Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකාවේ ප්‍රතිත්‍රස්ත ප්‍රයත්නයන්ට අමෙරිකාවේ උපරීම සහාය

Author(s): 
මහින්ද අලුත්ගෙදර

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාව සමඟ ත්‍රස්තවාදයට එරෙහිව නැඟී සිටිමින් ශ්‍රී ලංකාවේ ප්‍රති-ත්‍රස්ත ප්‍රයත්නයන්ට උපරිම සහාය ලබාදෙන බව ඇමෙරිකා එක්සත් ජනපදය අවධාරණය කරයි.

ශ්‍රී ලංකාව සමඟ ප්‍රති-ත්‍රස්ත මෙන්ම සමුද්‍රික හා දේශ සීමා ආරක්ෂක සහයෝගීතාව අඛණ්ඩව පුළුල් කිරීමට ද එක්සත් ජනපදය ඉදිරිපත් ව තිබෙන බව දේශපාලන කටයුතු පිළිබඳ එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ඩේවිඩ් හේල් මහතා ප්‍රකාශ කරයි.

ප්‍රජාතන්ත්‍රවාදයට, මානව හිමිකම්වලට සහ නීතියේ ආධිපත්‍යයට ඇති සිය පොදු කැපවීම අනුව යමින් එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව විසින් පසුගිය දා ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් නුවර දී තුන්වැනි එක්සත් ජනපද - ශ්‍රී ලංකා හවුල්කාරීත්ව සංවාදය කැඳවනු ලැබූ අතර එහිදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සදහන්කර තිබේ. ශ්‍රී ලංකා විදේශ කටයුතු ඇමැති තිලක් මාරපන සහ දේශපාලන කටයුතු පිළිබඳ එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ඩේවිඩ් හේල් මහත්වරු මෙම රැස්වීමෙහි සම සභාපතිත්වය දැරූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය වශයෙන් තමන් සතු පොදු වටිනාකම් මත තිර ලෙස පදනම් වූ ද්විපාර්ශ්වික සබඳතාවෙහි වැදගත්කම යළි තහවුරු කළ රජයන් දෙක සිය හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා කටයුතු කිරීමට තමන් තුළ ඇති කැපවීම ප්‍රකාශකර තිබේ.

කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් ලැබුණු බහුවිධ සහාය සහ එෆ්.බී.අයි ආයතනයෙන් ලබාදුන් විමර්ෂකයන් ද ඇතුළුව එක්සත් ජනපදය විසින් ලබාදෙන ලද සහාය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මෙහිදී සිය ස්තූතිය පළකර තිබෙන අතර අනාගතයේ දී සහාය ලබා දියහැකි ක්ෂේත්‍ර පිළිබඳව දෙපාර්ශ්වය සාකච්ඡා කර තිබේ. පාස්කු දින ශ්‍රී ලංකාවේ ප්‍රහාර සිදුකළ ත්‍රස්තවාදීන් අයිසිස් සංවිධානයෙන් අනුප්‍රාණය ලැබූ බවක් පෙනෙන්නට තිබෙන බවද මෙහිදී අනාවරණය වී ඇත.

සාමය සහ ආරක්ෂාව පෝෂණය කිරීමටත්, ජාත්‍යන්තර නීති සහ සම්මුතීන් කෙරෙහි ඇති ගෞරවය සහතික කෙරෙන නීති මත පදනම් වූ ක්‍රමයක් මඟින් ඉන්දියානු හා ශාන්තිකර සාගරවල සුරක්ෂිත සාමුද්‍රීය බලප්‍රදේශයක් සහතික කිරීමටත් එක්ව කටයුතු කිරීම පිණිස එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අදිටන් කොට ගෙන තිබෙන අතර මෙම සන්දර්භය තුළ යාත්‍රා කිරීමට, උඩින් පියාසර කිරීමට සහ බාධාවකින් තොරව වෙළෙඳ කටයුතු කිරීමට ඇති නිදහස සහතික කෙරෙන, නිදහස්, විවෘත හා සමෘද්ධිමත් ඉන්දු-ශාන්තිකර කලාපයක් කරා යන එක්සත් ජනපද උපාය මාර්ගය වැදගත් මුලපිරීමක් වශයෙන් හඳුනා ගැනිණි. සාමුද්‍රික ආරක්ෂාවේ සහ සුරක්ෂිත බවේ සහයෝගීතාව සහ හුවමාරු කිරීම් තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට ඇති පොදු හැකියාව ද ප්‍රකාශ කළ ඔවුහු, 2018 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාව විසින් සත්කාරකත්වය දරන ලද ඉන්දියානු සාගර සමුළුව තෘප්තියෙන් යුතුව සිහිපත් කළ අතර, අන්‍යොන්‍ය ප්‍රතිලාභය වෙනුවෙන් ආරක්ෂාව, ස්ථාවර බව, විනිවිදභාවය, හා ආර්ථික අවස්ථා වැඩිදියුණු කරලීමේ ඒකාබද්ධ මුලපිරීම් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට එකඟ වූහ.

