Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජීවිත දේපළ අහිමි කළ සුනාමියට වසර 15යි

ලොවම කම්පාකළ සුනාමි ඛේදවාචකයට අදට (26) වසර 15ක් සපිරෙයි. 2004 දෙසැම්බර් මස 26 වැනිදා ඉන්දීය හා ශාන්තිකර සාගරවලට මැදිව පිහිටි ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත ආසන්නයේ මුහුදු පතුලේ මෙරට වේලාවෙන් පෙරවරු 6.58ට සිදුවූ භූ කම්පනයේ විපාකයක් ලෙස එයින් පැය කිහිපයක් තුළ උදම් රළ පහර පැයට කිලෝමීටර 800ක පමණ වේගයෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 14ක මුහුදු තීරයට කඩාවැදී ලක්ෂ සංඛ්‍යාත ජීවිත ප්‍රමාණයක් අහිමි කළහ.

එම සුනාමියේ විනාශයේ නටබුන් දෙස බලා අදත් ඊට මුහුණදුන් ජනතාව සුසුම් හෙළති. මෙම සුනාමි රළ පහරෙන් ශ්‍රී ලාංකික 39,000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර, පුද්ගලයින් පන්දහසකට අධික පිරිසක් අදටත් අතුරුදන්ය. ශ්‍රී ලංකාවේ ඇතිවූ විශාලතම ස්වභාවික ආපදාව මෙය වන අතර, වෙරළබඩ ප්‍රදේශවලින් සියයට 85 කට අධික දේපළ අලාභයක්ද සිදුවිය.

මෙම සුනාමිය සිදුවන අවස්ථාවේ ලේක්හවුස් ආයතනයේ මාධ්‍යවේදීන් පිරිසක් යාල ජාතික ‍වනෝද්‍යානයේ පැවැති පාරිසරික මාධ්‍ය වැඩමුළුවකට සහභාගි වීමට යමින් සිටි අතර, ඔවුනට ඒ වැඩමුළුව පසෙකලා සිදුවූ මේ විනාශය බලා ඒ ගැන ලියන්නට සිදුවිය.

සිළුමිණ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් වූ නිහාල් පී. අබේසිංහ වරක් සුනාමිය පිළිබඳව තැබූ සටහනකදී සඳහන් කළේ “යාල වනෝද්‍යානයට ගිය අපට එහි යාල සෆාරි හෝටලය හා පටලන්ගල වනජීවී බංගලාව පිහිටි ප්‍රදේශය පුරා දැකගන්නට ලැබුණේ විදේශීය සංචාරකයන්ගේ මෘත ශරීරයන්ය. ගෘහ භාණ්ඩ රෙදිපිළි ඇතුළු එදිනෙදා පරිභෝජනය කරන දේවල්ය. මාගේ ජීවිතයේ මා දුටු කනගාටුදායකම දසුනයි.

වන උයනට යන්න යන්න තවත් භයානක තත්ත්වයක් විය. එදා අප යාල වන උයනේ දුටුවේ සෆාරි හෝටලයත්, පටලන්ගල වනජීවී බංගලාවත් සුනාමිය නිසා බිමට සමතලා වී තිබෙන අයුරුය. 200කට අධික විදෙස් සංචාරකයන් ජීවිතක්ෂයට පත්වී ඔවුන්ගේ සිරුරු තැනින් තැන විසිරී තිබෙන අයුරුය.”

මෙය ජනතාවගේ සිතින් මකා දැමිය නොහැකි සිතුවිල්ලක් බවට පත්විය. 15 වසරක් පුරා මේ සුනාමිය ගැන සිතා එයින් ගොඩඑන්නට වෙර දරන සමාජයක් තුළ මෙය යළිත් සිහියට නැ‍ඟෙමින් පවතී.

යාල වනෝද්‍යානයේ සිදුවීම ජාත්‍යන්තරය පුරා ඡායාරූප පුවත් රැසක් මවන තැනට පත්ව තිබිණි. සුනාමිය ඇති වූ මොහොතේ යාල විලේජ් හෝටලයේ සාමාන්‍යාධිකාරි බී. ආර්. මාලන් මෙන්ඩිස් මහතා කටයුතු කළ අතර, අද ඔහු වෙසෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙහි ය. ඔහු සිය අත්දැකීම් මාධ්‍යයට විවර කළේ මෙසේ ය.

