පාකිස්තාන මුල් පෙළින් ශතක 4ක්
සංචාරක ශ්‍රී ලංකා පිල හා පාකිස්තානය අතර කරච්චි ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය නිමාවන විට ශ්‍රී ලංකා පිල පරාජයෙන් බේරීමේ සටනක නිරතව සිටියි. ජයග්‍රහණය සඳහා ලකුණු 476ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා පිතිකරුවෝ 7ක් ලකුණු 212කට දැවීගොස් ඇති හෙයින් පාකිස්තාන වේග පන්දු යවන්නන්ගෙන් හෙට දිනයේ බේරී සිටීමට ඉතිරි ශ්‍රී ලංකා පිතිකරුවන් තිදෙනාට සිදුව තිබේ. ශ්‍රී ලංකාව තවත් කඩුලු 3ක් අතැතිව පාකිස්තානයට වඩා ලකුණු 264කින් පසුපසින් සිටී.නිරෝෂන් දික්වැල්ල
අද අවසන් දිනයේ ඕවර් 90ක් ඉතිරිව ඇති අතර ජයග්‍රහණය පිණිස ශ්‍රී ලංකා පිල එක් ඕවරයකට ලබාගත යුතු ලකුණු සාමාන්‍ය 2.93ක් වුවද පිතිකරුවන් සීමිතවීම ඉලක්කය ජයගැනීමට ප්‍රබල බාධාවකි.
පාකිස්තානය පළමු ඉනිමට ලකුණු 191ක් ලබාගත් අතර ශ්‍රී ලංකා පිතිකරුවෝ සියලු දෙනා පළමු ඉනිමේ ලකුණු 271කට දැවී ගියහ. ශ්‍රී ලංකාව පළමු ඉනිමේ ලකුණු 80ක් ඉදිරියෙන් සිටියදී පාකිස්තානය දෙවැනි ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 555ක් ලබා ඉනිම අත්හිටුවීය.
ශ්‍රී ලංකා ඉනිමේ එක් අන්තයක් ආරක්ෂා කරගෙන සටන්කාමී හුදකලා ඉනිමක් ගොඩනගමින් සිටින ආරම්භක පිතිකරු ඕෂධ ප්‍රනාන්දු තම ටෙස්ට් දිවියේ මංගල ටෙස්ට් ශතකය වාර්තා කොට කඩුල්ලේ රැදී සිටින අතර දිල්රුවන් පෙරේරා ඊයේ අවසන් පන්දුවේදී ලකුණු 5කට දැවී ගියේය. ඕෂධ මේ වාර්තා කළේ සිය මංගල ටෙස්ට් ශතකය වන අතර ඔහු මේ වසරේ පෙබරවාරියේ ටෙස්ට් වරම් දිනා තරග 4කදී ඉනිම 7කින් ශතකයක් හා අර්ධ ශතකයක් සමග ලකුණු 277ක් ලබා සිටී.
ඕෂධ ප්‍රනාන්දු හා නිරෝෂන් දික්වැල්ල 6වැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 104ක සම්බන්ධතාවෙන් යම් ජීවයක් ලබා සිටියද දික්වැල්ලගේ දැවී යෑමෙන් ශ්‍රී ලංකා පිල යළි අවධානමකට ලක් වූවේය.
දික්වැල්ල 14වැනි ටෙස්ට් අර්ධ ශතකය සම්පූර්ණ කරමින් සිටියදී දඟ පන්දු යවන හැරිස් සොහේල්ගේ පන්දුවකට ‘රිවර්ස් ස්වීප්’ පහරක් එල්ල කිරීමට ගොස් ලකුණු 65කට පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය. දික්වැල්ල මෙවැනි අවස්ථාවක එවැනි අවදානම් පහරකට ගියේ ඇයිද යන ප්‍රශ්නය මතු කරමින් සෙමින් සෙමින් ක්‍රීඩාගාරයට පියමැන්නේය.
පාකිස්තාන පිතිකරුවන් කරච්චි තණතිල්ලේ විශිෂ්ට ලෙස දෙවැනි ඉනිම දියත් කළද ශ්‍රී ලංකා මුල්පෙළේ හා මැද පෙළේ පිතිකරුවන්ගේ රිද්මය ගිලිහී ගොස් තිබිණි. ක්‍රීඩාගාරයේදී කරන ලද සැලසුම් ක්‍රීඩා පිටියතුළ වෙනස්වීම ශ්‍රී ලංකා පිලේ දක්නට ලැබුණු දුර්වලතාවකි.
