Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකාවාසීන් සහජීවනය පෙරදැරිව වෙසක් උත්සවය සැමරීම අගය කරනවා

පාස්කු ඉරිදා කතෝලික දේවස්ථාන කීපයක් ඇතුළු ප්‍රධාන හෝටල් කීපයකට එල්ලවූ අන්තවාදී බෝම්බ ප්‍රහාර මාලාව නිසා මෙවර වෙසක් උත්සවය ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ගමේ විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් සංයමයෙන් යුතුව සැමරීම පිළිබඳව සමස්ත ජනතාවට තමාගේ ප්‍රණාමය පුදකරන බව බුද්ධශාසන හා වයඹ සංවර්ධන ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනය මෙසේද දැක්වේ.

ලෝක බෞද්ධයන් සෑම වසරකම වෙසක් පොහෝ දින ආමිස හා ප්‍රත්පත්ති පූජාවෙන් සමරන්නේ ලොව්තුරු බුදුරදුන්ගේ උපත, සම්මා සම්බුද්ධත්වය සහ මහා පරිනිර්වානය යන අතිශ්‍රේෂ්ඨ සිදුවීම් තුන මෙදින සිදුවූ බැවිනි.

පසුගිය අප්‍රේල් 21 වැනි දින ශ්‍රි ලංකා ද්වීපය තුළ සිදුවූ රුදුරු අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයේ බියජනක ඡායාවන්ගෙන් පීඩිතව සිටින සමස්ත ලංකාවාසීන්ට චිත්ත ශාන්තිය උදාකිරීමට කටයුතු කරන ලෙසත් වෙසක් පොහොය දිනය සැමරීමේදී අධ්‍යාත්මික සුපෝෂණය උදෙසා ප්‍රමුඛත්වය ලබාදෙමින් ජනතාව ඒකරාශී කරන බාහිර සැණකෙළි හා උත්සව ආදියෙන් වැළකී කටයුතු කරන ලෙසත්, ත්‍රෛනිකායික අතිගෞරවාර්ග මහානායක හිමිවරු ඒකාබද්ධ නිවේදනයක් මගින් ඉල්ලා සිටිනු ලැබූහ.

එහෙයින් බුද්ධශාසන විෂයභාර අමාත්‍යවරයා ලෙස මා සමස්ත ලංකාවාසී ජනතාවගෙන් ඉල්ලා සිටියේ මෙවර වෙසක් උත්සවය ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ගමේ විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන බුදුන්වහන්සේ දේශනා කළ අයුරින් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් පන්නරය ලබන යහගුණයෙන් පිරි සමාජයක් ගොඩනැංවීමේ මහා අධ්‍යාත්මික ප්‍රවේශයක් බවට පත්කර ගනිමින් කටයුතු කරන ලෙසයි.

බෞද්ධ හා අබෞද්ධ ලංකාවාසී ජනතාව එක්ව සහජීවනය පෙරදැරිව මෙවර වෙසක් උත්සවය සංයමයකින් යුතුව සමරනු ලැබීය. වෙනදාට වඩා සෑම ගමක් පාසාම විහාරස්ථානවල බෞද්ධ ජනතාවගෙන් පිරී ඉතිරි ගොස් තිබුණි. නගර, මංමාවත් බෞද්ධ කොඩි, පහන් කූඩු, විදුලි බුබුළු හා පහන් ආලෝකයෙන් අලංකාර විය. තරුණ ප්‍රජාවන්ගේ උනන්දුව කැපවීම මා විශේෂයෙන් අගය කරනවා.

මුළු ලෝකයම මවිතයට පත්කරමින්, ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් පැවති මෙවර වෙසක් අසිරිය සෑම වෙසක් හා පොසොන් පෙහෝ දිනකම පිළිබිඹු වන අයුරින් ඉදිරියේදීත්, සමරන ලෙස ශ්‍රි ලංකාවාසී ජනතාවගෙන් මා නැවතත් ඉල්ලා සිටින අතර ශ්‍රි බු.ව 2563 වෙසක් උතසවය ඉතා අර්ථවත් ලෙස සැමරූ සමස්ත ශ්‍රි ලංකාවාසී ඔබ සැමට මාගේ ප්‍රණාමය පුදකර සිටිමි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();