Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තිස් අවුරුදු යුද ජයග්‍රහණයේ වීර කතාව කෘතියකට නැංවීම කාලීන අවශ්‍යතාවක්

වීරෝදාර රණවිරුවන්ගේ විශිෂ්ට රණශූරත්වය, දේශාභිමානය සහ උත්තම මානුෂීය ගුණාංග පිළිබඳ මතු පරපුරට ද කියැවිය හැකි අන්දමින් තිස් අවුරුදු යුද ජයග්‍රහණයේ ශ්‍රේෂ්ඨ වීර කතාව කෘතියකට නැංවීම කාලීන අවශ්‍යතාවක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

එම කියැවීම තුළ රටට ආදරය කරන සහ දේශාභිමානයෙන් පිරි අනාගත පරපුරක් රට තුළ නිර්මාණය වනවා මෙන්ම තිස් වසරක යුද්ධයේ සත්‍ය කතාව, එහි පසුබිම සහ මුල් බීජය නිවැරදිව ලෝකයාට විවර කළ හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, උත්තමාචාරය, ග්‍රන්ථය එළිදැක්වීම වෙනුවෙන් පෙරේදා (22) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවය අමතමිනි.

පරම වීර විභූෂණ පදක්කමෙන් පිදුම් ලද වීර රණශූරයන්ගේ චරිතපදානයක් ලෙස , උත්තමාචාරය, කෘතිය ලියැවී තිබේ. ස්වකීය ජීවිතයට ද, ආත්මාරක්ෂාවට ද සිදුවිය හැකි උපද්‍රව ගැන නොසිතා සිය සගයන්ගේ ජීවිතාරාක්ෂාව නොහොත් සිය බළකායේ කාර්ය අරමුණු මුදුන්පත් කර ගැනීම උදෙසා සක්‍රීය සේවා කාලය තුළ දී ස්වේච්ඡාවෙන්ම සතුරාට මුහුණ දෙමින් වික්‍රමාන්විතවූ ද, අභීතභාවය ප්‍රදර්ශනය කෙරෙන්නාවූ ද ක්‍රියාවන්හි පෞද්ගලිකවම යෙදුන්නාවූ ද, වීරෝදාර රණවිරුවෝ පරම වීර විභූෂණ පදක්කමෙන් පිදුම් ලබති. සන්නද්ධ හමුදා සාමාජිකයන් වෙත ප්‍රදානය කරනු ලබන පදක්කම් අතර ඉහළම සහ ගෞරවාන්විතම පදක්කම මෙය වන අතර මේ වන විට ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරින් 11 දෙනකු හා සෙසු නිලයන් 19 දෙනකු පරම වීර විභූෂණයෙන් පිදුම් ලබා තිබේ.

මෙම වසරේ යෙදුණු සාමයේ දසවර්ෂාභිෂේක සැමරුමට සමගාමිව ශ්‍රී ලංකා යුද හමුදාවේ පරම වීර විභූෂණලාභීන්ගේ වීර ක්‍රියා සමාජයට විවර කරමින් මතු පරපුරේ පරිශීලනය සඳහා, උත්තමාචාරය, ග්‍රන්ථය නිර්මාණය කර ඇත. ග්‍රන්ථය එළිදක්වමින් පරම වීර විභූෂණ පදක්කම්ලාභීන්ගේ සමීපතම ඥාතීන් වෙත ග්‍රන්ථය පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

සාමයේ දසවර්ෂාභිෂේක සමරු මුද්දරය සහ මුල්දින කවරය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම ද සිදු විය. ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මහරගම අපේක්ෂා රෝහල වෙත සිදුකරන ලද රුපියල් මිලියන 70ක මූල්‍ය පරිත්‍යාගයට අදාළ චෙක්පත ද යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා විසින් මෙහිදී නිල වශයෙන් ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදී. මේ අතර සාමයේ දසවර්ෂාභිෂේක සැමරුමට සමගාමිව මාතෘභූමිය වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටුකළ බ්‍රිගේඩියර් නිලයේ නිලධාරින් දස දෙනකු මේජර් ජනරාල් නිලයට උසස් කිරීමට ද සේනාධිනායකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.

