Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සපිරි ගමක් වැඩසටහනින් ගමත් නගරයත් අතර විෂමතා අවම වෙනවා

Author(s): 
අනුර ප්‍රේමලාල්

ගමේ සංවර්ධනයට ප්‍රමුඛතාවය ලබා දිය යුතු සංවර්ධන යෝජනා ග්‍රාමීය ප්‍රජා කමිටුවක් මගින් තීරණය කිරීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බවත්, ජනාධිපතිවරයාගේ මෙම නව වැඩපිළිවෙල සාර්ථක කරගැනීමට සියලුම ප්‍රාදේශීය දේශපාලඥයන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බවත්ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න ප්‍රකාශ කරයි.

ඒමහතා මෙම අදහස් පළ කළේ ඉකුත්දා(දෙසැ.23) පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සපිරි ගමක් වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීමේ සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදි වැඩිදුරටත් කතා කළ ඇමතිවරයා මෙසේද කීය:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රට හදන සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ග්‍රාමීය සංවර්ධනය තුළින් ප්‍රාදේශීය විෂමතා අවම කිරීමට අපේක්ෂිතයි.ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන ප්‍රථම සංවර්ධන ව්‍යාපෘතිය වන්නේ සපිරිගමක් වැඩසටහනයි.මේ වැඩසටහන මගින් සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාශයකටම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 20ක් ලබා දේ.ඒ අනුව දිවයිනේ ග්‍රාම නිලධාරී වසම් 14,022ක් සඳහා රුපියල් මිලියන 28,048 ක මුදලක් වෙන්කෙරෙනවා.

ගමත් නගරයත් එක හා සමානව සංවර්ධනය කිරීම තුළින් විෂමතාවය අවම කිරීමට තමයි රජය මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ.සපිරි ගමක් වැඩසටහනෙදි ගමට අවශ්‍යම සංවර්ධන ව්‍යාපෘති මොනවද කියලා හඳුනාගන්නේ ග්‍රාමීය ප්‍රජා මූල කමිටුවක් මගින්.මේ කමිටුවට ප්‍රාදේශීය දේශපාලඥයන්,ලියාපදිංචි සංවිධානවල ප්‍රජාමූල නායකයන්,ගමේ විදුහල්පති වැනි පිළිගත් නායකයන් වගේම,ගමේ රාජ්‍ය නිලධාරීන් වන ග්‍රාම නිලධාරියා,සමෘද්ධි නිලධාරියා,සංවර්ධන නිලධාරියා වැනි අය ඇතුළු වෙනවා.ඔවුන් සියලු දෙනා එකතුවෙලා සාකච්ඡා කරලා ගමේ සංවර්ධනය වෙනුවෙන් වෙන්කර තිබෙන ප්‍රතිපාදන වලින් වඩාත්ම අත්‍යවශ්‍යම සංවර්ධන ව්‍යාපෘති හඳුනාගෙන ප්‍රාදේශීය ලේකම්ට දැන්වීම තමයි සිදු කළ යුත්තේ.ප්‍රාදේශීය දේශපාලඥයන් තනිව සංවර්ධන යෝජනා තීරණය කිරීමට වඩා ගමේ සියලු දෙනාටම පිළිගත හැකි එකඟවිය හැකි සංවර්ධන ව්‍යපෘති මේ තුළින් ගමට ලැබෙනවා.ඒක නිසා රටක් ඉදිරියට යෑමට මෙවැනි යෝජනා වඩාත් ප්‍රායෝගිකයි.

සංවර්ධන ව්‍යාපෘති තෝරා ගැනීමේදී 2020 වර්ෂය තුළ අවසන් කළ හැකි ව්‍යාපෘති තෝරන්න.ඒ වගේම ඉඩම් සම්බන්ධව නෛතික ගැටලු ඇතිවන ව්‍යාපෘති වලට යන්න එපා. වනජීවී හෝ වන සංරක්ෂක වැනි ආයතන වලින් අවසර ගැනීමට වැඩි කාලයක් යන ව්‍යාපෘති තෝරාගැනීමත් සුදුසු නෑ.ව්‍යාපෘතියක අවම ඇස්තමේන්තුව ලක්ෂ 5යි.උපරිමය ලක්ෂ 20යි.මේ වැඩසටහන යටතේ ග්‍රාම නිලධාරී වසම් 4ක් එක්ව ගමකට යන ප්‍රධාන පාරක් හදන්නත් පුළුවන්.වැවක් හදන්න පුළුවන්.එතකොට එම කොට්ඨාශ 4 ම ප්‍රජා කමිටුවල එකඟතාවය ලබා ගත යුතුයි.

මේ වැඩසටහන නව රජයේ ග්‍රාමීය සංවර්ධනය ඉලක්ක කරගත් වැඩසටහනක්.එම නිසා එය ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධව දැනටමත් දිස්ත්‍රික් ලේකම්වරු ,ප්‍රාදේශීය ලේකම්වරු චක්‍රලේඛ මගින් දැනුවත් කර තිබෙනවා.මහජන නියෝජිතයන් දැනුවත් කර තිබෙනවා.රාජ්‍ය යාන්ත්‍රණය මේ වැඩසටහනට කාර්යක්ෂමව දායක විය යුතුයි.සෙනෙවිරත්න මහතා පැවැසීය.

මෙම අවස්ථාව සඳහා රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද,පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ලක්ෂ්මන්ප්‍රේමරත්න,පැල්මඩුල්ලප්‍ රාදේශීය ලේකම් බී.එස්.ජේ. රුවන්සිරි,ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාශයේ සහකාර අධ්‍යක්ෂ බුද්ධික දියගම යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගීවී සිටියහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();