්. සශිකා නිසංසලා කියන අද ජනතා සම්මානයට පාත්‍රවන සුශේෂ ගායිකාව බිහි වෙන්නෙත් ඒ හරහා.

‘ ඇත්තටම තුරුණු ශක්ති තරගයට ඉදිරිපත් වෙන කොට මම උසස්පෙල විභාගයත් කරලා තිබුනේ නෑ. මගේ ජයග්‍රහණයෙන් පස්සේ මම මූලික තැන දුන්නේ මගේ විබාග කටයුතු වලට. විබාගය ඉවරවෙලා තමයි මම ගීත කිහිපයක් කරන්න ලෑස්ති වුණේ. ඒ මුලින්ම කරපු ගීත කිහිපයක්ම ජනප්‍රිය වුණො. මම උසස්පෙල සමත් වෙලා විශ්ව විද්‍යාලයට යනකොට මගේම ගීත කිහිපයක හිමිකම මට තිබුණා. ඒ නිසා ඒ කාලේ මට ලැබුණු සංදර්හන සඳහා අනුන්ගේ ගීත ගායනා කරන්න මට අවශ්‍ය වුනේ නෑ.

‘‘ පාරමිතා නොපුරමු අපි දෙදෙනා

මතුමතු සංසාරේ....

පාන සිනා සුලඟට මුසු කරමු

හමුවෙන් හැමවාරේ.....

මේ සශිකාගේ ජනප්‍රිය වුණු මුල්ම ගීතය. ඒ කාලේ ගායන ක්ෂේත්‍රයට ආපු මේ අලුත් හඩ පිලිබඳ බොහෝ දෙනා කතා බහ කළා. සශිකාට තිබුනේ සුගායනීය කටහඩක්. එක් වරක් ඇසූ පමණින් අවධානයට යොමු වෙන.මේ ගීතය ජනප්‍රිය වෙනවාත් එක්කම ඇගේ තව ගීත කිහිපයක්ම කරලියට ආවා.

තොල් පෙති විතරක්

පළමු හාදුවෙන් තෙමන්න

සේපාලිකා මලකට

රෑ තනියෙම හිනාවෙන්න

අපි 90 දශකයේ අගභාගයත් 2000 මුල් බාගයත් සිහිපත් කලොත් මේ ගීත කොයි තරම් ජනප්‍රිය වුණාද කියලා ඔබට මතක් වෙයි.

‘සඳරෑට රෑටසඳ විමනට තරු අරන් ගියා ‘ ගීතයත් මේ කාලයේම ජනප්‍රිය වුණා.

‘‘ ඇත්තටම මුල්ම කාලේ මට සංදර්ශණ සඳහා ආරාධනා ලැබෙන කොට මම සංගීත කණ්ඩායම්වල අයට කතා කරලා මගේ අලුත් ගීත ගැන කියලා තමයි ප්‍රසංග වලට සහභාගී වුනේ. කොහොම වුනත් ආරම්භයේ ඉඳලම ප්‍රසංග වේදිකාව තුළ මට මගේම ගීත ගායනා කිරීමේ හැකියාව ලැබුණා.ඒ වෙනකොට මට ගීත 04 ක් තිබුණා.ඊට පස්සේ ‘ සඳ එළිය මමයි‘ ගීතයත් ඒකට එකතු වුණා.එදා ඉඳලා අද දක්වා මම ප්‍රසංග වේදිකාවේ සජීවී රසික ප්‍රතිචාර ලබන කෙනෙක්. ඒ නිසා ඒ අයට තමයි මගේ මේ සම්මානවලට ස්තූතිය පළ කරන්න ඕන. මේ සම්මානත් එක්ක මේ වෙනකොට මම ප්‍රශස්ත සම්මානත් එක්කම සම්මාන 20 ක් ලබලා තියෙනවා. ඒ අතරට ටෙලිනාට්‍ය ගීත, චිත්‍රපට ගීතත් ඇතුළුව. ඉතින් මේ ගමන පිටුපස්සේ මහා විශාල කණ්ඩායමක් ඉන්නවා. මේ ජයග්‍රහණ කවදාවත් මට තනියම ලඟා කරගන්න පුළුවන් ඒවා නොවෙයි. විශේෂයෙන්ම මේ ගමන පිටු පස්සේ මගේ අම්මා, තාත්තා, සහෝදරයා. ඉන්නවා. මුල් කාලේ අපි සංදර්ශන වලට ගියේ අපේ පවුල පිටින්මයි. ඒ නිසා මගේ මල්ලිගේ අධ්‍යාපන කටයුතු වලට පවා බාධා එල්ල වෙලා තියෙනවා. නමුත් ඔවුන් හැම දෙනාම මා වෙනුවෙන් කැපවුණා.ඊට පස්සේ මම විවාහ වුණාට පස්සේ මගේ සැමියා මා වෙනුවෙන් කැපවුණා. මගේ හැම කටයුත්තකදීම ඔහු මා පසු පස්සේ සෙවනැල්ලක් වගේ ඉන්නවා. ඒ හයිය මට මහ මෙරක් වගේ. අනෙක් පැත්තෙනන් මගේ මේ ජයග්‍රහණ හමුවේ මගේ නිර්මාණ දිවියට අතහිත දෙන සියළු දෙනාම ඉන්නවා. විහේෂයෙන් මගේ නිර්මාණ වලට සංගීතය නිර්මාණ කල අය, මට ගීත රචනා කරපු අය මගේ ගීත රෙකෝඩ් කරපු අය, මගේ ගීත සඳහා වාදනයෙන් සහාය වූ අය , මෙකී නොකී හැම දෙනෙක්ගේම සහයෝගය මතයි මම මේ ගමන මේ තාක් ඇවිත් තියෙන්නේ .ඒ නිසා මම ලබන කිසියම් ඇගයුමක් වෙයි නම් ඒ හැම දෙනාම ඒකේ කොටස් කාරයෝ වෙනවා.

