විදේශ විනිමය උපයා ගන්න අපේ රටට නිසි ක්‍රමවේදයක් නැහැ
- මන්ත්‍රී මහින්ද අමරවීර
මුළු සමාජයම එක්ව එක් අයකු වැරැදිකරු කිරීම හෙළා දකිනවා
- ඇමැති නවීන් දිසානායක මහතා
සංචාරක ක්ෂේත්‍රය නැංවීමට සහන වැඩසටහනක් ඇරඹුවා
- ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා
විනිමය පාලක යටතේ තිබූ කාර්යයන් මෙම නියෝග මගින් ඇමැතිට පැවරිලා
- නියෝජ්‍ය ඇමැති අජිත් මාන්නප්පෙරුම මහතා
සාර්ව ආර්ථිකය ශක්තිමත්ව නොසැලී ඉදිරියට පවත්වාගෙන යෑමට අවශ්‍ය පදනම 2015 වසරේදී රට තුළ ඇතිකර තිබීම හේතුවෙන් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් මෙරට ආර්ථිකයට එල්ලවූ අභියෝගයට ශක්තිමත්ව මුහුණදීමට හැකිවූ බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23දා) ප්‍රකාශ කළේය.
දිගුකාලීන ආර්ථික වර්ධනය ඇතිකරගැනීමේ පදනම රට තුළ ශක්තිමත්වී තිබෙන බව පෙන්වාදුන් ඒ මහතා, ත්‍රස්තවාදී ප්‍රහාර හමුවේ වුවද මූලික ආර්ථික දර්ශක ස්ථාවරව පවත්වාගෙනයාමට ශ්‍රී ලංකාවට හැකිව තිබෙන බවද දේශපාලන, ආර්ථික වශයෙන් රට ශක්තිමත් කිරීම සඳහා සියලු ක්‍රියාමාර්ග රජය විසින් ගෙන තිබෙන බවද සඳහන් කළේය.
වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් අනතුරුව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23දා) පෙරවරු 10.30ට පාර්ලිමේන්තුව රැස්විය.
නිවේදන, ලිපිලේඛන හා මහජන පෙත්සම් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරු අසන ලද ප්‍රශ්න සඳහා ඒ ඒ විෂය බාර ඇමැතිවරු පිළිතුරු ලබාදුන්හ. විදේශ විනිමය පනත යටතේ නියෝග සම්බන්ධ විවාදය ආරම්භ විය.
මුදල් ඇමැති මංගල සමරවීර මහතා - රටම ත්‍රස්තවාදී ප්‍රහාරයකට මුහුණදීලා මසක් සම්පූර්ණ වනවිටත් ඒ ශෝකය අපගේ සිත්වල තිබෙනවා. අපේ රටේ යළි ආර්ථික ස්ථාවරත්වය, දේශපාලන ස්ථාවරය ඇතිකරන්න සියලු පියවර වගකිවයුතු රජයක් ලෙස ගෙන තිබෙනවා. රටට යළි ආර්ථික, සාමය, සමගිය උදාවුණේ 2015න් පසුවයි. ජාත්‍යන්තරය තුළ ඉමහත් කීර්තියක් රටට ඇතිවුණා. ආර්ථික, දේශපාලන ස්ථාවරත්වය තුළ රට ක්‍රමවත්, විධිමත් මාවතකට යොමු වුණා.
නමුත් අවාසනාවන්ත සිදුවීම් දෙකක් වුණා. 2016දී මහා නියඟයක් ආවා. ඔක්තෝබර් 26 කුමන්ත්‍රණය අපි දන්නවා. මේ රටේ බහුතරය බෞද්ධයි. නමුත් සියලු ශ්‍රී ලාංකිකයන්ට අයිති. මම බෞද්ධ දර්ශනය අදහන්නේ. රටකට, ආගමකට, ජාතියකට, කුලයකට බෞද්ධ දර්ශනය සීමා වී නැහැ.
සමහර චීවරධාරීන් බෞද්ධ දර්ශනය වවාගෙන කන්න හදනවා. බෞද්ධ දර්ශනය නිසා කලාව, සාහිත්‍ය පෝෂණය වී තිබෙනවා. කුරානයෙන් කතා කරන්නෙත් සාමය ගැනයි. ඒක පුද්ගලයෙකුට නොව මේ විශ්වාසභංගය සියලු මුස්ලිම්වරුන්ට විරුද්ධවයි ගේන‍්නේ. අපි සැම එකට ඉන්නකල් මේ ආණ්ඩුව පරද්දන්න බැහැ.
කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා (එ.ජ.නි.ස.) - පසුගිය පාස්කු දිනයේ සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් තොරණ නිර්මාණය කරන නිර්මාණකරුවන් අසරණ තත්ත්වයට පත්ව තිබෙනවා. මේ ගැන රජයේ අවධානය යොමුකරන්න.
මුදල් ඇමැති මංගල සමරවීර මහතා - මේ සම්බන්ධයෙන් ඉල්ලීමක් කරන්නේ නම් සලකා බලන්න පුළුවන්.
කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා (එ.ජ.නි.ස.) - පාස්කු ප්‍රහාරයෙන් පසුව හෝටල් කර්මාන්තයට සිදුවූ බලපෑම නිසා ණය ගෙවීමේදී වසරක සහන කාලයක් හෝටල් කර්මාන්තයට දී තිබෙනවා. ඒ වගේම මේ කර්මාන්තයට සම්බන්ධ වාහන හිමියන්ට විවිධ ලීසිං පහසුකම් ගැනීමේදී මුදල් ගෙවන්න වෙනවා. එහිදී ඔවුන්ට අද වනවිට ආදායම් අහිමි වී ගොස් තිබෙනවා. නියමිත දිනයට වාරික ගෙවන්න සිදුවෙනවා. මේ රටට විදේශ විනිමය ගලා ඒම හා විදේශ විනිමය ගලායාම පිළිබඳව ක්‍රමවත් අධීක්ෂණයකින් සිදුවුණා. නමුත් විනිමය පාලන පනත ලිහිල්කරණය තුළින් අපේ රටට විශාල අගතියක් වෙන්න පුළුවන්. මේ තුළ අපිට විශාල ප්‍රශ්න වන බවට අපි අනතුරු අඟවා තිබෙනවා.
මහින්ද රාජපක්ෂ පාලන සමයේ ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කර තිබෙන්නේ ඇමෙරිකානු ඩොලර් බිලියන 5.5යි. නමුත් මේ ආණ්ඩුව දැනට ඩොලර් බිලියන 10.5ක් අරගෙන තිබෙනවා. මේ කුමක්ද සිදුව තිබෙන්නේ. දිගින් දිගටම රුපියල කඩාවැටෙමින් රටේ ආර්ථික ස්ථායිතාව ඇතිකරන්න මේ තුළින් නොහැකි වී තිබෙනවා. රුපියල කඩාවැටීම නිසා රාජ්‍ය ණය රුපියල් බිලියන 1760 කින් ඉහළ ගොස් තිබෙනවා. මෙය රටට විශාල ණය බරක්. මේ ගැන අපේ අවධානය යොමු කළ යුතු වෙනවා.
වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා - රිෂාඩ් බදියුදීන් මහතා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් අද වනවිට ආන්දෝලනයට ලක්ව තිබෙනවා. මම දේශපාලනඥයෙක් හැටියට නිදහසේ ගමන් කරනවා. නිදහසේ කතා කරනවා. අපේ රටේ ජනතාව නීච ලෙස වර්ගීකරණය කරනවා. ජාතිකත්වයෙන් බලනවා. සිංහලයකු, ද්‍රවිඩයකු, මුස්ලිම් ජාතිකයකු වීම අපරාධයක් නොවේ. නමුත් ත්‍රස්තවාදියෙක් වීම අපරාධයක්. පසුගිය පාස්කු ප්‍රහාරය අයි. එස්. විසින් මෙහෙයවූ ප්‍රහාරයක්. ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය අපි පරාජය කළා. ඔවුන් මගේ පියත් ඝාතනය කළා. ඒ නිසා ත්‍රස්තවාදයෙන් වන හානිය, විනාශය මා දන්නවා.
අපි එදා පරාජය කළේ ත්‍රස්තවාදය මිස ද්‍රවිඩ ජනතාව නොවේ. මුස්ලිම් ආගමට මුවාවී ත්‍රස්තවාදය කරනවා නම් අපි එය මුලිනුපුටා දැමිය යුතුයි. රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහි විශ්වාසභංගයක් පැමිණ තිබෙනවා. ඔහු ශුද්ධ කිරීම මට අවශ්‍ය නැත. ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කර යම්කිසි සත්‍යයක් ඇත්නම් විශ්වාසභංගයට මුලින්ම අත උස්සන්නේ මමයි. අපි විශේෂයෙන් සාක්ෂි සොයාගෙන යම් යම් නිගමනවලට පැමිණිය යුතුයි. මුළු සමාජයම එක් අයකු වැරැදිකරු කිරීමට කරන උත්සාහය හෙළා දකිනවා.
