Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බදියුදීන් ගැනත් හිස්බුල්ලා ගැනත් තේරීම් කාරක සභාවේදී විමසීම් කරනවා

Author(s): 
කමනි අල්විස්

ෂරීයා විශ්වවිද්‍යාලය පිටු දැකීමේ අපේ යෝජනාව යථාර්ථයක් වී තිබෙනවා 
- මන්ත්‍රී කාවින්ද ජයවර්ධන

සියලු පක්ෂ නියෝජනයකින් සමන්විත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට විශේෂ යෝජනාවක් ඉදිරිපත් කරමින් රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා ගැන පමණක් නොව හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා සම්බන්ධවත් තේරීම් කාරක සභාවේදී අදාළ සියලුම පාර්ශ්ව ගෙන්වා විමසීම් කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කෙළේ අරලියගහ මන්දිරයේ ඊයේ (23) පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.

තේරීම් කාරක සභාව තුළින් ඕනෑම තරාතිරමක උදවිය ගෙන්වා ප්‍රශ්න කිරීම සිදු කළ හැකිය. රිෂාඩ් ඇමැතිවරයාට එරෙහිව පවතින චෝදනා සියල්ල ප්‍රශ්න කර ඊට අදාළ ආයතනවල සියල්ලන්ම කැඳවා විමසීම් සිදු කර වැරදිකරු නම් රිෂාඩ්ට එරෙහිව දඬුවම් ලබාදීමට මේ නිසා හැකි වෙයි. සැබෑ සත්‍යය ජනගත කර ජනතාවට නිවැරැදි තතු පැහැදිලි කරදීමට අවස්ථාව සැලසෙන බව පැවසූ මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා රිෂාඩ් ඇමැතිවරයා නිවැරැදිකරු වුවහොත් ඒ සම්බන්ධව තීන්දු ගත යුතු බවත් අවධාරණය කෙළේය. හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා පිළිබඳව ප්‍රශ්න රැසක් තමන් ඇතුළු මන්ත්‍රීවරු සතුව පවතින බවත් මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

විශ්වාසභංගයක් මඟින් සිදු වන්නේ සත්‍යය යටපත් වී පාර්ලිමේන්තුව තුළ මඩ ගැසීම් ඕපා දූප කියා ගනිමින් පාර්ලිමේන්තු සම්ප්‍රදායට මුවා වී අසත්‍ය පතුරවා හැරීම බවත් සිහිපත් කර දෙන මන්ත්‍රීවරයා සිදුවීමට අදාළව ජනතාවට සත්‍ය අවබෝධ කිරීමට නොහැකි වන බවත් කීය. විශ්වාසභංගය රඟපෑමක් නාට්‍යයක් බවට අද පත් වී තිබෙන බව සඳහන් කරන මන්ත්‍රීවරයා අතීතයේ දී විශ්වාසභංග තුළින් ඉතා හොඳ ප්‍රතිඵල ලැබුණ බවත් සිහිපත් කෙළේය.

බදියුදීන් ඇමැතිවරයාට පමණක් චෝදනා කරන්නවුන් ,හිස්බුල්ලා ආණ්ඩුකාරවරයාට චෝදනා නොකිරීම විමතියක් බවත් හෙක්ටර් අප්පුහාමි, දොස්තර කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරු දෙපළ මෙහිදී තරයේම ප්‍රකාශ කළහ.

මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි සහ මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහත්වරු ඊයේ (23) අරලියගහ මන්දිරයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවේදී මේ බව පැවසූහ. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා මෙසේද ප්‍රකාශ කෙළේය.

විශ්වාසභංගය ගෙන එන්නේ අවස්ථාවාදී දේශපාලනයටයි. කණ්ඩායම් බෙදී වෙන් වී තමාගේ සුර සැප උදෙසා විශ්වාසභංගය නාඩගමක් ලෙස රඟදක්වන්නට යනවා.

