ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ගංගා ද්‍රෝණිය ලෙස සැලකෙන අනුරාධපුර මල්වතුඔය හරස්කර තන්තිරිමලයේ ඉදිකෙරෙන පහළ මල්වතුඔය ජලාශයේ ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) පෙරවරුවේ යෙදී තිබු සුබ මොහොතින් සිදු කෙරිණ. පහළ මල්වතුඔය ජලාශයේ ඉදිකිරීම් සඳහා රුපියල් කෝටි දෙසිය අනුදෙකක(292)පමණ මුදලක් වැය කෙරේ.
මෙම ජලාශයේ ඉදිකිරීම් කටයුතු 2023 වනවිට නිමකිරීමට සැලසුම් කර තිබේ. අක්කර අඩි එක්ලක්ෂ හැටනවදහස් හාරසියකින්(169400) යුත් මේ ජලාශයේ වැඩ නිමවීමෙන් පසුව වවුනියාව හා මන්නාරම් දිස්ත්‍රික්කවලටත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වයඹ ප්‍රදේශයටත් යල මහ දෙකන්නයේ වගාබිම් අක්කර 40000ක් පමණ සඳහා වාරි ජලය සැපයීමටත් අවස්තාව සැළසේ.
ඊට අමතරව අනුරාධපුර දිස්ත්‍රික්කයේ තන්තිරිමලය හා අවට ප්‍රදේශවල ග්‍රාමීය ජනතාව සඳහා පිරිසිදු පානීය ජලය සැපයීමටත් පියවර ගැණේ.
මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපුජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමි, අටමස්ථානාධිපති අතිපුජ්‍ය පල්ලේගම සිරිනිවාස, රුවන්වැලි චෛත්‍යරාමාධිපති අතිපුජ්‍ය පල්ලේගම හේමරතන, තන්තිරිමලය රජමහා විහාරයේ විහාරාධිපති අතිපුජ්‍ය තන්තිරිමලේ චන්ද්‍රරතන නාහිමිවරු ප්‍රමුඛ මහාසංඝරත්නයේ අනුශාසකත්වයෙන් පැවති මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන පී.හැරිසන්, රවි කරුණානායක, ගයන්ත කරුණාතිලක, ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර, හිටපු අමාත්‍යවරුන් වන රිෂාඩ් බදියුද්දින්, පාලිත රංගේ බණ්ඩාර මහත්ම මහත්මින් ඇතුළු මහජන නියෝජිතයින් හා රාජ්‍ය නිලධාරිහු රැසක් එක්ව සිටියහ.
අසේල ලියනගේ - අමිල ප්‍රභාත් වනසිංහ - අනුරාධපුර අතිරේක හා මිහින්තලේ විශේෂ
0 Comments