අපිට කරුණු ඉදිරිපත් කරන්න. 18, 19 මේ ගැන විවාදයක් කරනවා. මා සිනාවෙනවා මේ ප්‍රවෘත්තියේ පෙන්වනවා. මා හා මාධ්‍යවේදියා අතර ඉරියව්වලින් යම් පණිවුඩයක් කළා. නමුත් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් හානියට පත් කිසිවකු සමච්චලයට ලක්කළේ නැහැ. මෙම ප්‍රවෘත්තිය සංස්කරණය කිරීමක් කර තිබෙනවා. එය ජනතාව තුළ මා ගැන කලකිරීමක් අතිකරවන්නක්. ඒ ගැන යම් අයකුට සිත් තැවුලක් වුණානම් කනගාටුව පළකරනවා.
රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා (එ.ජ.නි.ස.) -දර්ශක ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන බවට මුදල් ඇමැති කියනවා. නමුත් දූෂණය වැඩියි. මානව සංවර්ධන දර්ශකය පහත වැටී තිබෙනවා. ආර්ථික වර්ධන වේගය ක්‍රමයෙන් අඩු වී තිබෙනවා. මේවා ගැනද මුදල් ඇමැති කියන්නේ. මේ නිසා නිලධාරීන් හොඳ තොරතුරු සැපයිය යුතුයි. මේ මුදල් ඇමැති ජිනීවාවලට ගොස් අත්සන් කළ ගිවිසුම නිසා රටේ ස්වෛරීභාවයට තර්ජනයක් වී තිබෙනවා. මේ රටේ මිනිස්සුන්ට විදේශ විනිමය වෙනත් රටට ගෙනයාමට ඇති අයිතිය එදා නිදහස් ආර්ථිකයෙන් තීරණය කළා.
නමුත් අපේ නිදහස් ආනයන ප්‍රතිපත්තිය මත ඕනම දෙයක් ගේන්න ඉඩදී තිබෙනවා. ඕන තරම් මුදලක් විදේශයන්ට ගලාගෙන යනවා. ඒ නිසා රටේ මුදල් විශාල වශයෙන් විදේශයන්ට ඇදී යනවා. මේ රටේ ජීවන වියදම ඉහළ යනවා. ජීවන මට්ටම ඉතාම පහළට වැටුණා.
නියෝජ්‍ය කාරක සභා සභාපති ශෙල්වම් අඩේක්ලනාදන් මහතා මුලසුනට පැමිණියේය.
විදේශ විනිමය පාලනය කිරීම නියාමනය ඉවත් කරන්න මේ ආණ්ඩුව පියවර ගත්තා. මේ විදේශ මුදල් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ බවට තොරතුරු ලැබී තිබෙනවා.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය ඇමැති අශෝක අබේසිංහ මහතා - ආසන 300ට වඩා දිනාගත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට මුලින්ම සුබපතන්න කැමැතියි. අපේ රටට වැඩිම මුදලක් ලැබෙන්නේ බදු ආදායමින්. නමුත් මේ කාලයේ ආදායමේ අඩුවක් තිබෙනවා. ආනයන අපනයන අඩුවීම නිසා රේගුවෙන් දිනකට ලැබෙන රුපියල් බිලියන තුනක මුදල අඩුවී තිබෙනවා. ඒ නමුත් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කරන්න පියවර ගෙන තිබෙනවා. රුපියල් බිලියන 430ක් මෙවර සහනාධාර වෙනුවෙන් මුදල් වෙන්කර තිබෙනවා.
