ත‍්‍රස්තවාදය පරාජය කිරීමට රණවිරුවන් කළ කැපවීම හා විශිෂ්ට මානවීය ගුණය සදා අමරණීය බව මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ත්‍රිවිධ හමුදාවේ 26,000ක් ජීවිත පුජා කර නිදහස ලබාදුන් රට ඉදිරියට ගෙන යාම සැමගේ වගකීමක් බවත් නැවත ලේ කඳුළු යුගයක් ඇති නොවන්න වගබලා ගැනීම සියලුදෙනා සතු වගකීමක් බවත් රණවක මහතා පෙන්වා දුන්නේය.
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ අදහස් පළකර සිටියේ, විජයග‍්‍රහණයේ දසවසර සමරමින් පනාගොඩ ශ‍්‍රී ලංකා යුද හමුදා කඳවුරේ පෙරේදා (22) පැවති රණවිරු පුණ්‍යානුමෝදනා වැඩසටහනකට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසීය.
අපේ ඉතිහාසයේ මැයි 18 වැනි දින සුවිශේෂී දිනයක්. දශක ගණනාවක් අප විසින් බියෙන් සැකෙන් දුක්විඳි යුගයක් නිමාකළ දිනය එදයි. ඒ දුක්විඳි යුගය තවත් අයෙකුට උරුම කර නොදී, මේ මහපොළවේ යහතින් ජීවත්වන්නට අපගේ ආරක්‍ෂක අංශවල, විශේෂයෙන්ම ශ‍්‍රී ලංකා යුද හමුදාව ඇතුළුව ති‍්‍රවිධ හමුදාවේ 26,000 කට අධික පිරිසක් තමන්ගේ ජීවිත පරිත්‍යාග කළා. තවත් පිරිසකට දෑසින් මේ ලොව දකින්නට, මතු පරම්පරාවලට දෙපයින් මේ පොළවේ ඇවිද යන්නට, දෑතින් වැඩහසර කර ගන්නට තමන්ගේ දෑස්, දෙපා, දෙඅත් පරිත්‍යාග කළ දාහත්දහසකට අධික පිරිසක් අප අතර ජීවත්වන බව අපි මතක තබා ගත යුතුයි. අපේ සතුරනුත් නිරන්තරයෙන් අපට කීවේ අපි ඉතා ඉක්මනින් අමතක වන ජාතියක් කියලා.
මේ අවස්ථාවේදී අපි නැවත නැවතත් ඒ දුෂ්කර සමය, ඒ දුෂ්කර කාලය සිහිපත් කරමින් අපගේ දූදරුවන්ට, අපගේ මතු පරම්පරාවට නැවතත් එවැනි ලේ කඳුලින් පිරීගිය යුගයක් ඇති නොවන්නට අධිෂ්ඨාන කරගෙන කි‍්‍රයා කළයුතු වෙනවා. ත‍්‍රස්තවාදී කි‍්‍රයාවලියක් ආරක්‍ෂක අංශවලට පමණක්, අවි ආයුධ බලයට පමණක් පරාජය කරන්න බැහැ. ඒ සඳහා විධිමත් දේශපාලන නායකත්වයක්, ඒ වගේම ජනතාවගේ සුවිශේෂී සහයෝගයක්, ශක්තියක් අවශ්‍යයි. ඒ වගේම ඒ සඳහා ක්‍රියා කරන්න රටකට මනා ආර්ථික ශක්තියක් අවශ්‍යයි. එදා දුටු ගැමුණු මහරජතුමා ඒ අවස්ථාවේදී රට බේරා ගන්න යන්න ප‍්‍රථම රටේ ආර්ථිකය ගොඩනැගීම තමන්ගේ මලනුවන්ට පවරලා රටේ ආර්ථිකය ඒ සටනට අවශ්‍ය කරන ආකාරයට ශක්තිමත් කළා. ඒ වගේම