සිය මුහුදු සීමා නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකාව සතු හැකියාව වැඩිදියුණු කිරීම, අවහරණය හා සෙසු නීතිවිරෝධී ක්‍රියාකාරකම් මැඬලීම, ඉන්දියානු සාගරයේ සිය මානුෂීය සහය සහ ආපදා ප්‍රතිචාර හැකියාව වර්ධනය කිරීම ආදිය සම්බන්ධයෙන් ඇති සිය අන්‍යොන්‍ය අභිලාෂයන් ප්‍රවර්ධනය කිරීම පිණිස එක්සත් ජනපද අතිරික්ත ආරක්ෂක උපකරණ වැඩසටහන හරහා ශ්‍රී ලංකාවට ලබාදුන් ලේකම් පන්තියේ දැඩි සංස්තිථි යාත්‍රාවේ ආගමනය ශ්‍රී ලංකාවේ ප්‍රසාදයට ලක් විය. බිම්බෝම්බ ඉවත් කිරීමට එක්සත් ජනපදය ලබාදෙන සහය, ඒකාබද්ධ හමුදා ක්‍රියාකාරකම්, ශ්‍රී ලංකාවේ සාමසාධක මෙහෙයුම්, ශ්‍රී ලංකා නිලධාරීන්ට මානව හිමිකම් පුහුණුව ලබාදීම සහ එක්සත් ජනපද නෞකා හා හමුදා නිලධාරීන්ගේ සංචාර ඇතුළුව දැනට පවතින ද්විපාර්ශ්වික ආරක්ෂක අංශ සහයෝගීතාව රජයන් දෙකෙහිම ප්‍රසාදයට ලක් විය. දෙරටේ හමුදා අතර ඇති සහයෝගීතාව පුළුල් කිරීමට එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව එකඟ විය.

කල්පවතින සාමය සහ සමෘද්ධිය උදෙසා සංහිඳියාව, වගවීම, යුක්තිය හා මානව හිමිකම් ප්‍රවර්ධනය කරන්නට ශ්‍රී ලංකාව තුළ ඇති කැපවීම යළි අලුත්වීම එක්සත් ජනපද රජයේ ප්‍රසාදයට ලක් විය. අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ විධිනියෝගය, හානිපූරණ කාර්යාලයක් පිහිටුවීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීම, ආරක්ෂක හමුදා විසින් භාවිතා කරන ලද පෞද්ගලික ඉඩම් යළි අයිතිකරුවන් වෙත ලබාදීම ඇතුළු මෙම ක්ෂේත්‍රවල අත්කරගෙන ඇති ප්‍රගතිය එක්සත් ජනපදය හඳුනාගෙන තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ ව්‍යවහාරයන්වලට, යහපාලනයට, නීතියේ ආධිපත්‍යයට, යුක්තියට සහ පාර්ලිමේන්තු ක්‍රියා පරිපාටිවලට තමන් තුළ ඇති කැපවීම ශ්‍රී ලංකා රජය අවධාරණය කර තිබෙන අතර මෙම ප්‍රතිඥා ක්‍රියාත්මක කිරීමේ වේගය පවත්වා ගන්නා ලෙසට එක්සත් ජනපදය ශ්‍රී ලංකාව දිරිමත් කළ බවද විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.

සාධාරණත්වය හා අන්‍යොන්‍යතාව යන මූලධර්ම මත පදනම් වූ ශක්තිමත් ආර්ථික හවුල්කාරීත්වයට සහ වර්ධනය වෙමින් පවතින ද්විපාර්ශ්වික වෙළෙඳාමට එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව සිය සහයෝගය ප්‍රකාශ කර සිටියේය. සහශ්‍රක අභියෝග සමායතන මණ්ඩලයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 480 ක් වටිනා ප්‍රදානයකට අනුමතිය ලබාදීම සම්බන්ධයෙන් රජයන් දෙකෙහි ප්‍රසාදය පළවිය. ඊට අදාළ ගිවිසුම අත්සන් කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලයේ සහ ශ්‍රී ලංකා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂිතයි.

සිය ද්විපාර්ශ්වික සබඳතාවෙහි වැදගත්කම එක්ව අවධාරණය කළ එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව, අන්‍යොන්‍ය ප්‍රතිලාභය වෙනුවෙන් එක්සත් ජනපද - ශ්‍රී ලංකා හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට තමන් තුළ ඇති කැපවීම ප්‍රකාශයට පත්කර ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();