එම සහනාධාර කප්පාදු නොකර ලක්ෂ 6කට සමෘද්ධි සහනාධාර දෙන්න පියවර ගෙන තිබෙනවා. ඒ තුළ ණය ගෙවිය හැකි රටක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අපේ රට නම්කර තිබෙනවා. අපිට ලෝකයේ ආර්ථික හතුරන් නැහැ. පසුගිය ජනවාරි පළමුවැනිදා සිට 15 වැනිදා දක්වා කාලය තුළ ලංකා බැංකුවේ ඒ. ටී. එම්. යන්ත්‍ර ඔස්සේ කෝටි හත්දහස් තුන්සියයක මුදලක් සංසරණය වී තිබෙනවා. 2018 වසරේදී එම කාලය තුළ සංසරණය වී තිබෙන්නෙ කෝටි පන්දහසක ප්‍රමාණයක්. ඒ අනුව පැහැදිලි වන්නෙ ජනතාවගේ ළඟ පසුගිය වසරවලට වඩා මේ වසරේදී මුදල් සංසරණය වී ඇති බව.
පත්කළ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා (ජවිපෙ) - අපිට විවිධ ආකාරවලට බෙදෙන්න පුළුවන්. නමුත් සමහර කාරණාවලදී රටක් ලෙස එම බෙදීම් සුදුසු නැහැ. ඒ වගේම පෞද්ගලිකකරණයට රජය එකඟයි. අපි විරුද්ධයි. අර්ජුන් මහේන්ද්‍රන් ගැන කව්රුත් අද කතා කරන්නෙ නෑ. මදුෂ් ගැන කතා කරන්නෙ නෑ. ඒ නිසා අපි දැඩි ලෙස අවධානය යොමුකළ යුතු කරුණු තිබෙනවා.
ණය ලබාගත් සංචාරක ක්ෂේත්‍රයේ සියලු දෙනාට ණය සහන කාලයක් ලබාදිය යුතුයි. ජාතික සංචාරක වෘත්තීය සංගමයේ අදහස් ලබාගෙන එය කළ යුතුයි.
මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රී විජිත බේරුගොඩ මහතා (එ.ජ.නි.ස) -21 දින ප්‍රහාරයේ කම්පනය රටට, ජනතාවට, ආර්ථිකයට, සංස්කෘතියට කල බලපෑම අතිමහත්. ප්‍රහාරයට පෙරද රටේ ආර්ථිකය සුබදායක වූයේ නෑ. ආර්ථික වර්ධනය ක්‍රමයෙන් අඩුවෙනවා. ලෝකයේ රටවල් 37ක් අපේ රට අනාරක්ෂිත සංචාරක රටක් ලෙස නම්කර තිබෙනවා. සංචාරක පැමිණීම 7.5%කින් අඩුවෙලා. අයවැයෙන් වෙන්කළ ප්‍රාග්ධන වියදම් සියයට පහළොවකින් කපාහැරීමට රජය තීරණය කරලා.
මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී එස්. යෝගේස්වරන් මහතා (දෙ.ජා.ස.) -පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මිනිස් ජීවිතවලට සිදුවූ විනාශය මෙන්ම ඉන්පසුව ආර්ථිකයට වන දැඩි බලපෑමෙහි වගකීම රජය බාරගත යුතුයි. විදේශ මුදල් මේ සංවිධානවලට ලැබිලා තිබෙන බවට තොරතුරු තිබෙනවා. ඒ පිළිබඳව සොයා බැලිය යුතුයි. අරාබි රාජ්‍යවලින් මුදල් ලැබීමේ පසුබිමක් තුළ අයි.එස්. තස්ත්‍ර සංවිධාන පෝෂණය වෙනවා.
මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා - අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව මැයි 08 දින වන විට සංචාරක ක්ෂේත්‍රයට ලබාදෙන සහන අපි ප්‍රකාශ කළා. මෙම සහනාධාර සෘජුව වක්‍රව සංචාරක ක්ෂේත්‍රයේ සියලු දෙනාට ලබාගන්න පුළුවන්. සමස්ත ජාලයටම සහන දෙනවා. ණය සහනය 2020 අගෝස්තු වෙනතුරු ලබාගන්න පුළුවන්. එම සහනාධාරය ලබාගන්න අදාළ ණය හිමියා අදාළ බැංකුව සමඟ සාකච්ඡා කළ යුතුයි. මැයි 08 ලබාදුන්න මෙම සහනය. හොටල් හිමියාට පමණක් නොව එම හොටලයේ සේවය කරන සේවකයාටත් අදාළයි. එම සේවකයා නිවාසයක් හදන්න ණයක් ලබාගෙන තිබේ නම් එම සහනය ලැබෙනවා.