එහිදි ජනාධිපතිවරයා මෙසේද කිය.

තිස් වසරකට ආසන්න කාලයකට පෙර ම්ලේච්ඡ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදින්ගේ යුද්ධයේ දි අපෙන් වෙන් වුණු අපේ මාතෘභූමිය වෙනුවෙන් දිවි පිදූ ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයන් පිළිබඳව ඓතිහාසික ප්‍රකාශනයක් නිකුත් කළ දවසක් ලෙස අද දවස හැඳින්විය හැකියි.

පරම වීර විභූෂණ පදක්කම්ලාභීන් පිළිබඳව මේ ඓතිහාසික ග්‍රන්ථය අද එළි දක්වනු ලබන්නේ යුද හමුදාව විසින්. අපේ රටේ තිස් වසරක යුද්ධය වගේම වසර දහස් ගණනක ඉතිහාස කතාව පිළිබඳව අප අහලා තිබෙනවා. කියවලා තිබෙනවා. බොහෝ විට ලෝකයේ ඈත ඉතිහාසයේ විවිධ විෂයයන් විවිධ ක්ෂේත්‍ර පිළිබඳව සමාජයට තොරතුරු අවබෝධය සහ දැනුම ලබා දුන්නේ අන්තර්ජාලයෙන් නොවෙයි මුඛ පරම්පරාවෙන්. මතක තිබෙන දේ තවත් කෙනකුට කියනවා. ඇතැම් වෙලාවට කෙනකුගේ ජීවිතය පිළිබඳව, පවුල් ජීවිතය පිළිබඳව, පරම්පරාවක් පිළිබඳව, රටක් පිළිබඳව, ප්‍රදේශයක් පිළිබඳව යම් විෂය ක්ෂේත්‍රයක් පිළිබඳව බොහෝ විට අතීතයේ කෙනකුට තොරතුරු ලැබුණේ මුඛ පරම්පරාවෙන්. නමුත් යුගයෙන් යුගය මානවයාගේ දියුණුව තාක්ෂණයේ දියුණුව සමඟ ඒ සියලු දේ අන්තර්ජාලය භාවිතයෙන් කියවන්න දැක බලා ගන්න ඒ මඟින් දැනුම ලබා ගන්න අවබෝධය ලබා ගන්න අද පුළුවන්කම තිබෙනවා.

ශ්‍රී ලංකා යුද හමුදාවේ පරම වීර විභූෂණ පදක්කම්ලාභී රණවිරුවන් 29 දෙනෙක් පිළිබඳව තමයි මේ ග්‍රන්ථය එළිදැක්වෙන්නේ. මේ ග්‍රන්ථය මේ ප්‍රකාශනය එළිදැක්වුණේ නැත්නම් මේ වීරවරයන් පිළිබඳව මම මීට ඉහත දී සඳහන් කළ පරිදි මුඛ පරම්පරාවේ කතාව තමයි මතකයේ ඉතිරි වන්නේ. ඒ නිසා මේ ප්‍රකාශනය නිර්මාණය කරන්න මීට වෙහෙස මහන්සි වුණු යුද හමුදාපතිතුමා ඇතුළු ඒ සමස්ත කාර්ය මණ්ඩලයට මගේ ස්තූතිය පිරි නමනවා. යුද්ධය අවසන් කරලා රටට සාමය ලබා දී දසවස සමරන මේ අවස්ථාවේ අපේ මේ වීර ලංකා පුත්‍රයන්ගේ ශ්‍රේෂ්ඨයන්ගේ විශිෂ්ට සේවාව පිළිබඳව මෙම ග්‍රන්ථය සාක්‍ෂි සපයනවා. එවන් කෘතියක් එළිදැක්වීම ගැන මා නැවත නැවතත් ස්තුතිවන්ත වෙනවා. අප ඉතිහාසය හැදෑරීමේදි මූලාශ්‍ර කරගන්නා මහාවංශය තුළ මෙන් ම වර්තමානයේ ආචාර්ය මහාචාර්යවරුන් ලේඛනගත කරන ග්‍රන්ථයන්හි පවා ඇතැම් විට නියමිත සැබෑ සිද්ධිය සඳහන් වෙනවා වගේම ඇතැම් වෙලාවට නියමිත සැබෑ සිද්ධිය වෙනස් වෙලා ලියැවෙනවා. සමහර විට ඒ ලියන ලේඛකයා හෝ ඉතිහාසඥයා සමහර විට හිතාමතත් වෙනස් කරනවා. තමාගේ දර්ශනයට තමාගේ චින්තනයට තමාගේ අදහසට ගැළපෙන ආකාරයට වෙනස් කරලාත් ලියනවා.

