මේ වසරේ ජනවාරි මස සිට ජුනි මස දක්වා වූ මාස 06ක කාලය තුළ පමණක් මත්ස්‍ය හා මත්ස්‍ය ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පමණක් දේශීය ආර්ථිකයට රුපියල් මිලියන 28,806ක මුදලක් උපයාදීමට මෙරට ධීවර කාර්මිකයන් සමත්ව සිටී.
ඒ අනුව ගෙවුණු මුල් මාස 06 තුළ අපනයනය කර ඇති මත්ස්‍ය හා මත්ස්‍ය ආශ්‍රිත නිෂ්පාදන ප්‍රමාණය මෙට්‍රික් ටොන් 15,901කි. එමෙන්ම වත්මන් රජය බලයට පත්වී ගෙවුණු වසර හතරහමාරක කාලය තුළ මත්ස්‍ය අපනයනයෙන් පමණක් රටට අත් කර දී ඇති විදේශ විනිමය ප්‍රමාණය රුපියල් මිලියන 167,503කි.පැවති රජය සමයේ පැනවූ මත්ස්‍ය අපනයන තහනම හේතුවෙන් දේශීය ධීවර කර්මාන්තය බරපතළ තර්ජනයකට ලක් වී තිබුණි. ධීවර නිෂ්පාදන මිල පහත වැටීම නිසා ධීවර ජනතාව බරපතළ ආර්ථික ගැටලුවලට මුහුණ දෙමින් සිටි අතර, මේ නිසාම ඇතැම් පිරිස් ධීවර කර්මාන්තයෙන් ඉවත් වෙමින් සිටියහ.
2015 වසරේ බලයට පැමිණි වත්මන් රජය මත්ස්‍ය අපනයන තහනම ඉවත් කර ගැනීමත් සමඟ නැවතත් දේශීය ධීවර ජනතාව තුළ විශාල උනන්දුවක් ඇතිවීමත් සමඟ ධීවර කර්මාන්තය වෙනුවෙන් රජය විසින් ලබාදෙන සහන විශාල වශයෙන් වැඩි කිරීමට කටයුතු කිරීමත් සමඟ මත්ස්‍ය නිෂ්පාදනය විශාල වශයෙන් ඉහළ අගයක් ගනු ලැබීය. මේ නිසාම මෙවැනි විශාල විදේශ විනිමයක් ධීවර කර්මාන්තයෙන් රටට හිමි කර දීමට හැකි වූ බව ධීවර අමාත්‍යාංශය කියයි.
0 Comments