Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බෞද්ධ මවුවරු 4000ක් වඳ කතාව ගැන සත්‍යතාව අදාළ අංශ දැනුවත් නෑ

Author(s): 
ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර
මහින්ද අලුත්ගෙදර

'සිසේරියන් සැත්කමකින් පසුව සිංහල බෞද්ධ මවුවරුන් හාරදහසක් වඳ භාවයට පත්කර ඇතැයි හා පාර්ලිමේන්තුවේ තවත් තව්හිද් ජමාද් සාමාජිකයෙක් යන සිරස්තල යටතේ ජාතික පුවත්පතක ඊයේ (23) දිනයේදී පළවූ ප්‍රවෘත්තිවල සත්‍යතාව පිළිබඳ පොලිස්පතිවරයා හා බුද්ධි අංශ වලින් තමන් විමසූ බවත් එම සිදුවීම් සම්බන්ධයෙන් අදාළ අංශ දැනුවත් නොමැති බව තමන්ට දැනුම් දුන් බවත් කතානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) ප්‍රකාශ කෙළේය.

මෙම ප්‍රවෘත්ති දෙකේම සත්‍ය අසත්‍යතාව සොයා බැලීමේ වගකිම රහස් පොලීසිය වෙත භාරකර ඇති බවට ආරක්ෂක අංශ දැනුම් දුන් බවද කතානායකවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේදී ඊයේ (23) දිනට නියමිත කටයුතු ආරම්භ කිරිමට පෙර ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් නායක , පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මතුකළ කරුණකට පිළිතුරු දෙමින් කතානායකවරයා මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා

සිසේරියන් සැත්කම් වලින් පසුව තව්හිද් ජමා‍ද් දොස්තර සිංහල මවුවරු හාරදහසක් වඳ භාවයට පත්කර ඇතිබව සඳහන් පුවතක් අද පළවී තිබෙනවා‍.අදාළ දොස්තර අල්ලන්න පුළුල් පරික්ෂණ සිදුකරන බවත් සඳහන්. මේ දෙස බැලුවම මෙම සිදුවීම බරපතලයි. මේව දැක්කම අනෙක් ජාතීන් වලට අයිති අය මුස්ලිම් දොස්තර වරයකු ළඟට‍ යාමටත් බය වෙනවා. ඒ වගේම මෙය ජාතීන් අතර විශාල ගැටුමක් ඇතිකිරීමට බලපෑමක් කළහැකි සිදුවීමක්. නමුත් මේ වෛද්‍යවරයා ඉන්නෙ කොහෙද,නම මොකක්ද කිසිවක් මේ පුවත තුළ සඳහන් වන්නේ නැහැ. ඒ නිසා මේ ගැන සොයා බලන ලෙස අපි වහාම රජයෙන් ඉල්ලා සිටිනවා. මේ පිළිබඳ සොයා බලන්න. මේ පිළිබඳ තොරතුරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව‍ට ලැබී තිබෙනවද.එසේ නොමැති නම් , මේ ප්‍රවෘත්ති වල සත්‍යතාවක් නැත්තම් ජාතිවාදය වැපිරිම වෙනුවෙන් ගනු ලබන පියවරයන් මොනවාද.

කතානායක කරූ ජයසූරිය මහතා

මම අද උදේ මෙය දුටුවාම වහාම අදාළ අංශ වලින් විමසීම් කළා. පොලිස්පති තුමාට කතාකළා. බුද්ධි අංශ ප්‍රධානින්ට කතාකළා. ඒ අය කිව්වා මේ ගැන කිසිම දැනුවත් වීමක් නැහැ කියලා. මේ පිළිබඳ බැරෑරුම් කම තේරුම් ගිය නිසාම මේ පිළිබඳව විමර්ශනයක් කරනවා කිව්වා. අනිත් ප්‍රවෘත්තිය තමයි, පාර්ලිමේන්තුව තුළ තව්හිද් ජමාද් එකට සම්බන්ධ තවත් අයෙක් සිටින බවට‍. එයත් මම සොයා බැලුවා. ඒත් එහෙම එකක් නැහැ. මේ දෙකම පිළිබඳව සොයන්න රහස් පොලිසියට පවරා ති‍බෙනවා.

අනුර කුමාර දිසානායක මහතා

දොස්තර අල්ලන්න පුළුල් පරික්ෂණ කරන බවත් මේ ප්‍රවෘත්ති‍යේ කියනවා. මේ පිළිබඳ පරික්ෂණ කරන්නේ ආරක්ෂක අංශ නෙවෙයි නම් කව්ද,

සභානායකවරයා

මේ සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවන්න කියා මම ඉල්ලනවා.

කතානායකවරයා

මේ පිළිබඳ අද ආරක්ෂක මණ්ඩලයේදිත් සාකච්ඡා කරනවා කිව්වා.මම මේ ගැන වාචිකව විමසුවා. ලිඛිතවත් ඉල්ලන්නම්.

සභානායකවරයා

‍තව පුද්ගලයකු පාර්ලිමේන්තුවේ සිටින බවටත් ප්‍රවෘත්තියක් පළවී තිබෙනවා.

කතානායකවරයා

ඒ ගැනත් මම විමසුවා. ඒ ගැනත් වාර්තාවක් ඉල්ලුවා. පොලිස්පතිතුමාත්, බුද්ධි අංශ ප්‍රධානිනූත් මේ ගැන දන්නේ නැහැ. තවත් සිද්ධියක් ඇහුවා. මාතලේ රසායනාගාර ද්‍රව්‍ය සිද්ධියක් ගැන. ඒ ගැනත් මම ඇහුවා. ඒ නඩුවෙන් එම පිරිස නිදහස්. ඒ පුද්ගලයා රයිෆල් ඇසෝසියේෂන් එකේ සභාපති.බොරු ප්‍රචාරයක් ගිහිල්ලා තිබෙනවා.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();