ගංවතුරින් නිරන්තරව විපතට පත්වන ප්‍රදේශවල ජනතාවට ස්ථිරසාර විසදුම් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගන්නා පියවර අගය කරන බවත් ඒ සඳහා කොළඹ ගංගාරාම විහාරස්ථානය විශාල දායකත්වයක් ලබාදීමට කටයුතු කරන බවත් ගංගාරාමවාසී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ පැවැසූහ.
අස්සජි හිමියෝ එසේ ප්‍රකාශ කළේ පෙරේදා(24) ගංගාරාම විහාරස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.
අදාළ කටයුත්ත සඳහා මූල්‍යමය ආධාරයක් විහාරස්ථානය වෙනුවෙන් ජනාධිපතිවරයාට ලබාදෙන බවත් එමගින් අපදාවට පත්වූවන්ට සහන සැලසීම සඳහා ගිණුමක් ආරම්භ කරන ලෙසත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් එමගින් ජනතාවට මූල්‍යමය ආධාර අදාළ ගිණුමට භාරදිය හැකි බවත් අස්සජි හිමියෝ ප්‍රකාශ කළහ. එමෙන්ම විපතට පත්වූවන්ට නිවාස ඉදිකර දීමට කැමැති පුද්ගලයන්ට ඒ සඳහා අවස්ථාව ලබාදිය හැකි බවද පැවසූ අස්සජි හිමියෝ විපතට පත්වූවන්ට ලබාදිය යුතු සහයෝගය පිළිබද වැඩි විස්තර 2435169 හෝ 2327084 දුරකතන අංකයන්ගෙන් ලබා ගත හැකි බවද කීහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අස්සජි හිමියෝ-
මේ දිනවල රටේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් බොහෝ ප්‍රදේශ ගංවතුර උවදුරට ලක් වී තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර, පොළොන්නරුව ප්‍රදේශයේ සංචාරයක නියැලෙමින් ආපදා තත්ත්වයෙන් විපතට පත්වූ පුද්ගලයන් සමඟ සාකච්ඡා කරන අන්දම අප දුටුවා. මෙම ජනතාව ගංවතුරෙන් පීඩාවට පත්වන ප්‍රදේශයෙන් ඉවත්කර රජයෙන් ඉඩමක් ලබාදී නිවහනක් සාදා දීම පිළිබඳව ඔවුන් සමඟ සාකච්ඡා කර තිබෙනවා. ස්ථිර ආරක්ෂාරී පරිසරයක පදිංචියට යාමට ඉතා වැදගත්. මෙම ජනතාවට ස්ථිරසාර විසදුමක් ලබාදීම පිළිබඳව ජනාධිපතිතුමාගේ අවධානය යොමු වී තිබෙනවා. ඒ පිළිබඳව අප සතුටට පත්විය යුතුයි.
අප දීර්ඝ කාලයක සිට ගංවතුර උවදුරු පැමිණි විට තාවකාලික විසදුම් ලබා දීමට කටයුතු කළා. ඔවුන්ට ආහාරපාන, ඇදුම් පැළදුම්, ජල බෝතල් ලබා දුන්නා. නැවත ගංවතුරක් පැමිණි විට ඔවුන් පෙර විපතටම පත්වෙනවා.
ජාතික ආපදා අවස්ථාවන්හිදී ගංගාරාම විහාරස්ථානය පෙරට පැමිණ විපතට පත්වූවන්ට සහන ලබාදීමට කටයුතු කළා. සුනාමි අවස්ථාවේදී විපතට පත්වූවන්ට උදව් පදව් ලබා දුන්නා. මෙවැනි කටයුතු සඳහා ජිනරතන කාර්මික විද්‍යාලයේ තරුණ දරුවන්ගේ සහයෝගය, විහාරස්ථානයේ දායකයින්ගේ සහයෝගය ලබා ගන්නවා. මේ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවන් සහ පොලීසිය සම්බන්ධ කර ගන්නවා. විහාරාධිපතීන් වහන්සේ පොඩි හාමුදුරුවෝ අසනීපයෙන් පසුවුවත් මෙම අවස්ථාවේදී අප තීරණය කළා නිරන්තරයෙන් ගංවතුරෙන් පීඩාවට පත්වන පිරිස් එම විපතින් මුදවා ගැනීමට ජනාධිපතිතුමා කරන ස්ථිරසාර වැඩ පිළිවෙල සඳහා සහයෝගය ලබාදීමට. අද සවස ජනාධිපතුමා මුණගැසී ඒ සඳහා අවශ්‍ය මූල්‍යමය ආධාරයක් අප ලබා දෙනවා.
තමන්ගේ ගෙවල් කඩා ඉවත් කරන විට ඒවායින් ඉවත් කරන ජනෙල්, උළුලුවහු, ගඩොල්, සෙවිලි තහඩු සහ නිවාස සෑදීමට අවශ්‍ය වෙනත් බඩුබාහිරාදිය අපට ගෙනත් බාරදෙන ලෙස අප මේ අවස්ථාවේ රටේ ජනතාවගෙන් සහ අපේ දායකයන්ගෙන් ඉල්ලා සිටිනවා. බ්ලොක්ගල්, සිමෙන්ති, අලුත් සෙවිලි තහඩු සහ ඉහත ද්‍රව්‍ය මුත්තයියා ක්‍රීඩාංගනයේදී බාරදිය හැකියි. නිවාස සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය අවට ප්‍රදේශවල තිබෙනවා නම් වාහන යවා ඒවා ගෙන්වා ගන්න අපට පුළුවන්. නිවාස ඉදිකරන පළාත්වලට අප අමුද්‍රව්‍ය යැවීමට කටයුතු කරනවා.
අපදා තත්ත්වය වෙනුවෙන් වියලි ආහාර, පොත්පත්, සුදුසු ඇඳුම් පැළදුම් ,ජල බෝතල්, කොට්ට මෙට්ට, ඇදන්, මුදුරු දැල් මෙම විහාරස්ථානයට ගෙනවිත් බාරදිය හැකියි. රට වෙනුවෙන් අප යුතුකම් ඉෂ්ට කළ යුතුයි.
ඡායාරූපය- රංජිත් අසංක
0 Comments