“මම සුනාමිය ඇතිවනවිට යාල විලේජ්හි සාමාන්‍යාධිකාරි ලෙස සේවය කළේ මගේ කාර්යමණ්ඩලය කළමනාකරුවන් 13 දෙනෙකු සහ සේවක මඬුල්ල 131ක් වුණා. මේ හෝටලය කිරින්ද හන්දියේ සිට යාලට යන මාර්ගයේ මුහුදට මුහුණලා පිහිටා තිබුණු වැලි කන්දකට මුවාවී තිබුණා.

එදා මම උදේ 8.00ට පමණ කාර්යාලයේ සිටියදී මාගේ බාර්මන් කෝල්කරලා කිව්වා මුහුද ගොඩගලනවා පණ බේරගෙන දුවන්න කියලා. එතකොට වෙලාව 8.10ට විතර ඇති. මම එළියට බැහැලා බලනවිට සේවකයෝ මුහුද පැත්තට දුවනවා. මමත් දුවගෙන ගොස් අඩි 60ත් 70ත් උස වැලි කන්ද උඩට නැගලා බලනකොට කළුම කළු පාට රැල්ලක් භයානක හඬක් නගමින් අධික වේගයෙන් වෙරළ දෙසට එනවා. මම කෑ ගහලා මගේ පිරිස එතනින් හෝටලය දෙසට පැන්නුවා. ඒ රැල්ල වැලිකන්දේ වැදුනා. හෝටලයේ කාමර 61න් කාමර 8ක් විතර කඩාවැටුනා. හෝටලය දෙසට අපි දුවගෙන එනවිට උරහිස ළඟට වතුර පිරුණා. කොන්ක්‍රීට් කණුවල එල්ලිලා ජීවිතය බේරගත්තා.

වැලි කන්දෙන් පන්නලා හෝටලය දෙසට ආ සුනාමි ජල කඳ පැය 1 ½ ක් විතර හෝටල් භූමියේම තිබුණා. මේ මොහොතේ හෝටල් සේවකයන් 131ක් ද, කළමනාකරුවන් 13ක් හා සංචාරකයන් 126 දෙනකු හිටියත් ඒ කිසිවකුට කිසිදු හානියක් වුණේ නැහැ.

ඊට පස්සේ ඇවිද බලනවිට සෆාරි හෝටලයේ මරණයක් ඇති බව ආරංචිවුණා. ගිහින් බලනකොට එතන හෝටලය නෑ සම්පූර්ණයෙන්ම විනාශ වෙලා. මිටර් 15ක් විතර ඇතුළට යනවිට වයස අවුරුදු 20ක විතර ගැහැනු ළමයෙක් මියගොස් වැල්ලට යටවෙලා ඇස් ඇරුණු ගමන් හිටියා. මම ඒ දැරියගේ ඇස් වහලා යාඥා කරලා ගියා. වටපිට බලනකොට බෝට්ටු, වාහන එහෙම ගස්වල රැඳිලා. ඒ වෙලාව වනවිට සමහරු වටිනා බඩු එකතු කරනවා.

දිනකට පසු මිනී හොයන්න හමුදාව, නාවික හමුදාව ආවා. මම කළේ ඒ හැමෝටම වතුර දෙන එක විතරයි. ඉතිරි වූ සංචාරකයෝ පැය 24ක් තුළ පිටව ගියා. මිය ගිය සතුන් අතර හිටියේ මීහරක් හා සර්පයන් පමණයි. වෙන කිසිම සතෙක් මැරිලා හිටියේ නැහැ. මිනී සොයන්න මමත් මගේ කාර්යමණ්ඩලයත් දායක වුණා. හමුවුනු මිනී ටික තිස්සමහාරාම රෝහලට භාරදුන්නා. මේ මියගිය අය අතර යාල සෆාරි හෝටලයේ ප්‍රධාන සූපවේදි මහේන්ද්‍ර මෙන්ඩිස්ද හිටියා.

