Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජාතික ආරක්ෂාව හා බුද්ධි අංශය

පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී මාසයක් ගතවී හමාරයි. ඒත් එහි පසුකම්පනවල තවමත් නිමාවක් නැත. අදත් ජනමාධ්‍යවල, දේශපාලන වේදිකාවේ සහ පොදුජන සමාජයේ ප්‍රමුඛ ඉඩක් අල්ලා ගෙන තිබෙන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයි. විශේෂයෙන් දේශපාලන සමාජය සහ ඒ මත පරාරෝපණය වී සිටින ජනමාධ්‍ය පාස්කු ඉරිදා පසුකම්පන තවදුරටත් සජිවීව පවත්වාගෙන යාමට උත්සාහ කරන ආකාරයක් දැකිය හැකියි.

මේ තත්ත්වයෙන් ජාතික තවුහිද් ජමාත් අන්තවාදීන් මුළුමනින්ම අකර්මන්‍ය කර ආරක්ෂක අංශ විසින් ඉටුකළ ප්‍රශස්ත කාර්යභාරය ලඝු වීමකට හෝ නොතකා හැරීමකට ලක්ව තිබෙන බවක් දැකිය හැකියි.

පසුගිය යුද සමයේ සේම ජාතික ආරක්ෂාව වෙනුවෙන් කිසිවක් නොකළ, කිරීමට නොහැකි ඊනියා දේශපාලනඥයන් සහ දේශප්‍රේමීන් මුළු ගරුත්වයම සහ වේදිකාවම අත්පත් කරගෙන සිටින ආකාරයක් දැකිය හැකියි. විපක්ෂය, රෙජිම මාධ්‍ය සහ විශේෂයෙන් ජනපති සිහින දකින ප්‍රබලයෙක් පාස්කු ඉරිදා ප්‍රහාරය දේශපාලන ආයෝජනයක් කර ගැනීමට ගන්නා වෑයම ජුගුප්සාජනක බවයි බොහෝ දෙනෙක් කියන්නේ.

මේ තත්ත්වය ලංකාව වැනි පසුගාමී සමාජයකින් බලාපොරොත්තු විය යුතු තත්ත්වයක්.මන්ද දේශපාලන අවස්ථාවාදය විසින් සමාජ - ආර්ථික ආදි සියලු ප්‍රමුඛතා තීරණය කරන අපේ සමාජය තුළ තමන්ගේ ඔඩොක්කුවටම අහඹු ලෙස කඩාපාත්වුණු පාස්කු ඉරිදා ප්‍රහාරය දේශපාලන ඉල්ලමක් කර ගැනීම ඇතැමුන් විසින් පැහැර හරිනු ඇතැයි සිතීම මුලාවක් නිසයි.

ගොබෙල්වාදී ප්‍රචාර

පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු වී එහි ලේ පැල්ලම් වියළී යාමටත් පෙර පොහොට්ටු කල්ලිය ප්‍රහාරයෙන් දේශපාලන වාසි ලබාගැනීමට ඉදිරියට පැමිණියා. ඒ අතර පසුගිය කාලය පුරාම රාජපක්ෂ කල්ලිය සම කල්ලි ගැසී සිටි භික්ෂූ බලවේග ද කරට කර සිට ගත්තා.

මෙහිදී එක්වරම සමාජගත වූ ප්‍රචාරය වුණේ “බුද්ධි අංශ දඩයම් කළ නිසයි මේ අපරාධය සිදු වුණේ ” සහ “අපි බලයේ හිටියා නම් මේ දේ වෙන්නේ නැහැ” කියන සාම්ප්‍රදායික ප්‍රවාද දෙකයි.

ප්‍රහාරය සිදුවූ දාම විශේෂ ප්‍රකාශයක් කළ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පුන පුනා ප්‍රකාශ කළේ බුද්ධි අංශ සාමාජිකයන්ගෙන් භාගයක්ම සිරගත කරලා තිබෙන වාතාවරණයක් තුළ මෙවැනි දෙයක් සිදුවීම පුදුමයට කරුණක් නොවන බවයි. ඒ සමඟ සභාවට පැමිණි අස්ගිරි පාර්ශ්වය ප්‍රමුඛ භික්ෂූ කණ්ඩායම් ද විශේෂ නිවේදන නිකුත් කරමින් අත්අඩංගුවේ සිටින සියලුම බුද්ධි අංශ සාමාජිකයන් කොන්දේසි විරහිතව නිදහස් කළ යුතු බවට ආණ්ඩුවට යෝජනා කළා.

