‘රට භාර ගන්නට සිහින දකින කණ්ඩායමක් මේ ඛේදවාචකයට මුහුණ දුන් ජනතාව සහමුලින්ම අමතක කර, එය මතකයෙන්ද ඉවත් කර පෞද්ගලික වාසි ලබා ගෙන තමන්ගේ මඩි තර කර ගන්නට උත්සාහ කරනවා’ යැයි නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
ඇමැතිවරයා මේ බව පැවැසුවේ ‘යළි පිබිදුනු ගම් උදාව’ වැඩසටහන යටතේ පෙරේදා (22) දින හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, එලල්ල ප්‍රදේශයේ ඉදිකළ ‘සඳසිසිලගම’ සහ කැටන්වැව ප්‍රදේශයේ ඉදිකළ ‘සිවරජගම’ උදාගම්මානය ජනතා අයිතියට පත් වන 188 වන සහ 189 වන උදා ගම්මානයන් ජනතා අයිතියට පත්කළ අවස්ථාවේදීය.
‘සඳසිසිලගම’ සහ ‘සිවරජගම’ උදා ගම්මාන දෙක නිවාස 37 කින් සමන්විතයි. ඉඩමක් හා නිවෙසක් නොමැති පවුල් 37කට අප මේ ගම්මාන දෙකෙහි නොමිලේ ඉඩම් ලබා දී නිවාස ඉදිකර ගැනීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හරහා සුළු පොලී ණය මත මේ නිවාස ලබාදී තිබේ. මේ උදා ගම්මාන දෙකෙහි කටයුතු අංග සම්පූර්ණව නිම කිරීම සඳහා රුපියල් ලක්ෂ 310ක පමණ මුදලක් වැය කර තිබේ. පිරිසිදු පානීය නළ ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග පද්ධති ඇතුළු සියලු යටිතල පහසුකම්වලින් ‘සඳසිසිලගම’ සහ ‘සිවරජගම’ උදා ගම්මාන සමන්විතයි.
එහි දී අදහස් දැක් වූ ඇමැති සජිත් ප්‍රේමදාස මහතා,
නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ලෙස අද අප රට පුරා ඉලක්ක සහිත පැහැදිලි, ශීඝ්‍රගාමී නිවාස සංවර්ධනයක් ක්‍රියාත්මක කරමින් සිටිනවා. අපේ මූලික ඉලක්කය වන්නේ වසර 2025 දී රටේ ‘සැමට සෙවණ’ ලබා දීමයි. ඒ අනුව වසර 2025 වන විට රටේ උදා ගම්මාන 20,000ක් ඉදි කර ජාති, කුලමල, පන්ති, පක්ෂ, පාට භේදයෙන් තොරව ‘සැමට සෙවණ’ ලබා දෙන්නට කටයුතු කරනවා.
මේ වන විට දිවයින පුරා උදා ගම්මාන 2,319ක පමණ ඉදිකිරීම් කටයුතු අප ආරම්භ කර තිබෙනවා. අපගේ පළමු ඉලක්කය වෙත යන්නට තව ගම්මාන ගණන 181ක් අලුතින් අප ආරම්භ කළ යුතුයි. අප නොසිතූ ලෙස පසුගිය දා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් අපගේ සංවර්ධන වැඩසටහන් මඳක් පසුබෑමට ලක් වුණා. එහෙත් අප මේ වන විට නැවත රජයේ සංවර්ධන කටයුතු ආරම්භ කර තිබෙනවා. කුමන බාධා එල්ල වුවද කෙසේ හෝ අපගේ ඉලක්කය ජය ගන්නා බව මා ප්‍රකාශ කරන්නට කැමතියි.
අප්‍රේල් 21 වැනිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව රට ඉදිරියට ගෙන යන්නේ කෙසේද යන්න ගැනත් රාජ්‍ය පාලනය ක්‍රියාත්මක කිරීම පිළිබඳත් අද මුළු රටේම සංවාදයක් ඇති වී තිබෙනවා. මා දකින විදිහට එය හරවත් සංවාදයක්. රාජ්‍ය පාලනය පිළිබඳව, රට පාලනය කළ යුතු ආකාරය පිළිබඳව ජනතාව ප්‍රශ්න කරනවා. රට භාර ගන්නට සිහින දකින කණ්ඩායමක් මේ ඛේදවාචකයට මුහුණ දුන් ජනතාව සහමුලින්ම අමතක කර, එය මතකයෙන්ද ඉවත් කර පෞද්ගලික වාසි ලබා ගෙන තමන්ගේ මඩි තර කර ගන්නට උත්සාහ කරනවා. මෙරට ශක්තිමත් පාලනයකට ලක් කිරීම උදෙසා අද කාලය එළඹ තිබෙනවා. ජනතාව සුරකින, රට සුරකින, රාජ්‍ය සම්පත් රටේ ජනතාව වෙනුවෙන් කැප කරන වැඩපිළිවෙළක්, යාන්ත්‍රණයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව අද පැන නැඟී තිබෙනවා.