ගෞරවනීය මහා රහතන් වහන්සේලා 500 නමක් රටේ ජනතාවගේ සහයෝගය, මතවාදය, ශක්තිය එතුමාට ලබාදුන්නා. ඒ වගේ පසුගිය අවස්ථාවේදී ඒ සටන ජය ගැනීමට ඒ කරුණු සියල්ලම වැදගත් විදිහට අපට උපකාර වුණා. තවමත් අපට ඇතැම් විදේශ රටවල්, ඇතැම් විදේශ ජනමාධ්‍ය අප විසින් මේ ජයග‍්‍රහණය කළ මේ මහා ත‍්‍රස්ත විරෝධි අරගලය, එහි තිබෙන ඒ විජයග‍්‍රහණයේ ශක්තිය කැළැල් කරන්නට නොයෙක් දෑ කළත්, අපගේ රණවිරුවන් කළ කැපවීමත්, විශේෂයෙන්ම සටන ජයග‍්‍රහණය කිරීමෙන් පස්සේ ඔවුන්ගේ හැසිරීමේ තිබුණු විශිෂ්ට මානවීය ගුණයත් සදානුස්මරණීයයි. අපි දන්නවා ලෝකයේ ඇතැම් රටවල් යුද ජයග‍්‍රහණයේදී කොහොමද කි‍්‍රයා කළේ කියලා. මහා බි‍්‍රතාන්‍ය, ජර්මනියට එරෙහිව යුද්ධය ජයගත්තාම ඉතිරි වෙලා තිබු සියලුම බෝම්බ ගෙනිහිල්ලා ඒ ජර්මන් නගර සම්පූර්ණයෙන් විනාශ කළා. ඒ වගේම ජපානය යුද්ධයෙන් යටත්වීමට කැමැත්ත පළකළාට පස්සේ ජපානයේ හිරෝෂිමා - නාගසාකි නගරවලට බෝම්බ අතහැරියා.
අපේ රණවිරුවන් 2009 මැයි 18 වැනිදා ඒ මහා ත‍්‍රස්තවාදියා ඝාතනය කළාට පසුව එකඳු සිද්ධියක්වත් ඇති නොවන ආකාරයට අපේ ඇතැම් ආරක්‍ෂක අංශ ප‍්‍රධානීන් පවා තව අවුරුද්දක් දෙකක් මේ ප‍්‍රශ්නේ තිබෙනවා කිව්වත්, එකම සිද්ධියක්වත් සිදු නොවන ආකාරයට ඉතාම ගෞරවාන්විතව කටයුතු කළා. ලක්ෂ තුනකට අධික ඒ අනාථයන් රැක බලා ගත්තා. මැණික් ෆාම්වල. ඒ වගේම ඔවුන් නැවත පදිංචි කරවීම සඳහා විධිමත්ව කටයුතු කළා.
ඒ වගේම අද නව ත‍්‍රස්තවාදයක බිහිසුණු සෙවණැලි අප ඉදිරියේ ඇති වී තිබෙනවා. මේක පැරණි ත‍්‍රස්තවාදයේ වැනි කාලතුවක්කු, ඒ වගේම යුද හමුදාව විසින් කරන ලද මහා මෙහෙයුම්වලින් ජයගන්න පුළුවන් එකක් නෙමෙයි. මේ ත‍්‍රස්තවාදීන්ගේ අරමුණ රාජ්‍යයක් දිනා ගැනීම හෝ රාජ්‍ය බලය අල්ලා ගැනීමක් නෙමෙයි. මේ අලූත් ඉස්ලාමීය ජිහාඩ් ත‍්‍රස්තවාදය ව්‍යසනය, විනාශය මුල් කරගෙන පවතින දෙයක්. අපේ ආරක්‍ෂක අංශ දහස් පාරක් ත‍්‍රස්තවාදීන්ගේ යම් යම් උපක‍්‍රම ව්‍යර්ථ කළත් ත‍්‍රස්තවාදියාට සාර්ථක වෙන්න ඕනෑ එක් වතාවක් පමණයි. ඒ නිසා ඒ ව්‍යසනය පරාජය කිරීම සඳහා නව නීති රීති රටට අවශ්‍යයි. ජනතාවගේ නව හැඟීම් රටට අවශ්‍යයි. ජනතාවගේ දේශපාලන අධිකාරියේ නව අධිෂ්ඨානය රටට අවශ්‍යයි.