ලකුණු රැස්කළ යුතු ප්‍රබල පිතිකරුවන්ගෙන් අවශ්‍ය සේවය නොළැඹීම හා පන්දු යවන්නන් කඩුලු බිඳහෙලාගත හැකි ආකාරයට ආක්‍රමණශීලී නොවීම ශ්‍රී ලංකා පිලට පීඩනයක් විය. කණ්ඩායමේ වැදගත්ම භූමිකාවක් හිමි අංක තුන පිතිකරු කුසල් මෙන්ඩිස් යළිත් අසාර්ථක වෙමින් ලකුණු බින්දුවකට දැවී ගිය අතර ඔහු පිට පිට අසාර්ථක වූ 7වැනි ටෙස්ට් ඉනිම විය. ඔහු අවසන් ඉනිම් හතේදී ලකුණු ලබාගත් ආකාරය වන්නේ 10, 32, 20, 10, 13 හා 0 වශයෙනි. පළමු ඉනිමේ අර්ධ ශතකයක් ලබාගත් දිනේෂ් චන්දිමාල් ලකුණු 2කට, ධනංජය ද සිල්වා ලකුණු බින්දුවකට හා ආරම්භක පිතිකරු නායක දිමුත් ලකුණු 16කට දැවී ගියහ.
මේ තරගයේදී සංවිධානාත්මක ප්‍රහාරයක නිරත වූ පාකිස්තාන මුල් පිතිකරුවන් සිවුදෙනා දෙවැනි ඉනිමේදී ශතක ලබා ගැනීම කැපී පෙණුනු අතර එය වාර්තා පොත අලුත් කිරීමක් ද විය. ආරම්භක පිතිකරු යුගලය වූ ෂාන් මෂූඩ් හා අබීඩ් අලී පිළිවෙලින් ලකුණු 135ක් හා 174ක් ලැබූ අතර මුල් ටෙස්ට් තරග දෙකකදී අලී පිට පිට ලබාගත් දෙවැනි ශතකය මෙය වේ. මේ දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 278ක සම්බන්ධතාවක් ගොඩනැගීම පාකිස්තාන ඉනිමට කදිම අත්තිවාරමක් විය. නායක අසාර් අලී ලකුණු 118ක් හා බාබර් අසාම් මේ තරගාවලියේ දෙවැනි ශතකය රැස්කරමින් නොදැවී ලකුණු 100ක් ලබා ගත්තේය.
වසර 2007දී ඉන්දියාව හා බංග්ලාදේශය අතර ඩකාහී පැවැති ටෙස්ට් තරගයේදී ඉන්දියාවේ මුල් පිතිකරුවන් සිවුදෙනකු මෙවැනි දස්කමක් දක්වා තිබේ. බංග්ලාදේශයට එරෙහිව දිනේෂ් කාර්තික්, රාහුල් ඩ්‍රාවිඩ්, සචින් තෙන්ඩුල්කාර් හා වසීම් ජවුෆර් මේ ආකාරයෙන් ශතක වාර්තා කළහ.
**********
රිවර්ස් ස්විප් ගහන්නේ විශ්වාසයකින්
දික්වැල්ල
“මම රිවර්ස් ස්විප් පහර එල්ල කළේ විශ්වාසයකින් යුතුවයි. එල්ල කළ හතරේ පහර 11න් හයක්ම මා ලබාගත්තේ රිවර්ස් ස්විප් පහර ගහලයි. දඟ පන්දු යවන්නන්ගේ පන්දුව කැපෙනවා. ඒ නිසා කෙළින් ගහන්න අමාරුයි. ඒ නිසයි රිවර්ස් ස්වීප් පහර ගහන්නේ” නිරෝෂන් දික්වාල්ල ඊයේ තරගය නිමාවීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.
දික්වැල්ල ලකුණු 65ක් ලබා තිබියදී දඟ පන්දු යවන අමීර් සොහේල්ගේ පන්දුවකට රිවර්ස් ස්විප් පහරක් එල්ල කිරීමට ගොස් දැවී ගියේය.
“අපේ සැලසුමක් තිබුණේ නෑ. පන්දුවට එන විදිහට පහර දීමයි සැලසුම වුණේ. අපේ පිතිකරුවන් දෙගිඩියාවෙන් පන්දුවට පහරදීම පීඩනයට හේතු වුණා. තරගය දිනනවාද? ජය පරාජයෙන් තොරව නිමා කරනවාද? යන ප්‍රශ්නය හිතේ තියාගෙන පහරදීම දැවී යෑමට හේතුවයි” දික්වැල්ල පැවැසීය.

0 Comments