අපේ රජය සෑම විටම උත්සාහ කරන්නේ පොදු ජනතාවට කළ හැකි උපරිම උදවු උපකාර සිදු කිරීමටයි. අප ජනතාවට උදවු උපකාර සිදු කරමින්ම, ජන මතය පිළිබඳවත් සොයා බලන්නට අවශ්‍යයි. ජනතාව සිතන්නේ මොනවාද ? පොදු ජනතාවගේ හද ගැස්ම කුමක්ද ? රටේ ජනතාව ජීවත් වන්නේ කුමන බලාපොරොත්තු සමඟද ? කියා අප සොයා බලන්නට ඕනෑ. එය ඉතා වැදගත්. බලය හොබවන අප පාලකයන් ලෙස ජනතාවගේ අපේක්ෂාවන් හා බලාපොරොත්තු පිළිබඳව සෑම විටම හොඳ අවබෝධයකින් සිටිය යුතුයි. බලය ඇති අයගේ සහ රටේ ජනතාවගේ බලාපොරොත්තු අතර පරස්පරයක් ඇත්නම් තමන් යන දිසාව වෙනස් කර ජනතා මතයට හිස නමන්ට පාලකයන් සුදානම් විය යුතුයි. රටේ පාලකයන් වන අප නිතරම ජනතාවගේ අදහස්වලට මුල්තැන දී රාජ්‍ය තන්ත්‍රය මෙහෙය විය යුතුයි.
අප සෑම විටම රටේ ජාතික ආරක්ෂාවට මුල් තැන ලබා දී කටයුතු කරන්නට අවශ්‍යයි. අපේ රටින් ත්‍රස්තවාදය තුරන් වී ඇති බවට අප සියලු දෙනාම විශ්වාස කළා. නමුත් සිදු වූයේ කුමක්ද ? ගෝලීය ත්‍රස්තවාදය අපේ රට ආක්‍රමණය කළා. ඊටත් වඩා භයංකාරම දෙය නම් ලෝක ත්‍රස්තවාදීන් පිරිසක් විසින් අපේ රටත්, තවත් රටවල් ගණනාවකුත් වෙනම කලාපයක් ලෙස නිර්මාණය කර එම කලාපය තුළ දැඩි ශරියා නීති පනවා එම කලාපය සිය ග්‍රහණයට ගන්නට කටයුතු කිරීමයි. 30 වසරක් පැවැති බෙදුම්වාදී කුරිරු එල්ටීටීඊ ත්‍රස්තවාදීන් පරාජය කළ රටක් වන අපට එම ජාත්‍යන්තර බලවේගයට මුහුණ දෙන්නට පුළුවන්. ගෝලීය ත්‍රස්තවාදය යනු වෙනම මාදිලියේ අභියෝගයක්. ඊට මුහුණ දෙන්නට නම් මේ ගෝලීය ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරන සෑම රටක් සමඟම එකතු වී ත්‍රස්තවාදය තුරන් කිරීමේ ඒකාබද්ධ ජාත්‍යන්තර ව්‍යාපාරයක පෙරමඟ ගමන්කරුවන් බවට අප පත් විය යුතුයි.
ගෝලීය ත්‍රස්තවාදීන්ගේ අරමුණ රටක බෝම්බ පුපුරවා, එම රට තුළ ව්‍යාකූලත්වයක් ඇති කර, රට අස්ථාවර කර ගිනි කන්දක් කිරීමෙන් පසු එය අල්ලා ගැනීමයි. මේ ගෝලීය ත්‍රස්තවාදීන් උත්සාහ කළේ අපේ රටේ බෝම්බ පුපුරුවා, ජාති ආගම් අතර කලකෝලාහල ඇති කර, නිවාස හා වෙළෙඳ සැල් ගිනිතබා, මිනිස් ඝාතන සිදු කර රටම ගිනි කන්දක් බවට පත් කරන්නටයි. අයිඑස්අයිඑස් ත්‍රස්ත නායකයාගේ ඉලක්කය වෙත යන්නට එවිට පරිසරය ඉබේටම සකස් වනවා. මේ ත්‍රස්තවාදීන්ගේ ඉලක්කය වුණේ අහිංසක පවුල්වල මිනිසුන් තුන් හාරසීයක් විනාශ කිරීම පමණක් නොවෙයි. ඔවුන්ගේ ඉලක්කය ඊට වඩා පුළුල් එකක්. අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන් උත්සාහ කළේ රට තුළ ජාති ආගම් භේද ඇති කර, ජාතීන් අතර කලකෝලාහල ඇති කර, සිද්ධස්ථාන හා ආගමික ස්ථාන විනාශ කර, රටම ගිනි කන්දක් බවට පත් කර, රට අස්ථාවර කරමින් තම කලාපය ඇති කර ගැනීමේ තවත් පියවරක් තබන්නටයි.
