Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහනුවර-සී.ආර් අපරාජිතයෝ නව වසරේ පළමු සතියේ ගැටෙති

Author(s): 
ෆවුස් මොහොමඩ්

වසර අවසානය වනවිට අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ අපරාජිත කණ්ඩායම් බවට පත්වෙමින් පෙරමුණ ගෙන සිටින පසුගිය වස‍රේ ශූරයන් වන මහනුවර ක්‍රීඩා සමාජය සහ සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර තීරණාත්මක තරගය ලබන වසරේ ජනවාරි මස 4 වැනිදා සී.ආර්.පිටියේදි පැවැත්වෙයි. රග්බි පිටියට නත්තල් නිවාඩුව ලැබෙන මොහොතේ අපරාජිතභාවය රැක ගැනීමට සමත්වූ මහනුවර සහ සී.ආර්.පිල අතර පැවැත්වෙන මේ තරගය දෙපිලටම එක ලෙස වැදගත් වෙයි.

මේ වසරේ අවසන් වරට පොලිස් ක්‍රීඩා සමාජය සමග තරග වැදුණු මහනුවර පිල ලකුණු 34-10කින් ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්වූ අතර යුද හමුදා පිල ලකුණු 33-10කින් පරදවා දෙවැනි තැන රැක ගැනීමට සී.ආර්.පිල සමත් විය. මෙවර ලීග් රග්බි කිරුළ හඹා යන කණ්ඩායම් අතර කැපී පෙනෙන කණ්ඩායමක් වන සී.ආර්.පිල එතෙක් මෙතෙක් ලීග් රග්බි ඉතිහාසයේ වැඩිම කුසලාන ප්‍රමාණයක් දිනා සිටින මහනුවර පිලට ප්‍රබල අභියෝගයක් බවට ද පත්වී සිටී.

මෙතෙක් පැවැති තරගවලදී වැඩිම උත්සාහක දිනුම්ලාභියා බවට පත්වී සිටින බුද්ධිම පියරත්න උත්සාහක දිනුම් 4කට හිමිකම් කියමින් මහනුවර පිලේ ප්‍රබලතම තුරුම්පුවක් බවට පත්වෙද්දි ඊට නොදෙවැනි දස්කම් පාමින් උත්සාහක දිනුම් 4කට හිමිකම් කියන ජනිඳු ඩිල්ෂාන් සී.ආර්.පිලේ ජයග්‍රහණ රැල්ලට විශිෂ්ට දායකත්වයක් ලබාදී තිබිණි.

දිලුක්ෂ දංගේ උත්සාහක දිනුම් 3ක් ද, ලවංග පෙරේරා සහ ජේසන් දිසානායක උත්සාහක දිනුම් 2 බැගින් ද තබමින් මහනුවර පිල ශක්තිමත් කළ අතර තිළිණ විජේසිංහ උත්සාහක දිනුම් 11ක් ගෝල බවට පත් කරමින් ද, දඬුවම් පහර 3ක් සාර්ථක කරමින් ද වැඩිම ලකුණුලාභින් අතර දෙවැනි තැන පසුවන අතර උත්සාහක දිනුම් 2කට ද හිමිකම් කියයි. එම ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටින සී.ආර්.පිලේ රීසා මුබාරක් උත්සාහක දිනුම් 12ක් ගෝල බවට පත් කිරීමට සමත්වූ අතර දඬුවම් පහර 8ක් ද සාර්ථක කිරීමට සමත්විය.

ජාතික තලයේ ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත මේ දෙපිල නව වසරේ ලීග් රග්බි පිටියේ පළමුවරට හමුවන්නේ එකිනෙකාගේ පරාජයේ ඉරණම තීන්දු කිරීමේ බලාපොරොත්තුව ඇතිවය.

නව වසරේ ලීග් රග්බි තරගාවලිය ආරම්භ වන්නේ 3 වැනිදා වැලිසර පැවැත්වෙන නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර තරගයෙනි. එදිනම පොලිස් ක්‍රීඩා සමාජය සහ සී.එච්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයත් පොලිස් පිටියේදි ගැටෙති. තරග 3ක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ තුන්වැනි තැන පසුවන හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය නව වසර අරඹන්නේ 4 වැනිදා යුද හමුදා ක්‍රීඩා සමාජය සමග තරග වදිමිනි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();