මහින්ද සහ සඟරුවනේ පිරිසක් මේ ආකාරයෙන් අත්අඩංගුවේ සිටින බුද්ධි අංශ සාමාජිකයන් ගැන සාවද්‍ය ප්‍රචාර අඛණ්ඩව නිකුත් කරද්දී සුපුරුදු ලෙසම ආණ්ඩුව දැක්වූයේ උදාසීන ආකල්පයක්. මහින්ද හෝ එම පිරිස නිවැරදි කිරීමට ආණ්ඩුව ප්‍රබල ලෙස මැදිහත් වුණේ නැහැ. ඒත් යම් ප්‍රමාදයක් සහිතව හෝ ආණ්ඩුව පාර්ශ්වයෙන් තොරතුරු එළියට ආවා.

“සිද්ධ වුණේ බුද්ධි අංශ දුර්වලවීම හෝ බුද්ධි අංශවලට අදාළ තොරතුරු වාර්තා නොවීම නොව බුද්ධි අංශ විසින් ලබාදුන් තොරතුරු අනුව අදාළ බලධාරීන් ක්‍රියාත්මක නොවීමයි” යන කතාව සමාජගත වන විට රාජපක්ෂ කල්ලිය අඩියක් පසුපසට ගත්තා. ඒ සමඟ ආණ්ඩුව පැත්තෙන් තවත් කතාවක් එළියට ආවා. ඒ අත්අඩංගුවේ හෝ ඇප පිට සිටින බුද්ධි අංශ සාමාජිකයන් සංඛ්‍යාව ගැන විස්තරයයි.

“පසුගිය යුගයේ සිදු වුණු විවිධ ඝාතන, පැහැර ගැනීම්, අතුරුදන් කිරීම් සහ පහරදීම් ආදියට සැකපිට අත්අඩංගුවට ගෙන හෝ ඇප පිට සිටින්නේ බුද්ධි අංශ සාමාජිකයන් 12 දෙනෙක් පමණයි” කියලා. ආණ්ඩුව උත්තර බැන්දා. ඒත් ආණ්ඩුවේ ඒ ප්‍රකාශයට රෙජිම මාධ්‍යවලින් කිසිදු ඉඩක් නොලැබුණා පමණක් නොව පාස්කු ඉරිදා සමාජගත කළ ප්‍රවාදය ඔවුන් විසින් දිගින් දිගටම නඩත්තු කළා. පුදුමයට කරුණ වන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය බුද්ධි අංශවල දුර්වලතාවක් නොව ඒ අනුව ක්‍රියාත්මක වීම භාරව සිටි ඉහළ නිලධාරීන්ගේ දුර්වලතාව හෝ නොසැලකිල්ල නිසා සිදුවූවක් බව දිගින් දිගටම තහවුරු වෙමින් තිබියදී (පොලිස්පති සහ ආරක්ෂක ලේකම් ඉවත් කිරීමට සිදු වුණේ මේ නිසා බව අමතක නොකරන්න) අදත් මේ බුද්ධි අංශ දඩයම ගැන ඊනියා රෙජිම මාධ්‍ය හා රාජපක්ෂ රෙජිමය විලාප දීමයි.

බුද්ධි අංශ දඩයමේ ඇත්ත කතාව

ඊනියා බුද්ධි අංශ දඩයම ගැන විපක්ෂය ඝෝෂා කරන විට පැහැදිලිව පෙනී යන්නේ මේ ඝෝෂාව හුදු බුද්ධි අංශ රැක ගැනීමට හෝ බුද්ධි අංශවල ගරුත්වය රැක ගැනීමට කරන අවංකව කරන ඉල්ලීමක් නොවන බවයි. එය සම්පූර්ණයෙන්ම රෙජිමයේ ප්‍රබලයන්ගේ පෞද්ගලික වුවමනා එපාකම් වෙනුවෙන් අනීතිකව දඩයමේ ගිය දඩබල්ලන් කිහිප දෙනකු රැක ගැනීමට ස්වාමියා විසින් ගන්නා උත්සාහයක් වශයෙන් සඳහන් කළ හැකියි.

