ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ ඊයේ දකුණු කොරියාවේ දී නිමාවට පත්වූ පළමු අදියරේ තරගාවලියේ පස්වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට ශ්‍රී ලංකා පිලට සිදුවිය. තරගාවලියේ පස්වැනි ස්ථානය සොයා ගැනීම සඳහා පිලිපීනය සමග තරග වැදුණු ශ්‍රී ලංකා පිල එහිදි ලකුණු 21-14ක ජයක් වාර්තා කළේය.
ශ්‍රී ලංකා පිල වෙනුවෙන් එම තරගයේදී රීසා රෆායිඩීන්, ජනිඳු ඩිල්ෂාන් සහ ශ්‍රීනාත් සූරියබණ්ඩාර උත්සාහක දිනුම් තැබූ අතර කෙවින් ඩික්සන් එම උත්සාහක දිනුම් 3ම ගෝල බවට පත් කළේය.
මේ තරගාවලියේදී ‘ඒ’ කාණ්ඩයෙන් තරග බිමට එක්වූ ශ්‍රී ලංකා පිලට මූලික වටයේ ජයගැනීමට හැකිවූයේ එක් තරගයක් පමණි. එබැවින් කුසලාන වටයට සුදුසුකම් නොලබා පළඟ ශූරතා අවසන් පූර්ව වටයට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා පිලට සිදුවූ අතර එහිදි චීන තායිපේ පිල ලකුණු 42-0කින් පරදවා පළඟ අවසන් තරගයට එක්වීමට ශ්‍රී ලංකා පිල සමත් විය.
ශ්‍රී ලංකාවට කුසලාන වටයේ දොරටු වැසී ගියේ පෙරේදා තරගාවලියේ පළමු දිනයේදී චීනය හමුවේ ලකුණු 14-17ක අනපේක්ෂිත පරාජයක් විඳ ගැනීමට සිදුවීමෙනි.
මේ අතර පිරිමි තරගාවලියට සමගාමීව පැවැති කාන්තා තරගාවලියේදී ශ්‍රී ලංකාවට හිමිවූවේ 6 වැනි ස්ථානයයි. පස්වැනි ස්ථානය සඳහා (පළඟ) පැවැති එම අවසන් තරගයේදී තායිලන්තය හමුවේ ලකුණු 32-5ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කාන්තා පිලට සිදුවිය.
පසුගිය වසරේ තරගමාලාවේ අදියර තුනේදීම තායිලන්තය පරදවා පස්වැනි ස්ථානය අත්කර ගත් ශ්‍රී ලංකා පිල මෙවර තරගමාලාවේ පළමු අදියරේදීම තායිලන්තය හමුවේ පරාජයට පත්වීම කැපී පෙනෙන සිදුවීමකි. මෙවර තරගාවලියේ ‘ඒ’ කාණ්ඩවයෙන් තරග බිමට එක්වූ ශ්‍රී ලංකා කාන්තා පිල මූලික වටයේදී හොංකොං පිලට සහ ජපානයට පරාජය වූ අතර ලකුණු 35-7කින් මැලේසියාව පරාජය කිරීමට සමත්වීම කැපී පෙනුණි.
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවවෝ පස්වැනි ස්ථානය සොයා ගැනීමේ අවසන් තරගයට එක්වූයේ ලකුණු 26-5කින් සිංගප්පූරුව පරාජය කරමිනි.

0 Comments