දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහල මධ්‍යම පළාතෙන් ඉවත්කොට මධ්‍යම රජයට පවරන්නැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අැමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මධ්‍යම පළාත් සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කෙළේය.
සිය අමාත්‍යාංශය මඟින් රුපියල් ලක්ෂ 87 ක වියදමින් දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින් අැමැතිවරයා මෙම ඉල්ලීම කෙළේය.
දඹුල්ල රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට ද එක් වූ ඇමැතිවරයාට රෝහලේ සුළු සේවක සේවිකාවන් එක්ව වසර ගණනාවක සිට පවතින අඩුපාඩු සහ සේවක හිඟය පිළිබඳව පෙන්වා දීම විශේෂත්වයක් විය.
මෙම රෝහලේ සෑම වාට්ටුවකම එක ඇඳේ රෝගීන් දෙදෙනෙකුට වැඩිය නේවාසිකව ප්‍රතිකාර ගන්නා බවත් ඇතැම් අවස්ථාවන්හිදී එක ඇඳක දෙදෙනා සිටියදී එක් අයෙකු මිය යද්දී මළසිරුර සමඟම ඇතැම් විට එලිවෙනකන් අනිත් ලෙඩා ජීවත්වන බවත් රෝහල් සේවකයින් ඇමැතිවරයාට දැනුම් දීම විශේෂත්වයකි.
දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ කාන්තා ,පිරිමි සහ අලුත උපන් දරුවන් සිටින වාට්ටු ද මේ ආකාරයෙන් බරපතළ ලෙස ඉඩහසර නොමැතිවීමෙන් අපහසුතා පත්වන බවද සේවක හිඟය නිසා ඇතැම් සේවකයන් දින දෙක තුන එක දිගට සේවය කරන බවත් ඔවුහු අැමැතිවරයාට දැනුම් දීම සිදු කළහ.
මෙහිදී උත්සව සභාව ඇමතූ ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා කියා සිටියේ තමන්ද අසනීප වී දඹුල්ල රෝහලට රෝගියකු ලෙස ඇතුළත් කිරීමේ දී එහි පවතින අඩුපාඩු දැක මෙම හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීමට අවශ්‍ය පියවර ගත් බවයි.
තමන් දඹුල්ලේ මන්ත්‍රීවරයා බවට පත්වෙද්දී දඹුල්ල නගරයක් නොව ග්‍රාමීය ප්‍රදේශයක් බවත් එම තත්ත්වයෙන් මුදවාගෙන වර්තමානය වනවිට දඹුල්ල මහනගර සභා බල ප්‍රදේශයක් බවට පත්කළ බවද සඳහන් කෙළේය .දියුණු වෙද්දී මිනිසුන්ගේ මිනිසත්කම අමතක කර දමන බවත් මිනිසුන්ට මිනිසත්කම හුරු කරමින් නව වැඩපිළිවෙළක් රැගෙන යන බව අැමැතිවරයා සඳහන් කෙළේය .
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් රෝහල් බලධාරීන් මාතලේ දිස්ත්‍රික් රෝහල් බලධාරීන් මෙන්ම දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි ප්‍රදීප් දිසානායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
සීගිරිය විශේෂ
0 Comments