මේ බව මනාව පැහැදිලි වන්නේ ලංකාවේ බුද්ධි අංශ නිලධාරීන් සංඛ්‍යාව සහ ඇත්තටම අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින හෝ බන්ධනාගාර ගත කර සිටින බුද්ධි අංශ නිලධාරීන් සංඛ්‍යාව ගැන තොරතුරු විමසන විටයි.

පසුගිය හිටපු යුද හමුදාපති ඇතුළු ආරක්ෂක අංශවලින් හෙළි වුණු ආකාරයට ලංකාවේ බුද්ධි අංශවලට ඍජුව සම්බන්ධ නිලධාරීන් 12,000ක් පමණ ද පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ විසින් වැටුප් ,දීමනා ගෙවන ඔත්තුකරුවන් විශාල පිරිසක් ද සිටිනවා. උදාහරණයක් ලෙස ජනපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතන තැතක් ගැන කියමින් රට ගිනි තියපු නාමල් කුමාර නැමැත්තාත් අයත් වන්නේ බුද්ධි අංශ නිලධාරීන් අතරට. ඔහු පොලිස් ඔත්තුකරුවෙක් ලෙස සේවය කළ අයෙක් බවයි වාර්තා වන්නේ. ඒ සමඟ පාස්කු ඉරිදා ප්‍රහාරය සමඟ එළියට පැමිණි නිල වාර්තා කියන්නේ ජාතික තවුහිද් ජමාත් ඇතුළු මුස්ලිම් අන්තවාදී කල්ලිවල විශාල පිරිසක් ද පසුගිය රජය කාලේ ආණ්ඩුවෙන් වැටුප් හෝ දීමනා ලබා ඇති බවයි.

ඒ අනුව ලංකාවේ බුද්ධි අංශ ගැන හා ඒවායේ හැසිරීම ගැන අවබෝධයක් ලබාගත හැකියි.

දඩ බල්ලෝ

මේ ලියුම්කරු සමඟ අදහස් දැක්වූ ආරක්ෂක අංශවලට හා පොලිස් බුද්ධි අංශවලට සම්බන්ධ ප්‍රබලයන් කිහිප දෙනකුම අවධාරණය කළේ පසුගිය 2015 ජනවාරි 09 වැනිදා සිදු වූ ආණ්ඩු මාරුවේ සිට කාලයක් ගත වන තෙක් විවිධ අපරාධ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ බුද්ධි අංශ සාමාජිකයන්ගේ සංඛ්‍යාව අතලොස්සක් බවයි. එය සමස්ත බුද්ධි අංශ සමඟ සසඳා බලන විට නොසැලකිය යුතු තරම් අල්ප සංඛ්‍යාවක් බව ද ඔවුන් සඳහන් කළා.

“පසුගිය කාලේ බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළේ ඇත්තටම සීමිත සිදුවීම් ගණනක් සඳහා පමණයි. අවශ්‍යතාව තිබුණා නම් ඊටත් වඩා සිදුවීම් තිබුණා. ඒත් ඇත්තටම ප්‍රශ්න කළේ ජාතික හා ජාත්‍යන්තරව අවධානය යොමු වුණු සිදුවීම් කිහිපයක් ගැන පමණයි. ඒවායින් වැඩි සංඛ්‍යාව ජනමාධ්‍යවේදීන් පහරදීම්, ඝාතනය කිරීම් සහ අතුරුදන් කිරීම් සම්බන්ධ පරීක්ෂණ. ඒ අතර තරුණ ළමයින් 11 දෙනෙක් අතුරුදන් කිරීම හා සම්බන්ධ පරීක්ෂණයත් තිබුණා. මේ සියල්ලටම වාගේ නම ගෑවිලා හිටියේ බුද්ධි අංශ නිලධාරීන් කිහිප දෙනකු හෝ එක් කල්ලියක් පමණයි. ඔවුන් හිටපු පාලකයන්ගේ පෞද්ගලික අවශ්‍යතා මත ක්‍රියාත්මක වුණු කල්ලි බව පැහැදිලිව ප්‍රකාශ කළ හැකියි. මොකද මේ කිසිදු සිදුවීමක් ජාතික ආරක්ෂාවට කිසිම සම්බන්ධයක් නැති ඒවා”.