මොකද සංචාරක ක්ෂේත්‍රය කඩාවැටීමෙන් හොටල් සේවකයාට සර්විස් චාජ් එක නොලැබෙන නිසා මෙම සහනය ලබා දෙනවා. සංචාරක ක්ෂේත්‍රයේ ලියාපදිංචිව සිටින නැතහොත් සංචාරක සේවා සපයන බවට ප්‍රාදේශීය සභාවේ, නගර සභාවේ, පළාත් සභාවේ ලියාපදිංචි වූ අයටත් මෙම සහනය ලැබෙන පරිදි පසුගිය 21 දින චක්‍රලේඛයක් නිකුත් කළා. අපි ජැයිකා ආයතනයෙන් විශාල ආධාරයක් ලබාගත්තා. ඩොලර් බිලියන 1.7ක අවුරුදු 30 කාලයකට ලබාගත්තා. මෙම ණය සඳහා අවුරුදු 12ක සහන කාලයක් ලැබෙනවා.
අපි ඩොලර් මිලියන 480ක් ලබාගෙන ඉන් ඩොලර් මිලියන 350ක් පොදු ප්‍රවාහනය සංවර්ධනයට යොදවනවා. මුදල් අමාත්‍යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන ගණනාවක් සම්බන්ධවී මෙම කාර්යය සිදු කරනවා.
අපි රට තුළ ප්‍රධාන මංසන්ධි 132ක් නවීකරණය කරමින් සිටිනවා. වැඩ කරන ජනතාවගෙන් සියයට 36ක් පමණයි කාන්තාවන් රැකියා ක්ෂේත්‍රයට පිවිස ඇත්තේ එය තව පුළුල් කිරීමට ප්‍රවාහන ක්ෂේත්‍රය දියුණු කිරීම තුළින් පුළුවන්, ඉතිරි ඩොලර් මිලියන 67න් රජයේ ලේඛන ඔප්පු තිරප්පු ඩිජිටල් කරණය කරනවා. එවිට අපේ ඉඩම් ඔප්පුවල ආරක්ෂාව වැඩිවෙනවා.
ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රසන්න රණවීර (එ.ජ.නි.ස) - අද ජාතික ආරක්ෂාව කඩාවැටිලා, බොරු පොරොන්දු නිසා ජාතික ආර්ථිකය කඩා වැටිලා. ‘මඟ හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී’ තත්ත්වයට රට පත්වෙලා. මඟ හිටියොත් වෙඩි කනවාද ගෙදර ගිහින් කුසගින්නේ මැරෙනවද කියන ප්‍රශ්නය ජනතාව ඉදිරියේ තබලා.
අද ආණ්ඩුව ස්වෛරිත්ව බැඳුම්කර ගිනි පොලියට ලබාගන්නවා. ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුව තුළින් පමණක් ඇමරිකන් ඩොලර් මිලියන 854ක් පාඩු වෙලා තිබෙනවා. එය රුපියල් මිලියන 154ක්. ආර්ථිකය කළමනාකරණය කළා නම් රුපියල අවප්‍රමාණයෙන් සිදුවූ පාඩුව අවමකරගැනීමට තිබුණා.
කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා - ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හරහා මුදල් ඉපයීම සම්බන්ධයෙන් වන විධිවිධාන සැලැස්වීම ගැන අද අපි කතා කරනවා. අපේ රටේ ආනයන අපනයන අතර පරතරය කෙතරම්ද, තෙල්, ඖෂධ, පොහොර ගේන්න අපේ රටට ඩොලර් බිලියන 20ක් පමණ යනවා. නමුත් අපේ රටට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් බිලියන 10ක් පමණ වෙනවා. ඒ අනුව වෙළඳ පරතරය ඩොලර් බිලියන 10ක් පමණ වෙනවා. අපනයන ඉහළ නැංවිය යුතුයි. සේවා අංශය දියුණු කළ යුතුයි. ආයෝජන ශක්තිමත් කළ යුතුයි.
මේ අංශයන් ගත්විට ඒවා ශක්තිමත් කරන්න ආණ්ඩුව අසමත් වී තිබෙනවා. යුද්ධය අවසන් කළ වසරේදී මෙරටට පැමිණියේ සංචාරකයන් 450,000ක් පමණයි. නමුත් මෑතක් වනවිට ලක්ෂ 20ක් සංචාරකයන් පැමිණියා. නමුත් පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟ විදේශ රටවල් සංචාරක උපදේශ නිකුත් කර තිබෙනවා. මේ සියල්ලට ජාතික ආරක්ෂාව ඉතාම වැදගත්. එදා මේ රටේ දෙමාපියන් පාසල් මුර කළා. අද ඒ තත්ත්වයට පැමිණ තිබෙනවා. මේ ආණ්ඩුව විදෙස් සංවිධානවල අවශ්‍යතා ක්‍රියාත්මක කළා. ජාතික ආරක්ෂාව පරදුවට තිබ්බා.