සාමාන්‍යයෙන් අපි කතා බහ කරන දෙයක් තමයි කලින් කල මහාවංශය ලියපු අය, මහාවංශයේ තිබෙන දේවලුත් තමාගේ චින්තනයන්ට අනුව ලියන්න ඇතිද එය වෙනස් කළාද කියන කාරණය. සෑම රජයක්ම මහාවංශය ලියනවා. මේ කාලෙත් මහාවංශය ලියනවා. ඒක කාලයෙන් කාලයට ඒ විදියට ඉස්සරහට යනවා. අපි ගත්තොත් අනුරාධපුර යුගය, පොළොන්නරු යුගය, ඇතුගල්පුර, දඹදෙණිය, කෝට්ටේ, මහනුවර රාජධානිය දක්වා ඉතිහාස කතාව තුළ කොතෙක් දුරට සැබෑ දේ ඇති ද වෙනස් වූ දේ ඇතිද? ඒ වගේම තමයි ඉතිහාස විෂය ක්ෂේත්‍රයට බාහිරව අනෙකුත් ක්ෂේත්‍රයන්ට අදාළව සිදුකරන ප්‍රකාශනත්. ඒ කෙසේ වෙතත් යම් සිද්ධියක්, ජනතාව තුළ සැබෑ ලෙසම ජනිතව තිබිය යුතු මතයක්, අදහසක්, තොරතුරක්, කතාවක්, කතා වස්තුවක්, පැවතෙන්නේ එය ප්‍රකාශනයක් වුණොත්.

හමුදාපතිතුමනි, මේ ග්‍රන්ථයත් අන්තර්ජාලයට බොහෝම පහසුවෙන් එකතු කරන්න පුළුවන්. එකතු කළා නම් බොහෝම හොඳ දෙයක් ඒක. මේ උත්තමාචාරය පරම වීර විභූෂණයෙන් පිදුම් ලැබූ මේ ශ්‍රේෂ්ඨ රණවිරුවන්ට විතරක් නෙවෙයි, සමස්ත ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක නිලධාරීන් සියලු දෙනාටම කරන උත්තමාචාරයක්. මෙවැනි ග්‍රන්ථයක් කරුණු ගණනාවක් නිසා වැදගත් වෙනවා. මේ රණවිරුවන්ගේ පවුල්වල අයට ඥාතීන්ට ඉතා වැදගත් වෙනවා. යුද හමුදාවේ නම් යුද හමුදාවට. නාවික හමුදාවේ නම් නාවික හමුදාවට. ගුවන් හමුදාවේ නම් ගුවන් හමුදාවට. ඒ වගේම හමුදාවල සේවය කරන සෑම ශ්‍රේණියකම සෑම නිලයකම අපේ රණවිරුවන්ට අපේ නිලධාරීන්ට මේ ප්‍රකාශනය ඉතාමත් වැදගත් වෙනවා. මේ ප්‍රකාශනය දැක්කහම තමන්ගේ සේවාව ඉෂ්ට කරන්න සැබෑ ආත්ම ධෛර්යයක් ඇති වෙනවා. අධිෂ්ඨානශීලීභාවයක් ඇති වෙනවා. කැපවීමක් කරන්න තමන්ගේ හිතට එනවා. ඇයි ඒ? මේ වීරයන් ඒ විදියට වැඩ කළ නිසා නේද මේ වගේ ග්‍රන්ථයක් නිකුත් වුණේ. මමත් මගේ සේවය හරි හැටි කරනවා නම් දවසක සමහර විට මා වෙනුවෙනුත් මේ වගේ ප්‍රකාශනයක් ලියැවෙයි. ඉතිහාසයට එකතු වෙයි. අන්තර්ජාලයට එකතු වෙයි.