මේ තමන් ද ඇතුළුව තම සේවාවේ ගරුත්වය හා කීර්තිය වෙනුවෙන් උනන්දු වෙන ආරක්ෂක අංශ නිලධාරීන් වේදනාවෙන් හා අපේක්ෂාභංගත්වයෙන් යුතුව කියන කතා.

මේ ඊනියා බුද්ධි අංශ දඩයම ගැන විලාප තබන රෙජිම පාලකයන්ගෙන් හෝ රෙජිමය යළි ඔසවා තැබීමට තැත් කරන කල්ලිවලින් අපට ඇසීමට ඇති ප්‍රශ්නයක් තිබෙනවා. ඒ පසුගිය අවුරුදු හතරට ආසන්න කාලය තුළ ඇත්තටම බුද්ධි අංශ සාමාජිකයන් කී දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවාද ? ඔවුන්ගෙන් කී දෙනෙක් වැරදිකරුවන් බන්ධනාගාරගත කර තිබෙනවාද ? විමර්ශන සඳහා අත්අඩංගුවට ගැනීම නිසා රැකියාව අහිමි වූ බුද්ධි අංශ සාමාජිකයන් සංඛ්‍යාව කොපමණ ද ?

මේ ප්‍රශ්නවලට කිසිමදාක මේ කිසිදු පාර්ශ්වයකින් පැහැදිලි පිළිතුරක් ලැබෙන්නේ නැහැ. ඒ වෙන කිසිවක් නිසා නොවෙයි යහපාලනයේ ඇති වූ උපන් ගෙයි දෝෂ නිසා ආරම්භ කළ කිසිම පරීක්ෂණයක් අවසානය දක්වා ගමන් කර නැහැ. උදාහරණයක් වශයෙන් බුද්ධි අංශ නිලධාරීන් විසින් ඝාතනය කළ බවට පැහැදිලි සාක්ෂි ඇති ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධ පරීක්ෂණ මේ දක්වා අවසන් වී නැහැ. ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම, වසීම් තාජුඩීන් ඝාතනය, පෝද්දල ජයන්ත, උපාලි තෙන්නකෝන්, කීත් නොයාර් හා නාමල් පෙරේරාට පහරදීම ආදී සිදුවීම්වලට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් බුද්ධි අංශ නිලධාරීන් කිසිවෙක් මේ දක්වා වැරදිකරුවන් කර බන්ධනාගාර ගත කර නැති බවයි වාර්තා වන්නේ.

එසේ නම් පැන නගින ප්‍රශ්නය වන්නේ රාජපක්ෂ රෙජිමය හා රෙජිම මාධ්‍ය කියන මේ බුද්ධි අංශ දඩයම කුමක්ද යන්නයි.

“මේ සියලු ඝාතන, පැහැර ගැනීම්, අතුරුදන්වීම් සහ පහරදීම් සිදු වුණේ සම්පූර්ණයෙන්ම දේශපාලන අවශ්‍යතා මත. යුද්ධය අවසන් වූ පසු. එහෙම නැතිකම් යුද කලාපයෙන් බැහැරව. මේවා පිටුපස දේශපාලන හා පෞද්ගලික වුවමනා එපාකම් තිබුණු බව ඉතාම පැහැදිලිව සඳහන් කළ හැකියි. උදාහරණයක් ලෙස කොළඹ දී තරුණ ළමයින් 11 දෙනෙක් පැහැර ගෙන ගොස් ඝාතනය කළේ කප්පම් ගැනීම සඳහායි. මෙවැනි දේවල් පසුගිය කාලේ ඕනෑ තරම් සිදු වුණු බව හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සම්බන්ධ සිදුවීමේදී පමණක් නොවෙයි, පසුගිය කාලය පුරාම රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සම්බන්ධ සිදුවීමේදී වුණත් පැහැදිලිව පෙනී යනවා. මේවා පෞද්ගලික හෝ ඍජුව දේශපාලන වුවමනා මත සිදු වුණු ඝාතන. ඒ නිසා ඒවා සිදුකළ පුද්ගලයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අණ දුන් පුද්ගලයන් පෙනී සිටීම ගැන අපි පුදුම විය යුතු නැහැ”

මේ ලියුම්කරු සමඟ මේ සිදුවීම් හා සම්බන්ධ අධිකරණ ක්‍රියාවලියට දායකත්වය දුන් ප්‍රවීණ නීතිවේදියෙක් පවසා සිටියා.