මේ ආණ්ඩුවට දැක්මක්, සැලැස්මක්, හැකියාවක් නැහැ. අලුත් ව්‍යවස්ථාවක් දෙනවා කීවා. නමුත් වෙච්ච දෙයක් නැහැ. අද දෙමළ ජාතික සන්ධානයට උතුරට යන්න බැරි තත්ත්වයක් ඇතිව තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වාගන්න ක්‍රියා කළා නම් මේ කිසිවක් නැහැ. අද බැඳුම්කරය මතක නැහැ. අට දෙනෙක් මරාගෙන මැරුණා. 250ක් මේ රටේ මියගියා යනුවෙන් ආණ්ඩුව කියනවා. මේ ආණ්ඩුව අද විත්ති කූඩුවේ ඉන්නවා. නිසි ආර්ථික කළමනාකරණයක් මේ ආණ්ඩුවට නැහැ. තවත් මේ රට අගාධයකට පත් නොකර නිශ්චිත දිනයේ මැතිවරණයකට සූදානම් වෙන්න.
සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා - සංචාරක ක්ෂේත්‍රයට විශාල පහරක් වැදුනා. ගිය වසරේ ඩොලර් බිලියන 4.5ක ආදායමක් ලැබුණා. මේ වසරේ ඩොලර් බිලියන 5ක ඉලක්කයක් අපේක්ෂා කළත් ඒ තැනට යන්න අමාරුයි. සංචාරක ක්ෂේත්‍රයේ නිරත වන්නන්ට සහනාධාර දෙන්න රජය පියවර ගෙන තිබෙනවා. ලබන වසරේ අප්‍රේල් දක්වා පොලිය අවම කර තිබෙනවා. වැට් බද්ධ අවමකර තිබෙනවා. ප්‍රාදේශීය සභාව, නගර සභාව ආදියේ ලියාපදිංචි වී තිබෙනවා නම් මේ සහනය ලැබෙනවා.
අපි මේ සහන ලබාගන්න අවශ්‍ය වැඩපිළිවෙළ ගැන දැනුවත් කරනවා. ලබන වසරේදී මේ ක්ෂේත්‍රය යථා තත්ත්වයට පත් කරන්න හැකි වෙනවා. මෙතනදී දේශපාලන භේද සැලකිය යුතු නැහැ. මේ කර්මාන්තය දියුණු කළ යුතු වෙනවා. මම විදේශ තානාපතිවරුන් හමුවී සාකච්ඡා කරනවා. මෙරටට විදෙස් සංචාරකයන් ගෙන්න ගන්න පියවර ගන්නවා. පාසල්වලට ළමුන් පැමිණීමේ විශාල ප්‍රගතියක් තිබෙනවා. ජාතික සමගිය විනාශ කරන්න ඇතැම් අය උත්සාහ කරනවා. ජනතාවට සහන දෙන්න රජය පියවර ගෙන තිබෙනවා. නැවත වරක් මෙරටට විදෙස් සංචාරකයන් ගෙන්වා ගන්න උත්සාහ කරනවා.
පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී සිඩ්නි ජයරත්න මහතා මුලසුනට පැමිණියේය.
හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද අමරවීර මහතා (එ.ජ.නි.ස) - විදේශ විනිමය ශක්තිමත් කර ගැනීම සෑම ආණ්ඩුවක්ම කළ යුතුයි. විදේශ විනිමය සොයා ගන්න අපේ රටේ කාන්තාවන් විදේශ රටවල වහල් සේවයේ නිරත වෙනවා. විදේශ විනිමය උපයා ගන්න අපේ රටට නිසි ක්‍රමවේදයක් නැහැ. ගෘහ සේවය නොමැතිව ඉහළ වැටුපක් ගතහැකි රැකියා තිබෙනවා. ඒ වෙනුවෙන් ශ්‍රමිකයන් පුහුණු කරගන්න අපිට නොහැකි වී තිබෙනවා. විවිධ රැකියා අවස්ථාවන් තිබෙනවා. අද වනවිට විදේශ විනිමය හිඟතාවයක් අපේ රටේ තිබෙනවා.