මම වසර දෙකකට පමණ පෙර හිටපු හමුදාපතිවරුත් ගෙනැල්ලා ඇහුවා 80 දශකයේ යුද්ධයේ ආරම්භයේ සිට අවසානය දක්වා 2009 මැයි මාසයේ යුද්ධයේ කතාව සැබෑ සත්‍ය වූ දේ ලියලා නැහැ නේද කියලා. ලියලා නැහැ. අදත් ලියලා නැහැ. මට තිබෙන එක්තරා කනගාටුවක් තමයි ඒක. ඒ සටන් බිමේ සිටි ඔබ වැනි අය ඉන්නවා. ඒ සටන් බිමේ සටන් කරනවා මාධ්‍ය තුළින් දැක්ක ජනතාව ඉන්නවා. නමුත් යුද්ධය ආරම්භ වුණේ 80 දශකයේ ද එහෙම නැත්නම් 76 යාපනය නගරාධිපති දොරෙඅප්පා ඝාතනය කරමින් ප්‍රභාකරන් එල්ල කළ පළමුවෙනි වෙඩිල්ලෙන් ද කොතනද කියන කතාව, ආරම්භය ඒක වෙනම පැත්තක්. එහෙත් අඩු තරමින් දොරෙඅප්පා ඝාතනයේ සිට 2009 මැයි මාසේ අපේ මානුෂීය මෙහෙයුම දක්වා ඒ සැබෑ යුද්ධයේ කතාව මේ වගේ ලියැවිලා කියවන්න තිබෙනවා නම් කොච්චර හොඳ ද? දයා රත්නායක මහත්මයා වැනි විශ්‍රාමික හමුදාපතිවරු අපේ ලේකම්තුමා වගේ මේ ඉන්න ජිවිත කාලය තුළ මේක කියයි. හැබැයි මේ සිටින සෑම කෙනෙක්ම ජීවිතයෙන් සමු ගත්තහම තමන් දන්න කතාව එතනින් ඉවරයි.

සටන් බිමේ සටන් කළ සොල්දාදුවගේ ඉඳලා අණදෙන නිලධාරියා දක්වා ආඥාපතිවරයා දක්වා තිස් වසකට ආසන්න යුද්ධයේ ඒ ශ්‍රේෂ්ඨ අභිමානවත් කතාව කියවන්න මේ රටේ අද ඉන්න දරුවෝ කොතරම් නම් ආස කරයි ද? අපි ඒකට අවස්ථාවක් දීලා නැහැ. මම දැන් වසර දෙකකට පමණ කලින් සියලුදෙනා ගෙනැල්ලා මේක කියලා ආරක්ෂක අමාත්‍යාංශයේ ඒකකයක් හැදුවා ඔය පොත ලියන්න කියලා. ඒ වෙලාවේ මම කිව්වා හිටපු හමුදාපතිවරු ඒ අයගේ නායකත්වය වගේම සටන් බිමේ සටන් කළ අද ජීවතුන් අතර සිටින අයගෙන් තොරතුරු ගන්න. ඒක මහාවංශයටත් වැඩි දිග කතාවක් විදියට ලියන්න පුළුවන්. කියවන කොට ඉන් ලැබෙන රසඥතාව එසේ මෙසේ කියලා කියන්න බැහැ. ඒ වගේම වීරත්වය ජාතියකට අවශ්‍ය ආත්ම අභිමානය, සටන්කාමිත්වය, අපේකම, අපේ උරුමය, දේශීයත්වය, අභිමානය අපේ මව්බිම කියන අදහස හැඟීම එවැනි පොතක් කියවීමෙන් කොච්චර නම් දැනේවිද? ඒ වගේම එදා ඒ සාකච්ඡාවෙන් පසුව ආරක්ෂක අමාත්‍යාංශයයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයි මම සම්බන්ධ කෙරුවා. විශ්වවිද්‍යාලයකුත් එක්ක එකතු වෙලා මේ ප්‍රකාශනය තිස් අවුරුදු කතාව ලියමු කියලා.