තේරීම් කාරක සභාව තුළින් රටට හෙළිවෙන සත්‍ය වසන් කර ගැනීම විශ්වාසභංගයේ අරමුණයි.

රට ජනතාව යන තේමාව යටතේ ත්‍රස්තවාදී උවදුරෙන් මිය ගිය රෝගී වුණ සැම වෙනුවෙන් මේ රටේ අනාගතය සුරැකීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවනවා. දිවි පරදුවට තබා ඒ වෙනුවෙන් සටන් කරනවා. දේශපාලනයට තිත තබමින් මේ අවස්ථාවේදී රට ඉදිරියට ගෙනයෑමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසට යෝජනා දහයක් ඇතුළත් ලිඛිත සටහන ජනපති, අගමැති, විපක්ෂ නායක, ටී.එන්.ඒ. නායක ඇතුළු සියලුම ආගමික නායකයන්ට ලබා දුන්නා.

මෙහිදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අප පමණක් නොව සමස්ත ජනතාව කෘතවේදීත්වය පුද කළ යුතුයි. ෂරියා විශ්වවිද්‍යාල අහෝසි කිරීමට මඩකළපුවේ ෂරියා විශ්වවිද්‍යාලය රජයට පවරා ගැනීම මදාසා පාසල් ඇතුළු පාසල් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පවරා ගැනීම සහ ඉදිරියේ අරඹන පාසල් පොදු පාසල් බවට පත් කිරීමට අගමැතිවරයා පියවර ගත්තා. අපේ අගමැතිතුමා එවකට අධ්‍යාපන ඇමැති ලෙස මෙරට අධ්‍යාපනයට කළ සේවාව ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි.

සිංහල, දෙමළ, ඉංග්‍රීසි හැර වෙන කිසිම භාෂාවක් ඇතුළත් පුවරු මේ රට තුළ ප්‍රදර්ශනය කළ නොහැකි බවටත් තීරණ ගත්තා.

මඩකළපුව සෞදි අරාබියක් බවට පත් කිරීමට යම් පිරිසක් සිදු කරගෙන ගිය යටිකූට්ටු වැඩපිළිවෙළක් අගමැතිතුමා නතර කළා. රට ඉඳි ගස් රෝපණය කර සෞදි අරාබිය ලෙස ගොඩනැඟිලි ඉදිකිරීමට ඉඩ නොදී මුළු රටම ශ්‍රී ලංකාව ලෙස පත් කර ගන්නා ලෙස පළාත් පාලන ඇමැතිතුමාට අප දැනුම් දෙනවා. බේරුවලත් මුස්ලිම් ජනතාව අධිකව වෙසෙනවා. ඔවුන් එම ප්‍රදේශය සෞදි අරාබියක් නොකර මිත්‍රශීලීව සියලු ජාතීන් සමඟ එක්ව ශ්‍රී ලාංකිකයින් ලෙස දිවි ගෙවනවා.

නිවරැදි දේ ජනප්‍රිය නොවෙයි. වැරදි දේ ජනප්‍රිය වීම සාමාන්‍ය සිරිතයි. නමුත් ජනතාව හරි දේ වෙනුවෙන් පෙළ ගැසිය යුතුයි. මේ රටේ සියලුම ජාතීන් එකට එක්ව සාමයෙන් ක්‍රියා කරනවා. රටේ බහුතරය සිංහල බෞද්ධයෝ ‍අපේ ආණ්ඩුවට මඩ ගසා කකුලෙන් අදිනවා.