සශිකා ක්ෂේත්‍රයට පැමිණිලා දැන් අවුරුදු 20ක් සම්පූර්ණවෙලා. එදා මෙදා තුර ඇයගේ සුවිශේෂත්වය වන්නේ එදා ජනප්‍රියතාවය නොසිඳී මේ මොහොත දක්වාම පවත්වාගෙන ඒමේ වාසනා මහිමයයි. ඇය මේ මොහෙතේත් නව නිර්මාණයන් ගැන සිතමින් පසුවෙනවා. කලින් කලට එලෙඹන සමාජ පෙරලිත් සමඟ ඇයත් යාවත්කාලීන වෙනවා.

අපි හැමදාම එක විදියට හිතුවතේ අපට මේ ගමන යන්න අමාරුයි. අපි යාවත්කාලීන වෙන්න ඕන. මම 2010 විතර තමයි මියුසික් වීඩියෝ ජනප්‍රිය වෙලා තියෙන කාලේ මියුසික් වීඩියෝවක් කලේ. ඇත්තටම ඒ සඳහා මාව උනන්දු කලේත් මගේ හස්බන්ඩ්.

සශිකා මෑත භාගයේ ගායනා කළ ‘හුස්මක් දුරින් ඉන්න ‘වැනි ගීත අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනා ගත්තා. ‘ ඇසිපිය නොහෙලා බැලුවා, මල් හීසර, ඇස් දෙක පුරා‘ වැනි ගීත අපේ රසික ජනතාව ආදරයෙන් වැලඳ ගත්තා මේ බොහොමයක් ගීත නවක ගීත රචකයන් හා නවක සංගීතඥයන් සමඟ එක් වී කළ නිර්මාණ. අපේ රටේ ප්‍රවීණයන් ගේ නවක ශිල්පියන් දක්වා එක්වී ඉතාම අගනා නිර්මාණ කිරීමේ භාග්‍යය සශිකාට උදා වුණා. අනෙක් විශේෂම කාරණය ඇය ජනතා සම්මානය සඳහා නිර්දේශ වන්නේ මෙරට ප්‍රමුඛතම ගායන ශිල්පිනියන් හා නිර්දේශිත නාමයන් අතරට එක් වෙමින්

‘‘ ඇත්තටම ඒ කත් මට සුවිශේෂී භාග්‍යයක්. මේ සම්මානය මීට ඉස්සර දිගින් දිගටම අරගත්තේ ආචාර්ය නන්දා මාලිනී මහත්මිය. ඇයත් සමඟ මගේ නම නිර්දේශ වීමත් මට සම්මානයක් ලැබුණා හා සමානයි. ඇය තමයි අපේ රටේ ගායන ක්ෂේත්‍රයේ අනන්‍යතාවය.

ගායිකාවක් වශයෙන් තමන්ගේ ඉදිරි ජීවිතය සකසා ගන්නවා වගේම ඇය කාන්තාවක් ලෙසට සුවිහේෂ භුමිකාවන් දරන්නියක්. ඇය සිය සැමියාට ආදර බර බිරියක් . ඒ වාගේ ම දරු දෙනෛකුගේ මවක් මේ සියලු වගකීම් දරන්නට ඇයට අදටත් සවියක් වෙන්නේ ඇගේ ආදර මව සහ පියා. එසේ නොමැති වූවානම් එැයට මානසික නිදහසකින් යුතුව නිර්මාණකරණයේ යෙදෙන්නට නොහැකිවනවා ඇති.

‘‘ ඇත්තටම අම්මයි , තාත්තයි. සැමියයි නොවන්නට මට සැහැල්ලුවෙන් මේ ගමන යන්න නොහැකියි. මගේ දරුවෝ දෙන්නගේ සියලු වගකීම් අම්මයි තාත්තයි බලා ගන්නවා. ඒ නිසා තමයි මම ප්‍රසංගවලට පවා හිතේ සැනසිල්ලෙන් යන්නේ. දරුවෝ දෙන්න දැන් ටික ටික ලොකු වෙනවා. ලොකු පුතාට දැන් අවුරුදු 10 න් වෙනවා. පොඩි පුතාට දැන් අවුරුදු 7ක් වෙනවා. මම කොයි තරම් කාර්ය බහුල වුණත් විවේකී හැම මොහොතම දරුවන් සමඟින් ගත කරන්න යොදා ගන්නවා.

මම ගෙවන්නේ හරිම සරල, සැහැල්ලු දිවි පෙවෙතක්. මම ගමෙන් ආපු කෙනෙක්. තාමත් මම ජීවත් වෙන්නේ ඒ විදියට මගේ ඇඳුම් පැළඳුම් පවා මම වෙනස් කරගෙන නෑ. ඒ මට මගේ අම්මගෙන් ලැබුණු දේවල්. මේ සරල බවත් එක්ක තමයි හැමදාමත් මම ජීවත් වෙන්නේ.

නිශ්ශංක විජේරත්න




හේමාලි විජේරත්න
Sarasaviya

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();