එතෙර වනු පිණිස පාලම් තනා දී ඒ පාලමෙන් අනෙකාත් එගොඩ වෙනු දැක සතුටුවන්නෝ වීරයෝය. පරාජයේ කටුක වේදනාවෙන් හදවත රිදුම් දෙද්දී ජයග්‍රහණයේ පාර කියා දෙන්නේද වීරයෝය. දහසක් කම්කටුලු මැද දෙපා අඩපණව වැටෙන විට කාත් කවුරුත් නැති මොහොතක හෝ දෑත් දිගු කරන්නේ වීරයෝ ය. එනයින් මෙසේ පෙළ ගැසෙන්නේ යෞවනයේ පෙරළිකාර චමත්කාරය සප්තස්වරයෙන් ලෝකයට හඬ ගා කියාපෑ භාතිය ජයකොඩිගේ වීරයෝය.
වීරයා කියන කෙනා ගැන පොඩි කාලේ කොහොමද හිතාගෙන හිටියේ?
පොඩිම කාලේ වීරයෝ කියලා අපි හිතන්නේ ගහගන්න, සාධාරණය වෙනුවෙන් පෙනී සිටින අය ගැන. චිත්‍රපටි, කාටූන් බලලා අපි පොඩි කාලේ වීරයා ගැන ඔළුවෙන් හදාගත්තේ එහෙම. ටිකෙන් ටික ලොකු වෙද්දි ඒ සංකල්පය වෙනස් වුණා. වීරයා කියන්නේ යම්කිසි ප්රතිපත්තියක සිටින, ලෝකයේ අනිත් අයට කරුණාව දක්වන, පරාර්ථකාමීව සේවය කරන ශක්තිමත් මිනිස්සුන්ට.
පොඩි කාලේ භාතියගේ වීරයා කවුද?
මට පොඩි කාලේ ඉඳලා අද වෙනකං ඉන්නේ එකම එක වීරයයි. මගේ වීරයා මගේ තාත්තා. තාත්තා මට පොඩි කාලේ ඉඳන්ම වීරත්වයට ගොඩක් උදාහරණ දීලා තියෙනවා. එයා කෑගහන, ගහන බනින කෙනෙක් නෙමෙයි. නමුත් ගොඩක් වෙලාවට එයා හදවතටම කාවදින්න අවවාද දෙන ඒ අනුව හැසිරෙන කෙනෙක්. තාත්තා බොහොම කරුණාවන්ත, දක්ෂ කෙනෙක්. එයා යුද හමුදා නිලධාරියෙක්. ඔහුගේ ඒ හික්මීම සහ ශික්ෂණයත් ඒකට හේතුවක් කියලා මම හිතනවා. මට දැන් හිතෙනවා තාත්තා හිටියා නම් මට අදටත් ඔහුගේ චරිතයෙන් ගොඩක් දේවල් ගන්න තිබුණා කියලා. අවාසනාවකට ඔහු යුද සමයේ දී මියගියා.
ගායන ක්ෂේත්රයේ වීරයෙක් හිටියේ නැද්ද?
ගායන ක්ෂේත්රයේ මගේ වීරයා රූකාන්ත ගුණතිලක මහත්මයා. රූකාන්ත ගුණතිලක කියන්නේ අපි දැකපු සංගීත ලෝකේ තරු ගුණය සපිරි ගායන තරුව. ඊට කලින් ලංකාවේ ගායන ක්ෂේත්රයේ වීරයෝ හිටියා. අපිට තේරෙන කාලේ මම දැකපු වීරයා රූකාන්ත ගුණතිලක. එච්.ආර්. ජෝතිපාල ඇතුළු ජනප්‍රිය ගායකයෝ ලංකාවේ හිටියා. නමුත් ගායන ශිල්පීන් අතරින් තරු ගුණය සපිරි ගායන තරුව රූකාන්ත ගුණතිලක. ඔහු තමයි ගායකයන්ට සුපිරි තරු වෙන්න පුළුවන් කියලා පෙන්නුවේ. ඒ වගේම තමයි ඔහු සංගීත ක්ෂේත්රයේ කළ පෙරළිය අපේ නිර්මාණවලටත් ලොකු බලපෑමක් කළා.
ජාත්‍යන්තර මට්ටමේ තරු භාතියට වීරයෝ වුණාද?
ජාත්‍යන්තර මට්ටමේ තරු හිටියා. මයිකල් ජැක්සන්, සෝනු නිගම්, හරිහරන් වගේ අයත් අපේ වීර චරිත තමයි. එයාලගෙන් අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. නමුත් අපි මියුසික් කරන්නේ ලංකාවට. එතකොට රට ඇතුළේ වීරයෝ තමයි අපි පරමාදර්ශ කරගන්නේ.
මිනිස්සු වීරයෝ හදාගන්නේ කොහොමද?
තමන් කැමති ප්‍රතිපත්තිවලට එකඟ වෙන, තමන් යන්න කැමති අරමුණු සහ ඉලක්ක කරා ගිය ඕනෑම කෙනෙක් මිනිස්සු වීරයා බවට පත් කරගන්නවා.
වීරයෝ මිනිස්සුන්ගේ ජීවිතවලට කොච්චර බලපෑමක් කරනවාද?
එයාලා ලොකු බලපෑමක් කරනවා. අඳීන පලඳීන,කන බොන හැසිරෙන විදිහ විතරක් නෙමෙයි වීර චරිතවලින් ගන්න දෘෂ්ටිවාදය තුළින් ජීවිතය ගොඩනඟා ගන්න බලපානවා. උදාහරණයක් විදිහට මම සහ සන්තුෂ් ආණ්ඩුවේ රැකියා කරපු මවුපියන්ගේ ළමයි. අපිට සංගීත ක්ෂේත්රයේත් යම් වෙනසක් කරලා ජාත්‍යන්තරයත් එක්කත් හැප්පෙමින් ගමනක් යන්න අපේ වීරයෝ අපේ ජීවිතයට බලපාලා තියෙනවා. ඕනේම කෙනෙකුට තමන්ගේ වීරයාගෙන් ලබාගන්න පුංචි දෙයක් ඇති තමන්ගේ ජීවිතය ලොකුවට වෙනස් කරගන්න.
භාතිය ජයකොඩිව වීරයා කරගත්ත අය මුණගැහිලා තියෙනවාද?
ඒ ගැන මම වැඩිය කතා කරන්න කැමති නැහැ. ඒ දැනෙන වීරත්වය ගැන දන්නේ ඒ අය.
භාතියට හිතෙන විදිහට වීරයෙක් වෙන්නේ කොහොමද?
මිනිස්සු සමාජයට යම් කිසි දෙයක් දෙන්නේ වීරයෝ වෙන්න හිතාගෙන නෙමෙයි. කෙනෙක් සමාජයට යම් දෙයක් දෙනකොට එයින් සමාජයට වෙන හානිය අවම කරලා සමාජයේ ප්රගමනය කාර්යක්ෂම කරන්න දෙයක් කරන්න පුළුවන් නම් ඒ කෙනාට වීරයෙක් වෙන්න පුළුවන්.
0 Comments