මේ සටනත් ජයගැනීම අපේ ආරක්‍ෂක අංශ ඉතා කෙටි කලකින් ඒ ත‍්‍රස්තවාදී කණ්ඩායම හා බැඳිච්ච සබැඳියා ජාලය විනාශ කළා. නමුත් තර්ජනය පහව ගිහිල්ලා නැහැ. ඒ නිසා මේ රටට ඒ අලූත් ත‍්‍රස්තවාදය ජය ගැනීම සඳහාත් ශක්තිමත් අධිෂ්ඨානයක් අවශ්‍යයි. ඒ වගේම ශක්තිමත් ආර්ථිකයක් අවශ්‍යයි. ඒ වගේම මෙයට මසකට පෙර අපේ‍්‍රල් 21 වැනිදා සිදු වූ ඒ ත‍්‍රස්ත ප‍්‍රහාර 6 නිසා අපේ ආර්ථිකයට අද බරපතළ හානි සිදුවෙලා තිබෙනවා. රැකියා ක්‍ෂෙත‍්‍රවල බරපතළ ප‍්‍රශ්න පැන නැගී තිබෙනවා. ආරක්‍ෂක අංශවල වියහියදම් වැඩිවෙලා තිබෙනවා. මේ නිසා අපේ රජයට අපේ ආර්ථිකයට, බරපතළ ව්‍යසනයක් ඇතිවෙලා තිබෙනවා. ඒ නිසා ත‍්‍රස්තවාදීන්ගේ ව්‍යසනය පරාජය කරන්න නම් ණය බරින් තොර ශක්තිමත් ආර්ථිකයක් අපි ගොඩනගා ගත යුතුයි. ඒ වගේම සියලු රටවල් සමඟ ශක්තිමත් වැදගත් විදේශ ප‍්‍රතිපත්තියක් ඇති කර ගත යුතුයි. මොකද මේ ත‍්‍රස්තවාදීන්ට අණ ලැබිලා තිබෙන්නේ එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන්ට වන්නියෙන් ලැබුණ අණ වගේ අණක් නෙමෙයි. මෙය විදේශ රටකින්, කලාපයකින් ලැබිච්ච අණක්. ඒ නිසා විධිමත් විදේශ තොරතුරු ජාලයක්, සබඳතා ජාලයක් මෙන්ම විදේශ ප‍්‍රතිපත්තියක් අපට අවශ්‍යයි. මේ අන්තවාදී ත‍්‍රස්තවාදය පරාජය කිරීම සඳහා.
මම හිතන්නේ අපේ රටේ, විශේෂයෙන්ම අපේ ආරක්‍ෂක හමුදාවල ඉන්න අපේ විශාල අත්දැකීම් සහගත නිලධාරීන්, වගේම අපේ සෙබළුන් මේ අලූත් තත්ත්වයට වහාම හැඩ ගැහිලා මේ අලූත් ත‍්‍රස්තවාදය පරාජය කිරීමට කටයුතු කිරීම අපට ලොකු සතුටක්. ඒ වගේම අපගේ දේශපාලන අංශ, ජනතා අංශ, විශේෂයෙන්ම ගෞරවනීය මහා සංඝරත්නය එහි අනුශාසනාව, උපදේශණය මේ අරගලය ජය ගැනීමට ඉතාම අත්‍යාවශ්‍ය වෙනවා. ඒ වගේම සාමාන්‍ය ජනතාව අපේ ආරක්‍ෂක හමුදාවලට ප‍්‍රශ්න ඇති කරන්නේ නැතිව තැන් තැන්වල ගිහිල්ලා තමන්ගේ ව්‍යාජ වීරකම් පාන්නේ නැතිව, අපේ ආරක්‍ෂක අංශවලට ඒ නීතිය ආරක්‍ෂා කිරීමට අවශ්‍ය කරන ශක්තිය ලබාදීලා, තොරතුරු ලබාදීලා කටයුතු කිරීම අත්‍යාවශ්‍ය වෙනවා. අප වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ 26,000කට අධික රණවිරුවන්, ඇස්, හිස්, මස්, ලේ දන් දීලා අප අතරම ජීවත්වන 17,000 කට අධික ඒ රණවිරුවන් සියලු දෙනා වෙනුවෙන් අපගේ පින් ප‍්‍රාර්ථනා මේ සසර ගමනේදී ඔවුන් සියලු දෙනාටම නැවතත් මෙවැනි අකල් මරණයක් ඇති නොවේවා, අපේ දූ දරුවන්ට මෙවැනි බිහිසුණු වාතාවරණයකට නැවත මුණ ගැසීමට අවස්ථාවක් නොලැබේවා, ඒ සඳහා වූ අධිෂ්ඨානය රටේ නායකයන් ඇතුළු සියලුම දෙනාට ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු.

0 Comments