ගෝඨාභයට තනිවම විවාදයට එන්න බැරිනම්
සජිත් ගලිගමුවේදී කියයි
ප්‍රධාන පක්ෂ දෙකෙහි ජනාධිපති අපේක්ෂකයන්ගේ දැක්ම පිළිබඳ ජනතාව දැනගත යුතු නිසා විවෘත විවාදයක් සඳහා තමා ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරාධනා කළ බවත් තමා සමග ප්‍රසිද්ධ විවාදයකට එන්න කශේරුකාවක් නැතිනම් මහින්ද රාජපක්ෂ අයියා හා පවුලමද ඔවුන් වටා සිටින හොරු හතලිහ සමග ආවත් තමා තනියම මුහුණ දීමට සූදානම් බවත් නව ප්‍රජාත්‍රන්තවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (27) කෑගල්ල ගලිගමුව නගරයේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක ජනරැලියක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා,
මගේ ප්‍රතිවාදියා කියනවා අරක කරනවා, මේක කරනවා කියා. රටේ ජනතාවගේ පැත්තෙන් බැලුවොත් මමයි මගේ ප්‍රතිවාදියායි ජනතාව ඉදිරියේ පොදු විවාදයකට එන්න මා සූදානම්. ඕනෑම ආකාරයක ස්වාධීන ආකාරයක විවාදයකට සජිත් ප්‍රේමදාස සූදානම්. දැන් පිට පිටම දින ගණනාවක් මම ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රකාශ කළා ඔබතුමාට කශේරුකාවක් තිබෙනවානම් කරුණාකර සජිත් ප්‍රේමදාසත් එක්ක විවෘත විවාදයකට එන්න. බොහෝ අපේක්ෂකයන් අනුන් ලියපු දේවල් වලට තමන්ගේ උප්පැන්න දාගන්නවා. මම විශ්වාස කරනවා මගේ ප්‍රතිවාදියත් ඒ වගේ කර තිබෙනවා. අඩුම තරමේ පක්ෂයේ ප්‍රතිපත්ති මාලාව පිළිබඳවත් අවබෝධයක් නෑ. ඒ හැමදෙයක් ගැනම බොහොම සුහදව, සීලාචාරව උගත් මානසිකත්වයෙන් සජීවීව මුළු රටටම පෙනෙන සේ විවාදයක් පවත්වන්න රණසිංහ ප්‍රේමදාසගේ පුතා සූදානම්.
මම ඉදිරිපත් කරපු අභියෝග වලට පිළිතුරක් නෑ. ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස මාධ්‍ය අසන ප්‍රශ්නවලට මගෙන් විතරක් අහන්නේ ඇයි කියන ප්‍රකාශ මගෙන් නම් අහන්න වෙන්නේ නෑ. නමුත් මගේ ප්‍රතිවාදියා එසේ පවසා තිබෙනවා. මම කියන්න කැමතියි ජනාධිපති අපේක්ෂකයා සෑම විෂයක් පිළිබඳ යම් මට්ටමක ආර්ථික, කෘෂිකාර්මික ප්‍රතිපත්ති පිළිබඳ දැනුමක් තිබිය යුතුයි. නමුත් මගේ ප්‍රතිවාදියාට එසේ දැක්මක් නෑ. මාත් සමග විවාදයකට එන්න බය නම් ජනාධිපති අයියවත් එක්කන් එන්න කියන්න, කතානායක අයියවයි, බැසිල් රාජපක්ෂවයි, නාමල් රාජපක්ෂවයි එක්කන් එන්න.
ඒත් බැරිනම් රාජපක්ෂ පවුල වටා සිටින හොරු 40ත් එක්කන් එන්න. නමුත් සජිත් ප්‍රේමදාස තනියම ඉදිරිපත් වන්නේ කියා ජනතාවට කියන්න කැමතියි. මට කොන්දක් තිබෙනවා. මට හයියක් තිබෙනවා මාගේ කකුල් දෙකෙන් සිටගන්න. මට කිහිලිකරු අවශ්‍ය නෑ. නමුත් මගේ ප්‍රතිවාදියාට කිහිලිකරු අවශ්‍යයි. මම ඔවුන්ගෙන ඉල්ලනවා රටේ ජනතාවට මේ ප්‍රධාන අපේක්ෂකයන්ගේ දැක්ම දැනගන්න අවස්ථාව දෙන්න කියා.
අසේල ලියනගේ
0 Comments