රටක මහාර්ඝතම වස්තුව එම රටෙහි බාල සහ තරුණ පරපුරයි. මේ පිරිස දියුණු කරලීම එරට සංවර්ධන පුනරුදයෙහි පදනම වන බව පොදු සමාජ පිළිගැනීමයි. ඊට හේතුව ඔවුන් ජාතියක අනාගතයෙහි උරුමක්කාරයන් ද පෙරගමන්කරුවන් ද සක්‍රීය දායකයන් ද වන බැවිනි. මේ බව මනාව පසක් කර ගත් කළුතර බෝධි භාරකාර මණ්ඩලය විසින් කළුතර දිස්ත්‍රික්කයේත් පොදුවේ සමස්ත රටෙහිත් අනාගත පරපුර සවිබල ගැන්වීම වෙනුවෙන් විවිධ සම්මා ව්‍යායාමයන් කීපයක් මේ වන විටත් ආරම්භ කොට ක්‍රියාවට නඟමින් සිටී.
දහම් පාසල් නඟා සිටුවීම හා දහම් ගුරු සංවර්ධනය මෙන්ම පාසල් අධ්‍යාපනය නඟා සිටුවීම වෙනුවෙන් ද දියත් කර ඇති එබඳු වැඩසටහන් රාශියක් මේ වන විටත් ක්‍රියාත්මකව පවතින අතර, එහි එක් වැදගත් වැඩසටහනක් වූ දහම් පාසල්වල ඉගෙනුම ලබන දරුවන් අතරින් සාමාන්‍ය පෙළ ඉතා ඉහළින් සමත්ව උසස් පෙළ අධ්‍යාපනය වෙත යොමු වන දරුවන් සඳහා පිරිනැමෙන බෝධි මඟ ශිෂ්‍යත්ව ප්‍රදානය පසුගිය දා (19) කළුතර බෝධි පරිශ්‍රයේ දී අති උත්සවාකාරයෙන් පවත්වනු ලැබීය.
2004 වර්ෂයේ දී සාමාන්‍ය පෙළ ඉතා ඉහළින් සමත් වූ දරුවන් 35 දෙනකුගෙන් ආරම්භ වූ ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහන අඛණ්ඩව වර්ෂයක් පාසා ක්‍රියාත්මක වූ අතර මේ වර්ෂය වන විට සාමාන්‍ය පෙළ ඉහළින් දිනූ දරුවන් 351 දෙනකු වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම තෙක් වැඩි දියුණුව ඇති බව ඉතා සතුටින් ප්‍රකාශ කළ යුතුය. කළුතර දිස්ත්‍රික්කයේ දහම් පාසල් දරුවන් අතරින් මෙසේ සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ 8කට වඩා ලබාගත් දරුවන් වෙනුවෙන් පිරිනැමෙන මේ ශිෂ්‍යත්වය වසරක් පුරා මාසිකව ශිෂ්‍යාධාර ප්‍රදානයක් ලෙස ක්‍රියාත්මක වේ.
මේ සත්කාරය අපේ අනාගත දුවා දරුවන්ගේ ‘ගුණ නැණ බල වැඩුම’ වෙනුවෙන්ම යොමු වූ ව්‍යාපෘතියක් ලෙස සැලකිය හැකි වන්නේ දහම් පාසල් අධ්‍යාපනයෙන් ගුණ බල සහිත වූ දරුවන් අතරින්ම මේ සාමාන්‍ය පෙළ විශිෂ්ට සාමාර්ථලාභීන් තෝරා ගන්නා ලද හෙයිනි.
මෙවර ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය කළුතර බෝධි පරිශ්‍රයේ උඩ මළුවේ ධර්ම මන්දිරයේ දී අමරපුර නිකායේ සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ මහානායක ආචාර්ය වස්කඩුවේ මහින්දවංශ මහානායක හිමිපාණන්ගේ සහ රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී බටුවන්ගල රාහුල හිමිපාණන්ගේ මූලිකත්වයෙන් ද, කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ සභාපති අජිත ද සොයිසා, හිටපු දිසා ඇමැති බෝධි භාරකාර මණ්ඩලයේ සාමාජික දේශබන්දු ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි හා සාමාජික අශාන් ද සොයිසා මහත්වරුන් ඇතුළු ගිහි ප්‍රභූවරුන්ගේ ද ශිෂ්‍යත්වලාභී දරුවන්ගේ ගුරු දෙගුරුන්ගේ ද සහභාගීත්වයෙන් අති උත්සවාකාරයෙන් පැවැත්විණි.
උත්සවයේ ආරාධිත දේශනය සාහිත්‍ය පිළිබඳ රාජ්‍ය සම්මානලාභී බටුවන්ගල රාහුල හිමිපාණන් වහන්සේ විසින් පැවැත් වූ අතර, අධ්‍යාපනයෙහි නියැළෙන දරුවන් තුළ තිබිය යුතු අධිෂ්ඨානශීලී බව හා යහගුණගරුකවීමේ අවශ්‍යතාව පිළිබඳව වර්තමාන සමාජ නිදර්ශන ද ඇසුරින් කරුණු කාරණා පැහැදිලි කරමින් එහි දී දීර්ඝ වටිනා දේශනයක් උන්වහන්සේ සිදු කළ අතර, බෝධි භාරකාර මණ්ඩලය විසින් ක්‍රියාවට නංවමින් ඇති විශේෂ අධ්‍යාපනික හා ධර්ම ශාස්ත්‍රීය මෙන්ම සමාජමය සේවාවන් පිළිබඳව හා ඒ සම්බන්ධව සභාපති ඇතුළු භාරකාර මණ්ඩලයෙහි කැපවීම වස්කඩුවේ මහින්දවංශ මහානායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනයේ දී විශේෂ ඇගයීමකට ද යොමු විය.

0 Comments