ශ්‍රී ලාංකේය විදේශ රැකියා ක්ෂේත්‍රයට සිංගප්පූරුවේ උපස්ථායක තනතුර සඳහා ඉහළ වැටුප් සහිත රැකියා අවස්ථා හිමිව තිබේ.
ඒ සඳහා ශ්‍රී ලාංකේයන් බඳවා ගැනීම සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමට ශ්‍රී ලංකාව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ සිංගප්පූරුවේ රැකියා සපයන ආයතන වන හෝම්කීපර් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම හා ආරියා ට්‍රේනින්ං ඇන්ඩ් කන්සල්ටන්සි පෞද්ගලික සමාගම අත්සන් තැබූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
සිංගප්පූරුවේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ එරට වැඩබලන ශ්‍රී ලංකා මහ කොමසාරිස් අමීර් අජ්වාඩ් මහතා ඉදිරියේදී මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කෙරිණි.
බඳවා ගැනීමේ සැලැස්මකට අනුව රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් යොමු කරන අතර අදාළ අවබෝධතා ගිවිසුමට අනුව නුපුහුණු සහ අර්ධ පුහුණු කාන්ඩය යටතේ විගමනික ශ්‍රමිකයෝ බඳවාගෙන විශේෂ පුහුණුවකින් පසු දින 30ක් වැනි කෙටි කාලයක් ඇතුළත රැකියා අවස්ථා ලබා දෙන බවද සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ඒ.ඒ.එම් හිල්මි මහතා පසුගිය ජනවාරි මාසයේ සිංගප්පූරුවේ කළ සංචාරයක් අතරතුර සිංගප්පූරුවේ රැකියා දෙන සමාගම් සමඟ සිදුකළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් මේ රැකියා අවස්ථා ශ්‍රී ලංකාවට හිමිව තිබේ.

0 Comments