මීට වසර දෙකකට පමණ පෙර මගේ ගෙදරට ඒ සියලුදෙනාට එන්න කියලා මෙහෙම පොතක් ලියමු කියලා එදා මම කිව්වේ ඇයි? මට ආරංචි වුණ පරිදි ලෝකයේ ප්‍රබල රටක විශ්වවිද්‍යාලයක පර්යේෂණ අංශයක් එක්ක ලෝකයේ තැන්තැන්වල විහිදිලා සිටින එල්ටීටීඊ ජාලයේ ප්‍රධානීන් එකතු වෙලා එල්.ටී.ටී.ඊ.යේ සත්‍ය කතාව කියලා ප්‍රකාශනයක් මේ වෙන කොට ලියලා ඉවරයි. ඒ කතාව එළි දක්වපු දවසට ලෝකයේ දේශපාලනඥයන් ද විද්වතුන් ද හමුදා ප්‍රධානීන් ද පාසල් දරුවෙක් ද ඒ පොත කියෙව්වොත් අපි වැරැදිකාරයෝ එල්ටීටීඊය සහ ප්‍රභාකරන් තමයි හරි කියලා ඒ අය කියයි. ඒ රටවල සිටින අපේ ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙක් මට ඒ පණිවිඩය දුන්නේ. ඒ පොත ලියලා අවසාන කරන්න කිට්ටුව දැනගන්න ලැබුණු අවස්ථාවේ තමයි කඩිනමින් අපේ අය ගෙනැල්ලා මම කිව්වේ අපි අපේ හමුදාව පැත්තෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව රජය පැත්තෙන් අපේ කතාව ලියමු. කවුද ත්‍රස්තවාදියා. කවුද හරි කවුද වැරදිකාරයා කියලා. යුද්ධයේ ආරම්භය කුමක් ද? යුද්ධයේ සැබෑ කතාව කුමක් ද? යුද්ධයේ බීජය කොතන ද කියන එක අපි ලියමුයි කියලා. නමුත් අර පොත ලියලා අවසන් කර තිබෙන නිසා අන්තර්ජාලය මඟින් කියවන ලෝකයේ අය ඒක විශ්වාස කරාවි ලංකාවේ ඉන්නේ මහා ම්ලේච්ඡයෝ. ලංකාවේ ඉන්න ලාංකිකයෝ තමයි මේ යුද්ධයේ වැරදිකාරයෝ කියලා. මම හිතන්නේ අපි තවමත් ප්‍රමාද නැහැ. වෙනම ඒකකයක් හදපු අවස්ථාවේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයත් බොහෝම කැමැත්තෙන් ස්වෙච්ඡාවෙන් ඒ වැඩේට එකතු වුණා.

අද මේ උත්සවයට ඇවිල්ලා මේ ග්‍රන්ථය දැක්කහම මට මතක් වුණා මම මෙහෙම වැඩක් කෙරුවා නේද කියලා. ඒ නිසයි මම මේක කිව්වේ. තව වසර දහස් ගණනකින් ඒක අපේ යුද්ධයේ ප්‍රබලතම ඉතිහාස කතාව බවට පත් වේවි. ඒ නිසා එවැනි ග්‍රන්ථයක් රචනා කිරීමේ වැදගත්කම මේ අවස්ථාවේ මා නැවතත් විශේෂයෙන්ම මතක් කරනවා.

මේ සැබෑ ලංකා පුත්‍රයන් වීරයන් පිළිබඳව මෙවැනි ග්‍රන්ථයක් රචනා කරන්න අදහස දුන් මේ වෙනුවෙන් වැඩ කළ සියලු දෙනාටත් මීට අවශ්‍ය සහයෝගය දුන් ආරක්ෂක ලේකම්තුමා ඇතුළු අමාත්‍යාංශයටත් ස්තූතිවන්ත වෙමින් දිවි පිදූ ඒ රණවිරුවන් මේ මාතෘභූමියේ ම නැවත ඉපදේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබ සියලුදෙනාට ස්තූතිවන්ත වෙමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.

ආරක්ෂක ලේකම් ශාන්ත කෝට්ටේගොඩ මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරු ද, ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු, විශ්‍රාමික හමුදා නිලධාරීහු, රණවිරු පවුල්වල ඥාතීහු ඇතුළු පිරිසක් මෙ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();