Ticker

6/recent/ticker-posts

Header Ads Widget

එක්ස්පෝ ඩුබායි 2020 ‍වෙළෙඳ ප්‍ර‍දර්ශනයට ශ්‍රී ලංකාවත් එක්වෙයි

2025 රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දැක්මට අනුව එහි ප්‍රමුඛ අරමුණ වන්නේ, ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ රටවල් අතරේ දැනුම පදනම් කරගත් අතිශයින් තරගකාරී සහ සාමාජීය හා වෙළෙඳ ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පරිවර්තනය කිරීමය. මේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට නම් අප රට ලෝකයේ අනෙකුත් රටවල් මෙන් අපනයන, විදෙස් සෘජු ආයෝජන සහ සංචාරක කර්මාන්තයට මූලිකත්වය දෙන රටක් බවට පත් විය යුතු අතර, එමගින් අප තරුණ පරපුර සඳහා වඩවඩාත් රැකියා අවස්ථා බිහි කිරීමට හා ඉතා ඉහළ ආදායම් මාර්ග සහිත පූර්ණ රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට හැකි වේ.

මේ අනුව 2025 අපගේ නව දැක්ම සාක්ෂාත් කර ගැනීමට, එක්ස්පෝ ඩුබායි 2020 වෙළෙඳ වැඩසටහන මඟින් දායකත්වය සැපයෙන අතර, අපගේ සංචාරක කර්මාන්තය වර්ධනය කර ගැනීමට හා නව්‍ය ව්‍යාපාර සංවර්ධනයට උනන්දු කිරීමට ද මෙය කදිම අවස්ථාවක් වනු ඇත. එපමණක් නොව විශේෂයෙන්ම වත්මනෙහි රට තුළ පවතින තත්ත්වය වෙනස් කරමින් වෙළෙඳ ව්‍යාපාර සඳහා ශ්‍රී ලංකාව අතිශයින් සුදුසු තෝතැන්නක් බවට ජාත්‍යන්තරය තුළ පිළිගැනීමක් ඇති කිරීමට ද මෙමගින් හැකිවනු ඇතැයි අපගේ විශ්වාසයයි.

මේ අනුව අපගේ නව අපේක්ෂාවන් ඉටු කර ගැනීමේ අරමුණින් 2020 එක්ස්පෝ ඩුබායි ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව ද සහභාගිවීමට තීරණය කර ඇති අතර, මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ ඇමැති මලික් සමරවික්‍රම මහතා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති අහමඩ් අලි අල් මුඅල්ලා මහතා අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය දා එම අමාත්‍යාංශයේ දී පැවැත්වුණි. මේ අවස්ථාවට සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිනිය සහ ප්‍ර‍ධාන විධායක ඉන්දිරා මල්වත්ත මිය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති මංගල යාපා මහතා ඇතුළුව එම ආයතනවල නිලධාරීන් සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සහ පුද්ගලික ක්ෂේත්‍රයෙහි සාමාජිකයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

‘Connecting Minds, Creating the Future’ යන තේමාව යටතේ එක්ස්පෝ වෙළෙඳ හා ආයෝජන ප්‍ර‍දර්ශනය 2020 ඔක්තෝබර් මස 10 වැනි දින සිට 2021 අප්‍රේල් මස 10 වැනි දින දක්වා ඩුබායි නගරයේ දී පැවැත්වේ. ශ්‍රී ලංකා ප්‍ර‍දර්ශන මණ්ඩපය ස්ථාපිත කෙරෙන්නේ 2020 එක්ස්පෝ ඩුබායි ප්‍රදර්ශනයෙහි ‘Opportunity’ නම් වූ දිශාවෙහි ‘Island of Ingenuity’ යන තේමාව යටතේය. මෙමගින් ශ්‍රී ලංකාවේ සාමාජික, ආර්ථික, තාක්ෂණික සහ සංස්කෘතික වශයෙන් වූ විවිධ අංශයන් විදහා දැක්වීමක් සිදු කරයි. මෙවර 2020 එක්ස්පෝ ඩුබායි ප්‍රදර්ශනය ලොව පුරා මිලියන 25කට වැඩි පිරිසක් ආකර්ෂණය කර ගැනීමට හැකි වෙතැයි එම සංවිධායකයෝ බලාපොරොත්තු වෙති.

මේ කාර්ය සඳහා ශ්‍රී ලංකා සහභාගීත්වය ප්‍රධාන වශයෙන්ම සංවිධානය කෙරෙන්නේ රාජ්‍ය හා පුද්ගලික අංශයේ එකතුවෙන් වන අතර, මෙහි දී රජය නියෝජනය කරන ප්‍රමුඛතා ආයතනය වශයෙන් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ක්‍රියා කරයි.

එක්ස්පෝ ඩුබායි ශ්‍රී ලංකා කොමිසනර් ජනරාල්වරයාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා දූත පිරිසකට එරටට පැමිණෙන ලෙස මෙහි දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා ආරාධනා කළ අතර, එහි දී වෙළෙඳ මණ්ඩප ක්‍ර‍මය යටතේ ශ්‍රී ලංකාව ලබා ඇති අවස්ථාව වඩාත් වාසිදායක ලෙස ප්‍රයෝජනයට ගන්නේ කෙසේද යන්න සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();