මේ අනුවත් අපිට පැහැදිලිව පෙනී යන්නේ රාජපක්ෂ රෙජිමය හෝ භික්ෂූ කල්ලි කියන ආකාරයට ජාතික ආරක්ෂාව බිඳ වැටෙන ආකාරයට බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමක් සිදු නොවූ බවයි. යම් කිසි ආකාරයක අත්අඩංගුවට ගැනීමක් සිදු වුණා නම් ඒ දීර්ඝව සිදුවූ පරීක්ෂණවල ප්‍රතිඵලයක් වශයෙන් බවයි.

බුද්ධි අංශවලට මුක්තියක් තිබෙනවාද ?

මේ සමඟ තවත් ප්‍රශ්නයක් සිවිල් පුරවැසියන් ලෙස අප හමුවේ තිබෙනවා. ඒ යුද්ධය වෙනුවෙන් බුද්ධි අංශ මෙහෙයුම් කළ පළියට එකී නිලධාරීන්ට හෝ ඔවුන්ට නායකත්වය, නියෝග දුන් පුද්ගලයන්ට නීතියෙන් ගැළවී සිටීමේ හෝ නඩුවලින් තොරවීමේ මුක්තියක් තිබෙනවාද ? යන්නයි.

මෙය කිසිසේත්ම නීතියේ ආධිපත්‍ය හෝ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකට සුදුසු තත්ත්වයක් නොවෙයි. ඊට හේතුව වන්නේ “නායකත්වය නිතරම සුපිරිසිදුයි’ යන අදහසක් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට නොගැළපෙන නිසයි.

ඒ අනුව අපරාධමය වැරදිවලට චෝදනා ලබන පුද්ගලයන් බුද්ධි අංශ වේවා, වෙනත් සුවිශේෂ කාර්යභාරයක් ඉටුකළ පුද්ගලයෙක් වේවා නීතිය ඉදිරියට පැමිණවීමට අවස්ථාව තිබිය යුතුයි. එසේ නැති තැනක අනිවාර්යයෙන් සිදුවන්නේ තව තවත් වාස් ගුණවර්ධනලා බිහිවීම හා මොහොමඩ් ෂියාම්ලාට ජීවිතය අහිමි වීමයි.

රෙජිම මාධ්‍ය යුද්ධය

මේ සමඟ තවත් කරුණක් තෙරෙහි අවධානය යොමු කළ යුතුයි. ඒ ‘තැටිය රත් වූ විට රොටිය පුච්චා ගැනීමේ න්‍යාය’ අනුගමනය කරමින් ඊනියා රෙජිම මාධ්‍ය දිගින් දිගටම ගෙන යන “ආණ්ඩුව ජාතික ආරක්ෂාව සමඟ සෙල්ලම් කළා” යන ප්‍රවාදයයි.

මේ ඊනියා රෙජිම මාධ්‍යවලට මෙවැනි ප්‍රකාශ යළි යළිත් කිරීමට ස්වර්ණමය අවස්ථාව නිර්මාණය වුණේ අනපේක්ෂිත පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා බව පැහැදිලියි. ඉතාම පැහැදිලිව බුද්ධි අංශ විසින් අනතුරු ඇගයීම් කර තිබියදීත් ඒ කෙරෙහි නිසි බලධාරීන්ගේ අවධානය යොමු නොවුණේ කුමන කරුණක් නිසා ද යන්න මේ රටේ හෘදය සාක්ෂියක් ඇති ඕනෑම අයෙකුට පහසුවෙන් වටහා ගත හැකි දෙයක්. ඒත් පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු වී පැය 48ක් ගත වන විට එය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට පමණක් නොව ජාතික ආරක්ෂාව උපරිමයෙන් සහතික කිරීමට ආරක්ෂක අංශවලට හැකි වූ බව අපි සියලු දෙනාම දන්නා සත්‍යයක්. පැය 72ක් ගත වන විට අන්තවාදීන්ගේ සියලු සංවිධාන හා ජාලගත වීම් ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ විසින් විනාශ කළ බව ජාත්‍යන්තර වශයෙන් පවා පිළිගන්නා සත්‍යක්.