ආණ්ඩු වෙනස් කරමින් ඇතිවුණ සිදුවීමට හේතු සෙවීම වෙනස් කළ නොහැකියි. ත්‍රස්තවාදීන්ට කවුද උපකාර කෙළේ, කවුද ත්‍රස්තවාදය නැවත ඇති නොවීමට ගත යුතු පියවර. මේ සෑම ක්‍රමවේදයකට කළ යුතුයි. රටට ජාතියට ලෙන්ගතු නම් රටට හිතකර ලෙස සැවොම එක්ව ක්‍රියා කළ යුතුයි. සියලුම දෙනා එකට එක්වී එකම පිරිසක් ලෙසින් ක්‍රියා කරමින් රටේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට ක්‍රියා කළ යුතුයි.

ආණ්ඩු සමඟ බද්ධව විශාල වැඩපිළිවෙළක් ඉදිරියේදී ගෙන එනවා. අගමැතිතුමා හොඳින් ඇහුම්කන් දෙමින් රට සංවර්ධනයට ජනතාවගේ සුබ සිද්ධියට ක්‍රියා කරනවා. සිදු වුණ අඩු පාඩු නිවැරැදි කරගෙන ඉදිරි වැඩකටයුතු වල යෙදීමට එතුමා කටයුතු කරනවා. අපේ අගමැතිතුමා සමඟ එකට එක්ව අපි ක්‍රියා කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා-

ආණ්ඩුවේ වගකියන පක්ෂයක් ලෙස රට වෙනුවෙන් දැවැන්ත ක්‍රියාමාර්ග ගන්නවා. අප ඉදිරිපත් කළ යෝජනා මාලාවට සුබවාදී ප්‍රතිචාර අගමැතිතුමාගෙන් ලැබුණා. ෂරීයා විශ්වවිද්‍යාලය පිටු දැකීමේ අපේ යෝජනාව යථාර්ථයක් බවට පත් කිරීමට අගමැතිතුමා ක්‍රියාත්මක වුණා.

අදාළ ෂරියා විශ්වවිද්‍යාලය ආරම්භය එයට මුදල් පැමිණීම ඒවා පසු පස සිටි උදවිය, ඉඩම් ලැබුණ ආකාරය සමඟ වසර 2013ක් ආණ්ඩුව සමඟ ගිවිසුම් ගතවීම, එම රජයේ සම්බන්ධ වුණ ඇමැතිවරු හිරා පදනම සම්බන්ධ වීම, මෙම විශ්වවිද්‍යාලයේ පරමාර්ථ ඇතුළු විස්තර රැසක් අප සතුයි. සියල්ලම විමර්ශන වලින් පසුව ජනගත කරනවා.

නැඟෙනහිර පළාතේ සෞදි අරාබියේ වහාබ් සම්ප්‍රදාය ගොඩනැඟෙනවා. බුර්කාව ඉවත් කළා. මේ සියල්ලටම අදාළ නීති සකසා පියවර ගන්නවා. අන්තවාදී ක්‍රියා පිටුදැකීමට අගමැතිතුමා ගත් පියවරට ස්තූතියි. අපි එකම රටක වැසියෝ. දේශපාලන පක්ෂ ආගම් මූලික කරගෙන පාසල් තියෙන්නට බෑ. අගමැතිතුමාගේ සාර්ථක ක්‍රියා කලාප දිනෙන් දිනම ඉදිරියට ගමන් කරනවා. ජේ.වී.පී. විශ්වාසභංගය අපි ජය ගන්නවා. මොන චේතනාවක් හිතේ දරාගෙන ද මෙම විශ්වාසභංගය ගේන්නේ. මහින්ද, විමල්, අනුර යන කවුරුත් අගමැති කරන්නද?. මොකක්ද පත් කරන ආණ්ඩුව විමල් කිව්වා රතු අලි විශ්වාසභංගය ගේනවා කියලා. එය එසේ නොවෙයි රතු පොහොට්ටුව විශ්වාසභංගය ගේන ලෙස නිවැරැදි විය යුතුයි.

තේරීම් කාරක සභාවේ මමත් සාමාජිකයෙක්. මේ අවස්ථාවේ සුදුසුම දෙය තේරීම් කාරක සභාවකින් වැරැදිකරුවන් කවුද?. සිදු වුණේ කුමක්ද? යන සත්‍යය ජනතාවට දැන ගැනීමට සැලැස්වීමයි.

හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා ගැන කතා නොකරන්නේ ඔහුගේ බිරියට පාසල් තියෙන හින්දාද. හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා සහරාන් සමඟ ඡායාරූපවලට පෙනී සිටි අයෙක්. කාතන්කුඩියේ මුස්ලිම් ජනතාවට ඔහු භයානක ප්‍රකාශ කර තිබෙන බව වීඩියෝ පට වලින් අනාවරණය වෙනවා. විනිසුරුවරයකු බලෙන් මාරු කරමින් හින්දු කෝවිලක් සමතලා කළ බවටත් විද්‍යුත් මාධ්‍ය සාකච්ඡාවකදී කෙනකු පැවසුවා.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න හා ඒවාට මන්ත්‍රීවරු ලබාදුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය : නිරෝෂන් පෙරේරා මන්ත්‍රීවරයා බදියුදීන් ඇමැතිවරයා ගැන දරන ස්ථාවරය වෙනස්ද?.

පිළිතුර : ඕනෑම අයකුට පෞද්ගලිකව මත ඉදිරිපත් කළ හැකියි. තේරීම් කාරක සභාවකින් ඇමැති රිෂාඩ් පමණක් නොව ඉන් ඔබ්බට සිටින අයගේත් නිරුවත හෙළි වෙනවා. විශ්වාසභංගය තුළින් සිදු වන්නේ කෝටි ගණන් මුදල් නාස්ති වීමයි. ජනතාවට සත්‍ය දැනගැනීමට නොහැකි.

ප්‍රශ්නය : ඤාණසාර හිමි නිදහස් කිරීම පිළිබඳ පක්ෂයේ ස්ථාවරය කුමක්ද?.

පිළිතුර : පක්ෂයේ ස්ථාවරය අපිට කීමට නොහැකියි. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා මැදිහත්ව තිබෙනවා.

ප්‍රශ්නය : රිෂාඩ් ඇමැතිවරයා පිළිබඳව ජනතාවට බියක් තිබෙනවා නේද?.

පිළිතුර: රිෂාඩ් ඇමැතිවරයා පමණක් නොව හිස්බුල්ලා ආණ්ඩුකාරයා ගැනත් ජනතාවට බියක් තියෙනවා.


ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයට එක්වන ලෙස බදියුදීන් අැමැතිවරයාට ආරාධනා ලැබී තිබෙනවා
- මන්ත්‍රී කාවින්ද

ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂය සමඟ එක්වන ලෙසට රිෂාඩ් බදියුදීන් අැමැතිවරයාට විපක්ෂයෙන් ආරාධනා ලැබෙන බව පක්ෂයේ කණ්ඩායම් රැස්වීමේදී ඇමැතිවරයා පැවසූ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා පැවසීය.

එම ප්‍රකාශය සනාථ කරමින් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවසුවේ රිෂාඩ් ඇමැතිවරයා බෙදාගැනීමට දුරකථනයෙන් ඒ මහතාට කථා කරන උදවියක් සිටින බවයි.

මුස්ලිම් ඇමතිවරුන් රට වෙනුවෙන් දැවැන්ත වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැරසෙන බව ප්‍රශංසා සහගතව පැවසූ මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා මරික්කාර් මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවට පෞද්ගලික යෝජනාවක් ගෙන එමින් පාස්කු සිදුවීමට අදාළව වැරදිකරුවන් වන අයවලුන් එල්ලුම්ගහට නියම කළ යුතු බවට ප්‍රකාශ කළ බවත් සඳහන් කෙළේය.

අරලියගහ මන්දිරයේ ඊයේ (23) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී මන්ත්‍රීවරයා මේ බව පැවසූහ.

කමනි අල්විස්

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();