Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මේ වසර අවසන් වීමට පෙර හය ලක්ෂයකට සමෘද්ධිය දෙන වැඩපිළිවෙළ කඩිනමින්

Author(s): 
මානෙල් පුෂ්ප කුමාරි

මේ වසර අවසන් වීමට ප්‍රථම හය ලක්ෂයකට සමෘද්ධි දීමනාව ලබාදීමේ වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කරන බව සමෘද්ධි ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්විම් ඇමැති දයා ගමගේ මහතා පැවසීය.

සමස්ත ලංකා සමෘද්ධි කළමනාකරුවන්ගේ සංගමයේ 22 වැනි ජාතික මහා සම්මේලනය පෙරේදා(22) බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්විම් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති අවස්ථාවේ දී ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් ඇමැතිවරයා මෙසේද කීය.

සමෘද්ධිලාභීන් ලක්ෂ 14ක් පමණ ඉන්නවා. නමුත් අපි අපොහොසත් වෙලා තියෙනවා ඔවුන් සවිබල ගැන්වීමට. අපේ රටේ බොහෝ දුරට තියෙන්නේ යැපුම් මානසිකත්වයයි. ඔවුන් ඉන් ඉවත් කළ යුතුයි. ඒ සඳහා මේ නිලධාරීන් එහි කොටස්කරුවන් විය යුතුයි. සමෘද්ධිය දුන් පලියට අපිට මිනිස්සුන්ව සමෘද්ධිමත් කරන්න පුළුවන්කමක් නැහැ. ක්‍රියාන්විත හමුදාවක් හැටියට අපි මේ නිලධාරීන් යෙදෙව්වොත් මම විශ්වාස කරනවා වසර 03 කින් රට යන අත වෙනස් කිරීමට. කවුරුත් මේ අමාත්‍යාංශය භාර ගන්න කැමැති නැහැ. ඕක මහ හිසරදයක් කියලා කියනවා යැයිද අමාත්‍යවරයා මෙහිදී කීය.

සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ වූ කාලයේ පැවැති පනත සංශා්ධනය කරගනිමින් වර්තමානයේ එම පනත නැවත සංශා්ධනය කර ගැනීමට හැකි වූ බව සමස්ත ලංකා සමෘද්ධි කළමනාකරුවන්ගේ සංගමයේ සභාපති පී.කේ.රනුග්ගේ මහතා ප්‍රකාශ කළේය.

කලින් කලට ඇමැතිවරු සභාපතිවරු මාරු වුවද කතිකාවතක් ඇති කර ජාතික ප්‍රතිපත්තියක් ඇති කිරීමට ද බලාපොරොත්තු වන බව ද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

අමාත්‍යාංශයේ ලේකම් කේ.ජී.අශෝක අලවත්ත ,හිටපු සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් ජී.දඩල්ලගේ, සමෘද්ධි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් බණ්ඩාර මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීහු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ. මේ උත්සව අවස්ථාවේ පිළිගැනීමේ කතාව සමස්ත ලංකා සමෘද්ධි කළමනාකරුවන්ගේ සංගමයේ උප සභාපති එම්.කේ.ශාන්ත මහතා සිදු කළේය.

මේ ජාතික මහා සම්මේලනයට සමෘද්ධි කළමනාකරුවන් ,නිලධාරීන් හත්සියයකට අධික පිරිසක් සහභාගි වූ අතර විශ්‍රාමික සමෘද්ධි නිලධාරීහු පිරිසකට චෙක්පත් ප්‍රදානයක් ද අමාත්‍යවරයා අතින් සිදුවිය.

ඡායාරූපය - රුවන් ද සිල්වා

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();