සංචාරක කර්මාන්තයෙන් විදේශ විනිමය ඉපයීම ඇහිරී ගොස් තිබෙනවා. සංචාරක කර්මාන්තය හොඳ මට්ටමක තිබුණා නම් විදේශ විනිමය ඉහළින්ම අපේ රටට ලැබෙනවා. සංචාරක ව්‍යාපාරයේ නිරත වූ විශාල පිරිසක් අසරණ තත්ත්වයට පත්ව තිබෙනවා.
අපේ රටතුළ විශ්වාසයක් ගොඩනැගිය යුතුයි. ජාත්‍යන්තරයට ආරක්ෂාව පිළිබඳ පණිවුඩයක් දියයුතු වෙනවා. අනාගතයට සරිලන ලෙස වැඩපිළිවෙළක් නිර්මාණය කළයුතු වෙනවා. මේකට අවශ්‍ය අදහස් ඉදිරිපත් කර හොඳ වැඩපිළිවෙළකට යන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ක්‍රියාකර තිබෙනවා.
පොදු සැපයීම් සහ ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා -
ත්‍රස්තවාදය හා මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් අපි ග්‍රේ ලැයිස්තුවට දමා තිබෙන බවට ප්‍රකාශ වුණා. ඒ 2014 වසරේ සිදුවීම් සම්බන්ධයෙන් බව කියන්න කැමැතියි. නිර්දේශ 43ක් ඉදිරිපත් කර තිබෙනවා. අන්‍යෝන්‍ය තක්සේරුවකින් අපි කටයුතු කරගෙන යනවා. ලෝකයේ විවිධ රටවල් ත්‍රස්තවාදයට මුදල් සැපයීම ගැන කතා කරනවා. මෙවැන්නක් ගැන අපිත් නිසි ක්‍රියාමාර්ග ගතයුතු වෙනවා. ශ්‍රී ලංකාව 2006 වසරේ මුල් අවස්ථාවේ තක්සේරුවකට ලක්කර තිබෙනවා.
අපිට එල්ල කරන චෝදනා පදනම් විරහිතයි. මේ චෝදනා අඩුපාඩු ඉවත්කර ගන්න නිර්දේශ 15ක් පමණ අපි මේ වනවිට ක්‍රියාත්මක කර තිබෙනවා. 2015 වසරේ සිට මේ වෙනුවෙන් ප්‍රබල ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. මේ අළු ලැයිස්තුවට යන්න වීම ගැන අපේ රජයට දෝෂාරෝපණය කර වැඩක් නැහැ. ශ්‍රී ලංකාව අළු ලැයිස්තුවෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඔවුන් අවධානය යොමුකර තිබෙනවා. මුදල් විශුද්ධිකරණ වැළැක්වීම සඳහා අපි ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඔවුන් තක්සේරුවකට පැමිණෙයි.
නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා මුලසුනට පැමිණියේය.
පරිසර නියෝජ්‍ය ඇමැති අජිත් මාන්නප්පෙරුම මහතා - විශ්වාසභංගයක් ගේනවනම් අරමුණක් තිබිය යුතුයි. විපක්ෂ නායකතුමා රෑට කියනවනම් අපේ පැත්තට එන්න බේර ගන්නවා කියනවනම් එයට අපිට ඉඩ දෙන්න බෑ. විපක්ෂ නායක අත්සන් නොකරන විශ්වාසභංගය මොකක්ද? අක්කර 2000ක් ගස් කපන්න ඉඩදීලා අද අත දික්කරනවා. ෂරියා විශ්වවිද්‍යාලයට ඉඩදුන්නේ කවුද? තව්හිද් ජමාද් ඇතිකළේ කවුද? කිරිපොවලා ඇතිකරලා දෂ්ඨ කරන්න හදනකොට අපේ පිටට පවරනවා.
විදේශ විනිමය පනත යටතේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සම්බන්ධයෙන් මුදල් ඇමැතිවරයාගේ නියෝගය හා විසර්ජන පනත යටතේ වන සංශෝධන නියෝග සම්මත විය.
පාර්ලිමේන්තුව අද (24) පෙරවරු 10.30ට යළි රැස්වේ.

0 Comments