ඒත් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් සති තුනක් ගත වන විට මුළු රටම යළි අකර්මණ්‍ය කළේ රාජපක්ෂ රෙජිමය හා රෙජිම මාධ්‍ය බව නොරහසක්. අද හෝ හෙට ජනපති සමාවක් ලැබෙන බව කියන බොදුබල සේනා සංවිධානයේ නායක, ඥානසාර හිමියෝ උසාවියේ සිට ප්‍රකාශ කළේ “වෙසක් පෝයදාට පන්සල් 50ට ප්‍රහාර එල්ල වන බවත්, තොරතුරු අවශ්‍ය නම් වැලිකඩට පැමිණ තමා හමුවන ලෙසයි” මේ ආකාරයෙන් ආරක්ෂක අංශ විසින් සහතික කළ ජාතික ආරක්ෂාව හෑල්ලුවට ලක් කළේ ආණ්ඩුව නොව විපක්ෂය හා විපක්ෂ හිතවාදී කල්ලි විසින් බව පැහැදිලියි.

රොටිය පුච්චා ගැනීමට යාම

මේ සියලු තත්ත්වයන් තුළ පැහැදිලිව පෙනී යන්නේ තැටිය රත් වූ විට රොටිය පුච්චා ගැනීමේ නොනිමි ආසාවෙන් සිංහල බෞද්ධ සමාජය පෙළෙන බවයි.

“දැන් මුස්ලිම් සමාජය වැරදිකරුවෝ වෙලා ඉවරයි. ඔවුන් පරාජිතයෝ වෙලා ඉවරයි. ඒ නිසා ජයග්‍රාහකයාට ඔවුන් මත ඕනෑම පීඩනයක් යෙදෙවිය හැකියි. එය හරියට කොටි ත්‍රස්තවාදීන් පරාජයට පත් කළ විට දෙමළ සමාජයට එල්ල කළ පීඩනය වගේ. ඔවුන්ට කිසිවක් නොදී ආධිපත්‍ය පමණක් පැටවිය හැකියි. දැන් දැන් සිදුවන්නේ එයයි. සිංහල සමාජයට අනපේක්ෂිත ලෙස සමස්ත මුස්ලිම් සමාජය මතත් තමන්ගේ ආධිපත්‍ය පතුරවන්න හැකියාව ලැබී තිබෙනවා. මෙය ඔවුන් කිසිදා අපේක්ෂා නොකළ තත්ත්වයක්. ඒ නිසා ඔවුන් තමන්ට හැකි සියල්ල කරන බව සහතිකයි. එදා දමිළ සමාජයටත් වඩා අද මුස්ලිම් සමාජය අසරණයි.”

මේ ලියුම්කරු සමඟ මහින්ද රාජපක්ෂ යුගයේ සිට ජාතික ගැටලුව දෙස බොහෝම මධ්‍යස්ථව බලන මුස්ලිම් බුද්ධිමතෙක් කියා සිටියා.

මෙතැනින් කොතැනටද ?

ප්‍රශ්නයට පිළිතුර ඉතාම පැහැදිලියි. මේ ලියුම්කරුගේ අදහස වන්නේ අති තියුණු මැතිවරණයක් වීමට තිබූ ඉදිරි ජනාධිපතිවරණය 2010 ජනාධිපතිවරණ පැවති සමාජ - දේශපාලන වාතාවරණයටම ලඝු වුණු බවයි. ඒ වගේම මෙකී මැතිවරණයේදී දැවැන්ත ප්‍රචණ්ඩත්වයක් ද අත්විඳීමට සමස්ත සමාජයටම සිදුවන බවයි. පසුගිය මැයි 13 වැනිදා පැමිණියේ එහි කසකරුවන් පමණක් බව අප සියලු දෙනාම අවබෝධ කරගත යුතුයි.

ජාතිවාදය හා අවස්ථාවාදය හෝද හෝද මඬේ දමන මෙවැනි අවස්ථාවාදී සමාජයකින් තවත් කුමක් බලාපොරොත්තු වන්නද ? අපි නැවත 2010ට නැතිනම් 2015 ජනවාරි 07 වැනිදාට ගමන් කර ඇති බව සක්සුඳක් සේ පැහැදිලියි. තැටිය රත් වූ විට රොටිය පුච්චා නොගත් විපාක තමයි මේ අපේ සෝභිත හාමුදුරුවනේ.

සටහන භාතිය බරුකන්ද

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();