පසුගිය දා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව සමහර ප්‍රදේශවල ඇතැම් පිරිසක් ඉස්ලාම් දේවස්ථානවලට පහර දෙන්නට පටන් ගත්තා. සමහරු සංවිධානාත්මකව පැමිණ ඇතැම් ප්‍රදේශවල කලකෝලාහල නිර්මාණය කළා. නමුත් පැය 48ක් තුළ ඒ සියල්ල මැඬ පවත්වන්නට රජයට හැකි වුණා. රටේ කලකෝලාහල සිදු කළ සියලු දෙනාම අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන්ගේ නියෝජිතයන් බව මා කියනවා. රට තුළ මෙලෙස කලකෝලාහල ඇතිවීමෙන් අප නොදැනුවත්වම අයි. එස්. අයි. එස්. සාමාජිකත්වය ලබා ගන්නට ඇතැම් පිරිස් පෙළඹෙනවා. 83 කළු ජූලියේ දී සිදු වුණේ කුමක්ද ? පොඩි පිරිසක් පමණක් සිටි එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදී කණ්ඩායම සාමාජිකයන් විශාල ප්‍රමාණයකගේ සංවිධානයක් බවට පත්වුණා. 83 කළු ජූලියේ දී ද්‍රවිඩ ප්‍රජාවගේ නිවාස, වෙළෙඳ සැල් ගිනි තබා විනාශ කළා. ඒ නිසාම ඔවුන් පෝළිමේ ගිහින් එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගත්තා. රට තුළ අස්ථාවරභාවයක් ඇති වූ විට ත්‍රස්තවාදීන්ට ඔවුන්ගේ අරමුණ කරා යන්නට ඉතා පහසුයි. අපට කර ගන්නට අවශ්‍ය වන්නේ මෙයද ?
මිනුවන්ගොඩ, කුලියාපිටිය, හලාවත, බිංගිරිය හා නාත්තන්ඩිය යන ප්‍රදේශවල පසුගිය දිනවල ජාති ආගම් භේද ඇති වී මහා ගැටුම් සිදු වුණා. එම සිද්ධීන් පිටුපස සිටින්නේ කවුරුන් ද කියා අප සොයා බලන්නට අවශ්‍යයි. මේවාට උල්පන්දම් දුන්නේ කවුරුන්ද ? මේ විනාශයට ආශිර්වාදය, සහයෝගය ලබා දුන්නේ කවුද කියා ජනතාව විමසා බැලිය යුතුයි. මේ විනාශය දැක දැක සතුටු වුණු පිරිසකුත් අපේ රටේ සිටිනවා. ඔවුන් සතුටු වුණේ මේ විනාශය තුළින් ඔවුන්ට ඉස්මතු වන්නට අවස්ථාව ලැබේවි කියායි. රටේ වත්මන් ජනතාව බොහෝ බුද්ධිමත්. එම නිසා පසුගිය දිනවල මිනුවන්ගොඩ, කුලියාපිටිය, හලාවත, බිංගිරිය හා නාත්තන්ඩිය යන ප්‍රදේශවල සිදු වුණු ජාති ආගම් භේද ගැටුම් කෝලාහල පිටුපස සිටි පීතෘවරුන් කවුරුන්ද කියා රටේ ජනතාව හොඳින් දැන ගත යුතුයි. අප අපේ රට ආරක්ෂා කර ගන්නට ඕනෑ. අප මේ ත්‍රස්තවාදය දේශපාලන පොරපිටියක් කර ගන්නට අවශ්‍ය නැහැ. එකට එකතු වී අප ඊට මුහුණ දිය යුතුයි. අද රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් වී තිබෙනවා. මෝඩ ක්‍රියා සිදුකර අයිඑස්අයිඑස් සාමාජිකත්වය ප්‍රවර්ධනය කරන්නට කිසිම කෙනෙක් අත හිත දෙන්නට එපා කියා මා රටේ ජනතාවගෙන් ඉල්ලනවා. කිසිම විටක රට තුළ ත්‍රස්තවාදයට අප ඉඩක් දෙන්නෙ නැහැ. ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් අප ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන් අනුගමනය කරන්නේ නැහැ. ත්‍රස්තවාදය හමුවේ අපේ රජය ගත හැකි දැඩි තීන්දු තීරණ ගෙන මෙරටින් ගෝලීය ත්‍රස්තවාදය තුරන් කිරීමට ඇප කැප වී කටයුතු කරන බවට මා සහතික වනවා.

0 Comments