දවස් කිහිපයක් යනවිට මාධ්‍යවල මියගිය අයගේ නම් පළවුණා. ඒ නම් අතරින් එම්. මෙන්ඩිස් කියන නමත් තිබුණා. මේක දැකලා මගේ සහෝදරයන් හිතුවේ මම මැරුණා කියලා. මොකද මම මාලන් මෙන්ඩිස්නේ. නමුත් ඒ බව සනාථ කරගන්න දුරකථන වැඩ කළේත් නැහැ. කොහොමහරි 29 වැනිදා වනවිට දුරකථන යථා තත්ත්වයට පත්ව තිබුණා. එතකොට මගේ දෙවන සහෝදරයා රොබින් මෙන්ඩිස්. ඔහු එංගලන්තයේ ගල්ෆ් එයාර් හි වැඩ කළේ. එයා මගේ හෝටලයට කෝල්කරලා අහලා තියෙනවා මිස්ටර් මෙන්ඩිස්ගේ බොඩිඑක හම්බවුණාද කියලා. දුරකථනයට පිළිතුරු දුන් අය කිව්වා ඔව් මිනිය ඊයේ හම්බවුණා කියලා. එතකොට ඒ අයියා ඇහැව්වා ඔයාගේ හෝටල‍යේ ජී. ඇම්ගේ නම මොකක්ද කියලා. එතකොට ඔහු කිව්වා මාලන් මෙන්ඩිස් කියලා. එයාට කතාකරන්න පුළුවන්ද කියා ඇහැව්වාම පුළුවන් කියලා මට කෝල්එක දුන්නා.

මම මේ කතාකරන්නේ අයියා කියලා හඳුනාගත්තා. එහෙත් අයියට විශ්වාස නැහැ. එයා මගේ නම ඇහැව්වා. වයස ඇහැව්වා. උපන්දිනය ඇහැව්වා. ඊට පස්සේ එයා එක දිගට අඬන්න පටන්ගත්තා ඒ සතුටට. ඊටපස්සේ අයියා ඇහැව්වා මගෙන් මොනවාද කෙරෙන්න ඕනෑ කියලා. මේ හැමෝගෙම තත්ත්වය කිව්වාම පොල් හැර හැමදෙයක්ම ලැබුණා. ඒ බඩුටික ග්‍රාම නිලධාරි, විදුහල්පති, තැපැල් ස්ථානාධිපති ඉදිරියේ කිරින්දේ අනාථ වූ අයට බෙදා දුන්නා. මාගේ මේ සේවයට පොලිසියෙන් විශාල සහයක් ලැබුණා.

මේ ප්‍රදේශයේ හිටියේ හරිම දුප්පත් පිරිසක් ඉතිං. අපි ඒ අයගේ මිනී සමඟ තිබුණු වටිනා බඩුද හොයාගෙන පොලිසියට භාරදුන්නා. මේ අතර අපිට හමුවුණ පවුම් තුනක විතර මාලයක් එහි පෙන්ඩන් විදිහට හාර්ට් එකයි, ක්‍රිකට් පිත්තයි, නොදන්නා කොඩියකුත් තිබුණා. ඒ රත්‍රං බඩු ගැන ගොඩාක් අය කෝල් කරලා ඇහැව්වා. ඒ කිසිවෙකුට මෙහි ඇති දේ කියන්න බැරිවුණා. ඒ නිසා ඒ මාලය මා භාරයේ තිබුණා.

මේ අතර ගිවිසුමකට අස්සන් කරන්න මට කොළඹ ජෙට්වින් හෝටලයට ගියා. එහිදී සෆාරි හෝටලයේ ෆ්‍රන්ට් ඔෆීස් මැනේජර් විරාජ් කරුණාරත්නගේ මරණය ගැන කථාවෙලා ඒ අයගේ ගෙදර දුරකථන අංකය සොයාගෙන ඔහුගේ භාර්යාවට හා දරුවාට කථා කළා. භාර්යාව තනූජා කරුණාරත්නගෙන් ඇවිත් එයාගේ නැතිවූ දෙයක් තියෙනවා නම් කියන්න අපිට රත්‍රං බඩු ටිකක් ලැබිලා තියෙනවා කියා. එවිට ඇය කිව්වා මගේ මහත්තයා ළඟ රත්‍රං මාලයක් තිබුණා. එහි හාර්ට් පෙන්ඩන් එකත්, ක්‍රිකට් පිත්තත්, කොඩියත් පෙන්ඩන් විදිහට තිබුණා කියලා ඒ අනුව එම මාලයේ අයිතිකරු තහවුරු කරගෙන ඇයව දෙහිවලට ගෙන්වා මාලය භාරදුන්නා.”

ඒ සුනාමියේ කිය නොවුනු තවත් කථාවක් මේ වගේ කතා තවත් කොතරම් ඇත්ද. එදා මියගිය අය මිය ගියේ තම දරු මුනුපුරන් ඉතිරි කරමින් ඒ අයගේ ජීවිත අදත් මේ සුනාමිය ගැන සිතා කම්පා වනු නොඅනුමානය. මේ සියල්ලගේ ජීවිත ගොඩනගන්නට අප කටයුතු කළ යුතුය.

ටී. චන්ද්‍රසේකර

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();